ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රිය පැදවීම, සවුදි කාන්තාවෝ සහ මෝටර් රථ සමාගම්
සවුදි අරාබියේ කාන්තාවන්ට රිය පැදවීම සඳහා අවසර දීමට සවුදි රජතුමා තීරණය කිරීමෙන් අනතුරුව ලොව ඉහළම පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් සවුදි කාන්තාවන් අරමුණු කරගනිමින් සිය නිෂ්පාදන පිළිබඳ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම ආරම්භ කර තිබේ.
මෝටර් රථ නිෂ්පාදන සමාගම් සිය දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරය දියත් කළේ, ලබන ජුනි මාසයේ සිට කාන්තාවන්ට රිය පැදවීමට අවසර දෙන බවට සල්මන් රජතුමා පසුගිය බදාදා (සැප්තැම්බර් 27) නිවේදනය කිරීමෙන් පැය 24 ක් ගතවීමටත් පෙරාතුවය.
රජතුමා එම නිවේදනය නිකුත් කළ මොහොතේම මිලියන ගණනක සුඛෝපභෝගී මෝටර් රථ වෙළඳපොළක් නිර්මාණය කෙරුණි.
ඒ සමගම ෆොක්ස්වාගන්, ෆෝර්ඩ් සහ නිසාන් ඇතුළු මෝටර් රථ සමාගම් ට්විටර් ජාලය යොදාගනිමින් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළහ.
බ්ලූම්බර්ග් (Bloomberg) පුවත් සේවය පවසන පරිදි සවුදි අරාබියේ වැඩියෙන්ම අළෙවි වන මෝටර් රථ වන්නේ ටොයොටා (Toyota) සහ හුන්දෙයි (Hyundai) වන අතර, විශේෂයෙන්ම එම සමාගම්වල ස්පෝට්ස් මාදිලියේ රථ අතිශය ජනප්‍රියය.
සවුදි අරාබියේ වෙසෙන මිලියන 29 ක ජනකාය අතරින් මිලියන 20 ක් එහි පුරවැසියෝය.
සවුදි අරාබිය ලෝකයේ විශාලතම ඛනිජතෙල් නිෂ්පාදකයාය. ඛනිජ තෙල්වලින් උපයාගත් ධනය හේතුවෙන් ඇතැම් සවුදි ජාතිකයෝ ලොව ඉහලම ධන කුවේරයන් බවට පත් වී සිටිති.
කාන්තාවන්ටත් රියදුරු බලපත්‍ර නිකුත් කරන මෙන් සල්මන් රජතුමා නියෝග කරන තුරු කාන්තාවන්ට රිය පැදවීම තහනම්ව තිබූ ලොව එකම රට සවුදි අරාබියය.
විදේශික රියදුරෝ
මේ අතර සවුදි කාන්තාවන් රිය පැදවීමට යොමුවීම හේතුවෙන් එහි රියදුරන් ලෙස සේවය කරන විදේශිකයන්ගේ රැකියා විශාල ප්‍රමාණයක් අහිමිවනු ඇති බවට ද බිය පළවෙමින් පවතී.
විදේශිකයන් මිලියන 1.4 කට ආසන්න පිරිසක් සවුදි අරාබියේ සේවය කරන අතර ඒ අතරින් ලක්ෂ අටක් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවලින් පැමිණි රියදුරන් බව බව තක්සේරු කෙරේ.
කෙසේ නමුත් සවුදි කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලැබීම හේතුවෙන් ඔවුන් බොහෝ දෙනාගේ රැකියා අහිමිවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව විශේල්ෂකයෝ පවසති.
රිය පැදවීමට උනන්දුවක් දක්වන කාන්තාවන් විශාල පිරිසක් සවුදි අරාබියේ සිටින අතර, එයට විරෝධය පළ කරන කාන්තාවන් විශාල පිරිසක් ද සිටින බව බීබීසී අරාබි සේවයේ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ආගමික සහ ගතානුගතිකවාදී අදහස් එයට එක් හේතුවකි. රිය පැදවීමට අවසර ලැබුණ ද රියදුරෙකුගේ සේවය ලබාගැනීම සමාජ තත්වය විදහා පෙන්වීමේ සංකේතයක් වීම තවත් හේතුවකි.
පුරුෂයෙකු නොමැතිව එළිමහනේ හැසිරිය නොහැකි බවට පවතින නීතිය කාන්තාවන් රිය පැදවීම සම්බන්ධයෙන් බලපාන්නේ කෙසේ දැයි යන්න තවමත් පැහැදිළි නැත.