ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කාන්තාවගේ ඇඳුම, කාන්තා හිංසනයට හේතුවක්ද?
පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ටද තමන්ට කැමති ආකාරයේ ඇඳුම් පැළඳුම්වලින් සැරසීමට නිදහසක් ඇති බව කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන හිටපු ක්‍රිකට් නායකයෝ පවසති.
කාන්තාවන්ගේ ඇඳුම හා හැසිරීම, කාන්තාවට ලිංගික හිරිහැර කිරීම පිණිස නිදහසට හේතුවක් නොවන බව ඔවුහු අවධාරණය කරති.
ඔවුන් දෙදෙනා ඒ අදහස් පළ කළේ කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ අවශ්‍යතාව ගැන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතා කථා කරමිනි.
කාන්තාවන්ගේ ඇඳුම පැළඳුම හා හැසිරීම ඔවුන් හිංසනයට ලක්වීමට හේතුවක් නේදැයි එහිදී පාසල් සිසුවෙක් ප්‍රශ්නයක් මතු කළේය.
එයට පිළිතුරු දුන් කුමාර් සංගක්කාර,: "පිරිමියෙක් වුනාම පුළුවන් වෙන්න ඕනේ, කාන්තාවක්ව නිරුවතින් පාරේ ගියත් අපේ මනස යහපත් ලෙස හදාගන්න," යනුවෙන් සඳහන් කළේය.
"හැම වෙලාවෙම කියන්නේ මේක කාන්තාවගේ වරද කියලා. එයා ඇන්දේ මෙහෙමයි. එයා අපි දිහා බැලුවේ මෙහෙමයි. ඒක අපේ ඔක්කොම පිරිමින්ගේ තියෙන නිදහසට කාරණාවක්. ඒක අපි අයින් කර ගත යුතුයි."
කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව පාසල් ළමයින් 100කට වැඩි පිරිසක් දැනුවත් කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට හිටපු ක්‍රිකට් නායකයන් දෙදෙනා සහභාගි වී සිටියේ යුරෝපා සංගමයේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ ආරාධනයෙනි.
එහිදී අදහස් දැක්වූ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද ඉහත ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවසුවේ යම් කෙනෙකු අඳින ඇඳුමෙන් හෝ බාහිර ස්වරූපයෙන් ඔවුන් පිළිබඳව විනිශ්චය කිරීම යෝග්‍ය ක්‍රියාවක් නොවන බවය.
"ලසිත් මාලිංග, කොන්ඩේ පාට කරලා, කරාබුවක් දාලා හිටියා කියලා එයා ඇවිල්ල මැරයෙක්වත් චන්ඩියෙක් නෙවෙයි. හොඳ අධ්‍යාපනයක් තියෙන හොඳ දැනුමක් තියෙන කෙනෙක්."
ලොව ඕනෑම තැනැත්තෙකුට තමන් අඳින පළඳින ආකාරය ගැන තීරණය කිරීමේ නිදහස තිබිය යුතු බව මහේල ජයවර්ධන පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා පාසල් සංයුතියේ මිශ්‍ර පාසල් අඩු බව පෙන්වාදෙන මහේල ජයවර්ධන, සහෝදරියක් පවුලේ නොමැති වූ විට පිරිමි දරුවන්ට ගැහැණු ළමුන් ගැන වැඩි අවබෝධයක් නොලැබෙන බව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.