ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ කාන්තා අයිතීන් උල්ලංඝනය කරන ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරය
ලොව බොහෝ රටවල් මේ වන විට කාන්තා අයිතීන් රැකීමට නීති සම්පාදනය කර ඇති නමුත්, තවමත් කාන්තාවන් සහ පුරුෂයන් අතර සැලකිය යුතු වැටුප් පරතරයක් පවතී.
මෙම වැටුප් පරතරය අවම කිරීමේ අරමුණින් ලෝකයේ දියුණු රටවල් සම වැටුප් නීති ගෙන ආ අතර, ඇමරිකාවේ සමාන වැටුප් පනත සම්මත කෙරුණේ 1963 දීය. එංගලන්තය මෙම නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ 1970 සිටය. එම නීතිය ක්‍රියාත්මක වීමෙන් පසුව මෙම රටවල ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරය මේ වන විට අවම අගයක් ගෙන ඇති බව වාර්තා වේ.
සමාන වැටුප් ගෙවීම සහ ස්ත්‍රී - පුරුෂ ලිංගභේදය මත පදනම්ව වෙනස් වැටුප් ගෙවීම අතර පැහැදිළි වෙනසක් පවතී. සමාන වැටුප් ලැබීම හෝ නොලැබීම සිය හැකියාව සහ රැකියාවේ ජ්‍යෙෂ්ඨත්වය මත තීරණය වන කාරණයකි. නමුත් ලිංගභේදය මත අඩු වැටුප් ගෙවීම අනුමත කළ හැකිද?
පුද්ගලයෙකු නිරත වන රැකියාව අනුව ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරයක් ඇතිවීම සාමාන්‍ය වුවද එක හා සමාන අධ්‍යාපනයක් ලබා, එක සමාන අත්දැකීම් ඇති කාන්තාවකට, පුරුෂයෙකුට ගෙවන වැටුපෙන් හරි අඩකටත් වඩා අඩුවෙන් ගෙවන ආයතන, කර්මාන්ත සහ වෙනත් රැකියා ස්ථාන රැසක් ශ්‍රී ලංකාවේ ඇති බවට වාර්තා වී තිබේ.
ශ්‍රී ලංකාවේ නීතිඥවරියකට වැටුප් ගෙවන්නේ අඩුවෙන්ද?
නීතිය අකුරට රැකීමට සහ පිළිපැදීමට දිව්රුම් දී නීතිඥ වෘත්තියට ඇතුළු වන බොහෝ කාන්තාවන්ට, පුරුෂයන් හා සමාන වැටුපක් නොලැබෙන බවට බීබීසී සිංහල සේවය කළ විමසුමකදී හෙළි විය.
රජයේ හෝ පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නීති උපාධිය ලබාගෙන, ඉන්පසු නීති විද්‍යාලයේ විභාගවලට මුහුණ දී, නැතහොත් ඍජුවම නීති විද්‍යාලයෙන් සුදුසුකම් ලබා, නැවතත් දේශන මාලාවකට සහභාගි වන අතරතුර තවත් සය මසක් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු යටතේ ආධුනික නීතිඥවරයෙකු ලෙස රැකියාව නිමවා, අවසානයේ දී නීතිඥවරයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිව්රුම් දිය යුතුය.
ශ්‍රී ලංකාවේ නීතිඥවරයෙකු වීමේ මෙම දීර්ඝ ක්‍රියාවලිය අවසන් වන විට වසර පහකට වඩා වැඩි කාලයක් වැය වේ. මේ කාලය ඇතුළත සියලු වියහියදම් පෞද්ගලිකව දැරිය යුතු අතර, එසේ නොමැති නම් තම තරුණ දරුවන්ගේ වියදම් දෙමව්පියන් විසින් දරනු ලැබේ.
ආධුනික නීතිඥවරයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් යටතේ රැකියාව කරන කාලපරිච්ඡේදයෙහි බොහෝ විට වැටුප් ගෙවීමක් සිදු නොවේ.
විශේෂයෙන්ම කාන්තාවන් අධිකරණයට අනිවාර්යයෙන්ම සුදු, කළු, දම් හෝ අළු පැහැති (ස්වාධීන වර්ණ) සාරිවලින් සැරසී යා යුතු අතර ඒ සියල්ල මිලදී ගැනීම සදහා විශාල මුදල් ප්‍රමාණයක් වැයවේ. තත්වය එසේ වුවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් යටතේ රැකියාව කරන කාන්තාවන්ට හිමි වන්නේ පුරුෂයන්ට වඩා බෙහෙවින් අඩු වැටුපකි.
