ප්‍රචණ්ඩ ක්‍රියා, පොලිසිය සහ ඇතැම් භික්ෂූන්ගේ ක්‍රියාකලාපය: "භේදයකින් තොරව පියවර ගන්නවා"

මහනුවර දිගන සහ තෙල්දෙණිය ඇතුළු ප්‍රදේශවල පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 220 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන සිටින නමුත් ප්‍රචණ්ඩව හැසිරුණු ඇතැම් භික්ෂූන් වහන්සේ ඒ අතර සිටින්නේ දැයි දැනගන්නට නැති බව නීතිය හා සාමය භාර අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ පසුගිය සතියේ රටේ ප්‍රදේශ කිහිපයක පැතිර ගිය මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
ප්‍රහාරකයන් මුස්ලිම් පල්ලිවලට සහ ව්‍යාපාරික ස්ථානවලට පහර දෙද්දී අකර්මණ්‍යව සිටි බවට පොලිසියට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ද ඇමතිවරයා ප්‍රතිචාරය දැක්විය.
මහනුවර එසේ ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනුණේ පෙබරවාරි මාසයේ අග භාගයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ දෙදරු පියෙක් මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යාමත් සමගය.
ඔහුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් පිරිසක් අත්අඩංගුවේ පසුවෙති.
මේ තොරතුරු ද දැනගන්න:
ප්‍රහාර වැළැකූ බෞද්ධ භික්ෂූන් වහන්සේ
මහනුවර දිස්ත්‍රික්කයේ පැතිර ගිය ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පරීක්ෂණ "කඩිනමින් ඉවර කරලා" වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ අභිලාශය බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර බීබීසී සිංහල සේවයට පැවසීය.
මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන සහ පල්ලි ඇතුළු දේපොළවලට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට කටයුතු කළ බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ ප්‍රදේශවාසී සිංහල ජනතාව පිළිබඳ රට පුරා බොහෝ ප්‍රදේශවලින් අසන්නට ලැබිණ.

නෙල්ලිගල අවට ප්‍රදේශයේ පහරදීමේ උත්සාහ හතරක් වැළැක්වීමට තමන් ඇතුළු සිංහල ජනතාව සමත් වූ බව වතුරකුඹුරේ ධම්මරතන හිමියෝ ද බීබීසී සිංහල සේවයට පැවසූහ.
ඒ අතරවාරයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ පුද්ගලිකවම මැදිහත් වී ප්‍රචණ්ඩ ක්‍රියා දිරිගන්වන පළකිරීම් දක්නට ලැබුණු අතර පදික වේදිකාවේ වෙළෙඳාමේ යෙදී සිටි මුස්ලිම් වෙළෙන්දෙකු පලවා හරින බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳ දර්ශන ද ඒ අතර විය.
එවැනි භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් අදහස් පළකළ අමාත්‍යවරයා කියා සිටියේ, "ඒ සම්බන්ධව ලැබෙන පැමිණිලි සහ තොරතුරු පදනම් කරගෙන, භේදයකින් තොරව අවශ්‍ය පියවර ගන්නව," යනුවෙනි.
"අපි පහුගිය දවස්වල ප්‍රදේශයේ සංචාරය කළා. සිංහල ජාතිකයොත්, මුස්ලිම් ජාතිකයොත් කිවුව සමහර විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේක විසඳන්න, එයාලට ආරක්ෂාව දෙන්න කටයුතු කළා. ඒ වගේම තවත් කොටසක් ප්‍රචණ්ඩව කටයුතු කරලා තියෙනව," යනුවෙන් ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
නීතිය සාධාරණව ක්‍රියාත්මක වූයේ නම් රට තුළ මෙවැනි ප්‍රචණ්ඩත්වයක් ඇති නොවීමට ඉඩ තිබුනා නේදැයි බීබීසී කළ විමසීමට ඔහුගේ ප්‍රතිචාරය වූයේ පසුගිය වසර කිහිපය තුළ "ඇමතිවරුන්" සහ "ස්වාමීන් වහන්සේලා" සම්බන්ධයෙන් පවා නීතිය ක්‍රියාත්මක වූ බවය.

