ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෞදි කාන්තාවට අවසර නැති තව බොහෝ දේ ඇත
සෞදි අරාබියේ කාන්තාවන්ට ලබන ජුනි මාසයේ පටන් රිය පැදවීමට අවසර ලැබෙයි. නමුත් ඇයට අවසර නැති තව බොහෝ දේ ඇත.
එම රාජධානිය තුළ කාන්තා ජීවිතය පවතින්නේ පුරුෂයාගේ පාලනයට නතුව ය.
නිවසින් බැහැර සංචාරයට, විවාහයට හා බන්ධනාගාරයකින් නිදහස ලැබීමට ඇය පුරුෂයෙකුගෙන් අවසර පැතිය යුතුය.
ඇයගේ ඇඳුම් පැළඳුම් සඳහා දැඩි නීති රීති පනවා ඇත. අවසරයකින් තොරව පවුලෙන් පිටස්තර පිරිමියෙකු සමඟ අදහස් හුවමාරුව තහනම්ය.
පසුගිය වසරේ නිකුත් වූ හියුමන් රයිට්ස් වොච් වාර්තාවක දැක්වෙන්නේ කාන්තාවක් විසින් ඉල්ලා සිටිනු ලබන වෛද්‍ය ප්‍රතිකාර හෝ රැකියාවක් සඳහා ද ඇතැම්විට භාරකරුගේ අවසරය ඉදිරිපත් කළ යුතුව පවතින බවය.
කෙසේ නමුත් මේ වනවිට සෞදි රාජධානියේ තත්වය වෙනසකට භාජනය වෙමින් පවතී.
වෙනස
මෑතක දී සෞදියේ ජාතික ක්‍රීඩාංගණය පළමු වතාවට කාන්තාවන් සඳහා විවෘත විය.
2015 පැවති නගර සභා මැතිවරණය වෙනුවෙන් පළමු වතාවට සෞදි කාන්තාවෝ සිය ඡන්දය ප්‍රකාශ කළහ.
වසර ගණනාවක් තිස්සේ කාන්තා අයිතීන් වෙනුවෙන් පැවති අරගලවලින් පසුව, රිය පැදවීමේ අයිතිය ද සෞදි කාන්තාවෝ දිනා ගත්හ.
රිය පැදවීමට උනන්දුවක් දක්වන කාන්තාවන් විශාල පිරිසක් සවුදි අරාබියේ සිටින අතර, එයට විරෝධය පළ කරන කාන්තාවන් විශාල පිරිසක් ද සිටින බව බීබීසී අරාබි සේවයේ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ආගමික සහ ගතානුගතිකවාදී අදහස් එයට එක් හේතුවකි. රිය පැදවීමට අවසර ලැබුණ ද රියදුරෙකුගේ සේවය ලබාගැනීම සමාජ තත්වය විදහා පෙන්වීමේ සංකේතයක් වීම තවත් හේතුවකි.
පුරුෂයෙකු නොමැතිව එළිමහනේ හැසිරිය නොහැකි බවට පවතින නීතිය කාන්තාවන් රිය පැදවීම සම්බන්ධයෙන් බලපාන්නේ කෙසේ දැයි යන්න තවමත් පැහැදිළි නැත.