"නීති විද්‍යාලයේ එකට සිටි මගේ පිරිමි යහළුවන් නීතිඥවරුන් විදියට වැඩ කරද්දී මට වඩා වැඩි පඩියක් ලැබෙනවා. ගැහැනියක් නිසා මගේ හැකියාව අවතක්සේරු කරල, දිව්රුම් දීමෙන් පසු පළමු මාසයේ මට පඩි ලැබුනේ රු.10,000 යි. මාත් එක්ක දිව්රුම් දුන් මගේ පිරිමි යහළුවන්ට පඩිය පටන් ගත්තේ රු.20,000 කින්" යැයි ක්ෂේත්‍රයේ වසර හතක පළපුරුද්දක් සහිත නීතිවේදිනී ආර් ද සිල්වා බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කර සිටියාය.
"ගැහැණු අපිත් පිරිමි හා සමානව වැඩ කරනවා. සමහරදාට අපි රෑ 11.00 විතර වෙන කම් වැඩ කරනවා. ගැහැණු අපි තමයි ඉඩම් ලියා පදිංචි කාර්යාලයට, නඩු පොත් පරීක්ෂා කිරීම සඳහා ලේඛනාගාරවලට සහ නඩුවලට අදාළ නොයෙකුත් වැඩවලට යන්නේ. අපි 'අස්සයෝ' වගේ වැඩ කරනවා හැබැයි සොච්චම් පඩියකට," ඇය තව දුරටත් පවසා සිටියාය.
මේ අතර පෞද්ගලික ආයතනයක සහ බැංකුවක සේවයෙහි නිරත නීතිවේදිනියන් දෙදෙනෙකු පවසා සිටියේ එම ආයතනවල ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරයක් නොමැති බවය.
සමහර ආයතන නීතිවේදීන් පමණක් බඳවා ගන්නා අතර, තවත් ආයතන නීතිවේදිනියන් සදහා පමණක් රැකියා විවෘත කර සිටී. මෙයට ප්‍රධාන හේතුව ලෙස රැකියාවේ ස්වභාවය බලපාන අතර සමහර අවස්ථාවල රාත්‍රියේදී පවා සේවා ස්ථානයෙන් පිටතට යාමට සිදු වන බැවින් පුරුෂයින් පමණක් බඳවා ගැනීමට සිදුවේ.
එමෙන්ම ලිපි ලේඛන සම්බන්ධ රැකියා සඳහා කාන්තාවන් පමණක් බඳවා ගැනීමට සමහර ආයතන උත්සුක වන බව හෙළි විය.
"මම පෞද්ගලික ආයතනයක නීතිවේදිනියක් විදියට වැඩ කරනවා. මම වැඩ කරන තැන වැඩිපුර ඉන්නේ කාන්තාවන්. අපේ ආයතනයේ ගැහැණු - පිරිමි වැටුප් පරතරයක් නැහැ. නමුත් මම දන්නා සමහර පෞද්ගලික ආයතන පිරිමි විතරයි නීතිවේදී රැකියාවට බඳවා ගන්නේ. හැබැයි ඒ වගේම කාන්තා නීතිවේදීන් විතරක් බඳවා ගන්නා ආයතනත් තිබෙනවා," නීතිවේදිනියක් ලෙස වසර හයක කාලයක් ආයතන දෙකක සේවයේ නිරත නීතිඥ නිලුපුල් ගුණතිලක සඳහන් කළාය.
පෞද්ගලික බැංකුවක වසර ගණනාවක් සේවය කර, වර්තමානයේ කථිකාචාර්යවරියක් ලෙස සේවයේ නිරත වින්ධ්‍යා පෙරේරා පවසා සිටියේ: "පෞද්ගලික බැංකුවල ගැහැණු සහ පිරිමි නීතිවේදීන්ගේ පඩි අතර වෙනසක් නැහැ. ඒ වගේම කථිකාචාර්ය වෘත්තියේ පඩි අතර වෙනස ඇති වෙන්නේ අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද මත මිස ලිංගිකත්වය මත පදනම්ව නොවේ," යනුවෙනි.
ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු පෙනී සිටින නඩුවකට සහාය දෙන කනිෂ්ඨ නීතීඥවරයාට එම නඩුව සඳහා අය කරන ගාස්තුවෙන් 1/3 ක් ලබා දීම වෘත්තීය රීතියකි. නමුත් සමහර ජ්‍යෙෂ්ඨයින් මෙම මුදල පුරුෂයින්ට එලෙසම ලබා දුන්නත්, කාන්තාවන්ට ලබා නොදෙන බව තම අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති කනිෂ්ඨ නීතීඥවරියක් බීබීසී සිංහල සේවය සමග පවසා සිටියාය.
"කනිෂ්ඨ නීතීඥවරියන්ගේ ශ්‍රමය සූරා කෑමට ලක් වෙනවා. අපිට නඩුවකට ගෙවිය යුතු 1/3 ක මුදල තියා, ගමන් වියදමවත් නොදෙන අවස්ථා තිබෙනවා."
යතුරු ලියන්නන් සහ ලිපිකරුවන් අතරත් වැටුප් පරතරයක්
නීතීඥවරියන් පමණක් නොව, නීතීඥ කාර්යාල වල සේවයේ නිරත යතුරු ලියන්නන් සහ ලිපිකරුවන් අතර ද ස්ත්‍රී - පුරුෂ වැටුප් පරතරයක් පවතින බව බීබීසී සිංහල සේවය කළ විමසුමේදී හෙළි විය.
කනිෂ්ඨ නීතීඥවරුන්ට මෙන්ම බොහෝ ජ්‍යෙෂ්ඨ නීතීඥ කාර්යාල සේවකයන්ට සේවක අර්ථසාධක මුදල් (EPF) හෝ සේවා නියුක්ති භාරකාර අරමුදලක් (ETF) නොමැත.
"මම ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකුගේ කාර්යාලයක යතුරු ලියන්නියක්. අපේ කාර්යාලයේ මේ රස්සාව කරන්න දෙන්නෙක් ඉන්නවා. අනිත් කෙනා මට සමාන පළපුරුද්දක් ඇති පිරිමි කෙනෙක්. මට මාසෙට පඩිය රු. 28,000 යි. එයාට පඩිය රු.35,000 යි. මට අද රස්සාවෙන් එළියට යන්න වුණොත්, මට කිසි දෙයක් නැහැ. අපිට EPF, ETF කියල දෙයක් නැහැ," යැයි සඳහන් කළ සිය රැකියාවේ වසර දහතුනක පළපුරුද්දක් ඇති ඇය තම අනන්‍යතාවය හෙළි කිරීමට මැළි වූයේ රැකියාව අහිමි වේ යැයි බියෙනි.
කෙසේ වුවද බහුතරයක් නීතිඥ සමාගම් කාන්තාවන්ට සහ පුරුෂයින්ට අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද අනුව සමාන වැටුපක් ගෙවන අතර, වැටුප් පරතරය බහුලව දැකිය හැකි වන්නේ ජ්‍යෙෂ්ඨ නීතීඥ කාර්යාල (Chambers) තුළය.
ගෘහ නිර්මාණ ශිල්පයෙහි යෙදෙන කාන්තාවන්ට පුරුෂයින්ට හා සමාන වැටුපක් නොලැබේද?
ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය නීතිඥ වෘත්තියට පමණක් සීමා වූවක් නොවේ.
ගෘහ නිර්මාණ ශිල්පයෙහි ස්ත්‍රී පුරුෂ වැටුප් අසමානතා ඇති බව ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පිනී චතුරංගි සේනානායක පවසන්නීය.
"සාමාන්‍යයෙන් උපාධියෙන් පසු මුල් පඩිය විදියට කාන්තාවකට හෝ පිරිමියෙකුට රුපියල් 30,000 - 35,000 ක් අතර ප්‍රමාණයක් ගෙවනවා. නමුත් උසස් අධ්‍යාපනය (M.Arch විභාගය) ලැබුවාට පසු කාන්තාවකට ගෙවන්නේ රුපියල් 55,000ක් විතර. පිරිමියෙකුට රුපියල් 60,000 - 65,000 ක් අතර ගණනක් ගෙවනවා," ඇය සඳහන් කළාය.
"වැඩබිමට ගිහින් තම වෘත්තියේ යෙදෙන ගෘහ නිර්මාණ ශිල්පීන්ට (field architects) රුපියල් 80,000 කට ආසන්න පඩියක් ලැබෙනවා. නමුත් කාන්තාවන්ට එහෙම වැඩ ලැබෙන්නේ බොහෝම අඩුවෙන්. ඒකට හේතුව රෑ වෙනකම් වැඩ කරල සති අන්තයේත් වැඩ කරන්න තිබෙන නිසා. තවදුරටත් ඉගෙන ගත්ත (Chartered සුදුසුකම් ලත්) පිරිමි ගෘහ නිර්මාණ ශිල්පියකුට රුපියල් 135,000 - 150,000 අතර පඩියක් ලැබෙනවා. සමාන සුදුසුකම් ඇති කාන්තාවකට ලැබෙන්නේ රුපියල් 100,000 ක විතර පඩියක්."