'පොලිසිය බලා සිටියා'
මහනුවර ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර යද්දී පොලිසිය 'බලා සිටි' බවට සහ කලහකරුවන් පාලනය කිරීමට පියවර නොගත් බවට එල්ලවන චෝදනා පිළිබඳව අදහස් දැක්වූ පොලිසිය භාර අමාත්‍යවරයා කියා සිටියේ, මේ අවස්ථාවේ අවශ්‍යව තිබෙන්නේ "ප්‍රශ්නෙ වැඩිකරගන්න නෙවෙයි, ප්‍රශ්නෙ පාලනය කරගන්න," බවය.
"දැන් බලන්න මේ ගැටුම්වලින් මරණයට පත්වෙලා තියෙන්නේ දෙන්නයි. ඒ වගේම තුවාල වෙලා තියෙන්නේ 12 දෙනෙකුට විතරයි. එයින් අට දෙනෙක් බෝම්බ සිද්ධියෙන්. ඒ කියන්නේ ගහ ගැනීමක් වෙලා නෑ. පොලිසිය ප්‍රචණ්ඩකාරීන්ට මීට වඩා වෙනස් විදියකට සැලකුව නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණ."
පොලිසියට එරෙහිවත් චෝදනා එල්ල වී තිබෙන නමුත් පොලිසිය ප්‍රවේශම් සහගතව කටයුතු කර ඇතැයි පවසන අමාත්‍යවරයා, "එක් අවස්ථාවක 2000ක් විතර ඇවිල්ල තියෙනව. පොලිසිය ඉඳල තියෙන්නේ පොඩි පිරිසක්," බවත් සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, President Office/ Facebook
ප්‍රහාරවලින් බරපතල දේපොළ හානියක් සිදු වී ඇති බව පිළිගන්නා අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසන්නේ, එය සිදුකරන ලද්දේ "සංවිධානය වූ කණ්ඩායමක්" බවය.
"හැම තැනම පෙට්‍රල් බෝම්බ ගහල තියෙන්නේ සංවිධානය වෙච්ච කණ්ඩායමක්. යම් දේශපාලනඥයන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා."
සමාජ මාධ්‍ය ජාල
ප්‍රචණ්ඩත්වය සහ වෛරය පතුරවන සමාජ මාධ්‍ය ජාල අධීක්ෂණයට ලක් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බව බීබීසී සිංහල සේවය සමග වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටි අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, සමාජ මාධ්‍ය ජාල භාවිත කරන "99% ක්ම" එය භාවිත කරන්නේ සමාජයේ යහපත සඳහා බව පෙන්වා දුන්නේය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
"අද මම හිතන්නේ ඒක තහනම් කිරීම නිසා ඒ 99%ටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි ඒ ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. මේ වගේ අර්බුදකාරී තත්ත්වයක ආණ්ඩුවක් විදියට අපිට ඒක කරන්න සිද්ධ වෙනවා."
ඉතා ඉක්මනින්ම එම තහනම ඉවත් කෙරෙනු ඇති බවටත් අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
කෙසේ වුවත් කිසියම් පුද්ගලයෙක් "නීති විරෝධී, ජාතිවාදී, රාජ්‍ය විරෝධී" කටයුතු සඳහා සමාජ මාධ්‍ය ජාල යොදාගන්නේ නම් එය වැළැක්වීම පිණිස අනාගතයෙදී "නීති රීති සම්පාදනය කිරීමට" සිදුවනු ඇති බව ද නීතිය හා සාමය භාර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
තවත් කියවන්න:
- මහනුවර ප්‍රහාර "සංවිධානාත්මකව සිදුකරන ලද්දක්"
- මුස්ලිම් විරෝධී ප්‍රහාර පාලනය කිරීමට සමාජ ජාල තහනම 'පිටිවහලක් වුනා'
- "මේක ජාතිවාදය නෙමේ, මෙතන ආවේ මංකොල්ල කන්න"
- විපක්ෂයට චෝදනා කරන්නේ කුලප්පු කරන්න - මහින්ද
- මහනුවර ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා "හුදෙකලා සිදුවීමක් නොවෙයි"
- මොකක්ද මේ හදිසි නීතිය?
- (වීඩියෝ) ‘ජාතිවාදී ආයුධය එපා’ - සෝභිත හිමි
- "ශ්‍රී ලංකාවේ බෞද්ධ ජාතිකවාදය උත්සන්න වෙලා"