මේ තොරතුරුද දැනගන්න:
කාන්තා කම්කරුවන්ටත් පුරුෂයින්ට වඩා අඩු වැටුපක්
ඇල්පිටිය ප්‍රදේශයේ කුරුඳු සහ තේ වතුවල කම්කරු රැකියාවේ නිරත එස්ටී කුමාරි පවසා සිටියේ: "ගෑනු අපි පිරිමි හා සමානව වැඩ කරනවා. දවසේ පඩියට උදේ ඉඳන් රෑ වෙනකම් වැඩ කළත්, ගෑනුන්ට ලැබෙන්නේ රුපියල් 700 - 800 ක් විතර. පිරිමින්ට රුපියල් 1,200 - 1500 ක් අතර පඩියක් ලැබෙනවා," යනුවෙනි.
මෙම වෙනස සෑම වෘත්තියකටම අදාලද?
වෛද්‍ය, ඉංජිනේරු, බැංකු, ගණකාධිකාරී සහ සංචාරක ක්ෂේත්‍රවල ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතා වාර්තා වී නොමැති බව එම රැකියාවල නිරත කාන්තාවන් කිහිප දෙනෙක් බීබීසී සිංහල සේවය කළ විමසීමේ දී සඳහන් කළහ.
මෝස්තර නිර්මාණ ශිල්පයෙහි නිරතවන කාන්තාවන් සම වැටුප් ලබන අතර ඇතැම් අවස්ථාවලදී පුරුෂයින්ට වඩා වැඩි වැටුපක් කාන්තාවන්ට හිමිවන බව ද දැන ගැනීමට ලැබිණ.
"මෝස්තර නිර්මාණ ශිල්පයේ ඔය කියන වැටුප් පරතරයක් නැහැ. සමහර ආයතන පිරිමින්ට වඩා කාන්තාවන්ට ගෙවනවා. කාන්තාවන්ට වැඩක් බාර දුන්නොත් ඒක පිළිවෙලට වෙලාවට ඉවර කරන බවට හැඟීමක් අපේ ක්ෂේත්‍රයේ තිබෙනවා. ඒක නිසා තමයි ඇඟලුම් කර්මාන්තශාලාවල වැඩිපුර කාන්තාවන් වැඩ කරන්නේ," මෝස්තර නිර්මාණ ශිල්පිනී තරුක්ෂි රොද්‍රිගෝ බීබීසී සිංහල සේවය සමග පවසා සිටියාය.
ඇය ඇඟලුම් කර්මාන්තශාලා හතරක, වසර දහයකට අධික කාලයක් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙස සේවය කර, වර්තමානයේ මෝස්තර නිර්මාණ ව්‍යාපාරයක හිමිකාරිණියකි.
"නමුත් සමහර අමාරු රැකියා සඳහා කාන්තාවන් බඳවා ගන්නේ නැහැ. මිනිස්සු කැමතියි මොනව හරි දෙයක් ගැන අනවශ්‍ය විදියට කතා කරලා සමාජයේ ප්‍රශ්න ඇති කරන්න. ඒකයි ඔය වැටුප් අසමානතා ගැන කියවන්නේ. ව්‍යාපාරික කාන්තාවක් හැටියට මම කියන්නේ, අවසානයේදී ඕනෑම ව්‍යාපාරයක් බලාපොරොත්තු වෙන්නේ ලාභ විතරයි. ඒ සඳහා අපි බලන්නේ ගැහැණු ද පිරිමිද කියලා නෙමේ, කාටද වැඩිපුර වැඩ කරන්න පුළුවන් කියලා විතරයි," තරුක්ෂි රොද්‍රිගෝ වැඩිදුරටත් සඳහන් කළාය.
සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ, වසර 10 ක පළපුරුද්දක් ඇති තවත් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් එය තහවුරු කළාය.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ පුරුෂයින්ට සම වැටුප් ගෙවිය යුතු බවට නීතියක් ඇත්ද?
ශ්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන 1978 'ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට' අනුව සියලුම පුද්ගලයෝ නීතිය ඉදිරියේදී සමාන වන අතර නීතිය මගින් සමාන ආරක්ෂාව ලැබිමට හිමිකම් ලබති.
ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය සමානාත්මතාවට ඇති අයිතිය තහවුරු කරයි.
- 12 (1) වගන්තිය:
- සෑම පුද්ගලයෙකුම නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියෙන් සමාන ආරක්ෂාවක් ලැබීමට හිමිකම් දරයි
- 12 (2) වගන්තිය:
- කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂභාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ එවැනි වෙනත් හේතුන් මත වෙනස් කොට නොසැලකිය යුතුය
- 12 (3) වගන්තියේ ඇතුළත් වන කරුණු අතර, කාන්තාවන්ට විශේෂ වූ නීති සම්පාදනය කිරීමට සහ පනත් සම්මත කිරීමට රජය විසින් ගන්නා ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සපයයි.
1993 මාර්තු මස 3 වන දින සම්මත කරන ලද ශ්‍රී ලංකා කාන්තා ප්‍රඥප්තියෙන් කාන්තාවන්ට එරෙහිව පවත්නා සියලු වෙනස්කම් දුරු කොට ඔවුන්ට අදාළ තීරණාත්මක ගැටලු නිරාකරණය කිරීම සඳහා රජයේ කැපවීම ප්‍රකාශයට පත් කර ඇත.
ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ වෙනස්කම් මුලිනුපුටා දමා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සාක්ෂාත් කර ගැනීම මෙම ප්‍රඥප්තියේ අරමුණ විය. කාන්තා ප්‍රඥප්තියේ සදහන් වන වගන්තිවලට අනුව ජාතික කාන්තා කමිටුවක් පිහිටවුවද, වැටුප් විෂමතා සම්බන්ධයෙන් තවමත් රට තුළ සැළකිය යුතු සංවාදයක් නිර්මාණය වී නැත.
ශ්‍රී ලංකාවේ කම්කරු නීති පනත්:
•1954 අංක 19 දරණ සාප්පු හා කාර්යාල සේවක (රැකියා හා පාරිශ්‍රමික රෙගුලාසි) පනත
•1941 අංක 27 දරණ පඩි පාලක සභා ආඥාපනත
•2016 කම්කරු අයවැය සහන දීමනා පනත
•2016 කම්කරුවන්ගේ ජාතික අවම වැටුප් පනත
•1934 අංක 39 දරණ මාතෘ ප්‍රතිලාභ ආඥා පනත
•1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනත
•1942 කර්මාන්තශාලා ආඥාපනත
•1956 අංක 47 දරණ ස්ත්‍රීන් ළමුන් සහ තරුණයින් සේවයේ යෙදවීමේ පනත
•1971 අංක 45 දරණ කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත
•1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පනත
•1935 අංක 14 දරණ වෘත්තීය සමිති ආඥා පනත
•1942 අංක 45 දරණ කර්මාන්තශාලා ආඥා පනත
•1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනත
•1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනත
•1980 අංක 46 දරණ සේවක භාර අරමුදල් පනත
•1983 අංක 12 දරණ පාරිතෝෂික දීමනා පනත
•1971 අංක 49 දරණ ජාතික ආධුනිකත්ව මණ්ඩල පනත
•1978 අංක 08 දරණ පෞද්ගලික අංශයේ පුහුණු වන්නන් සේවයේ යෙදවීමේ පනත
කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ හෝ වෙනත් කිසියම් කම්කරු නීතියක් තුළ සමාන වටිනාකමක් සහිත සේවා සඳහා කාන්තාවන්ට සහ පුරුෂයින්ට සමාන වැටුප් ගෙවිය යුතු බවට වන ප්‍රතිපාදන නොමැත.
තවත් තොරතුරු:
- කාන්තා නියෝජනය: "පුරුෂ මූලික සමාජය තවත් ශක්තිමත් වීමක්"
- "පෝස්ටර් ඉරන්නේ නැහැ, නීති විරෝධීයි කියනවා"
- කාන්තාවගේ ඇඳුම, කාන්තා හිංසනයට හේතුවක්ද?
- #ElectHer: කාන්තා නියෝජනය වැඩි කළ යුත්තේ ඇයි?
- සෞදි කාන්තාවට අවසර නැති තව බොහෝ දේ ඇත
- බිරිඳට පහර දීමේ අයිතිය පාකිස්තාන නීති පොතට
- ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කාන්තාවන්ට බයද?
- කාන්තා මත්පැන් තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්