ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
#ElectHer: ශ්‍රී ලංකාවේ කාන්තා නියෝජනය ප්‍රවර්ධනය කළ යුත්තේ ඇයි?
ශ්‍රී ලංකාවේ කාන්තා හිංසනයට එරෙහිව සහ මහජන නියෝජන ආයතනවල කාන්තා නියෝජනය ඉහළ නැංවීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශේෂ ප්‍රචාරක වැඩසටහනක් දියත් කරනු ලැබ තිබේ.
#ElectHer සහ #EndViolence හෙවත් "ඡන්දය ඇයට. ප්‍රචණ්ඩත්වයට තිත" යන හෑෂ්ටෑග යොදාගනිමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් දින 16 ක් මුළුල්ලේ රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක ධාවනය කරවන ප්‍රචාරක කැරවෑනයේ අරමුණ හිංසනයෙන් තොර මැතිවරණයකින් දැනට වඩා වැඩි කාන්තාවන් පිරිසක් මහජන නියෝජිත ආයතනවලට පත් කර ගැනීමය.
කාන්තාවන්ට දේශපාලනයේ යෙදීමට තිබෙන හිමිකම පිළිගැනීම, කාන්තාවන් වීම හේතුවෙන් අපේක්ෂකයන් අවමානයට ලක් නොකිරීම, ස්වකැමැත්තට පටහැනි අයුරින් සිය ඡන්දය භාවිත කරන මෙන් කිසිවෙකුටත් බලපෑම් නොකිරීම, කාන්තාවන්ගේ දේශපාලන හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කිරීමට බලකිරීම සහ සමාන පාර්ශවකරුවන් ලෙසින් කාන්තාවන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සිය ප්‍රයත්නයේ අරමුණ බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසයි.
"මේ ප්‍රචාරක රථයත් එක්ක Forum Against GBV සමග අපි එනවා 25 හම්බන්තොට, 27 බදුල්ල, 29 මඩකලපුව, 31 මුලතිව්, 2 යාපනය, 3 කිලිනොච්චි, 5 පුත්තලම, 6 කටුනායක, 8 කොළඹ කොටුව," යනුවෙන් ආයතනයේ සේවය කරන අජිත් පැරකුම් ජයසිංහ ට්විටර් පණිවුඩයක සටහන් කොට තිබේ.
සබැඳි යොමු:
ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහ පොලිසියේ ද අනුග්‍රහය සහිතව එක්සත් ජාතීන්ගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරෙන මෙම ප්‍රචාරක ව්‍යාපාරයට දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ද ප්‍රසාදය පළවෙමින් පවතී.
ට්විටර් පණිවුඩයක් මගින් ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන කොළඹ සිටින බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් James Dauris, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52% ක් කාන්තාවන් වන නමුත් වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් කාන්තාවන් සිටින්නේ 5.3% ක් පමණක් බව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 2% ක් පමණක් බව පෙන්වා දෙන ඔහු පවසන්නේ, දැනට වඩා කාන්තාවන් පිරිසක් අනිවාර්යයෙන්ම දේශපාලනයට සම්බන්ධ විය යුතු බවය.
ඒ පිළිබඳව පසුගියදා බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, පසුගියදා සම්මත වූ පළාත් පාලන සංශෝධිත පනත් කෙටුම්පත මගින් පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය ඉහළ දැමීමට හැකිවීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව සඳහන් කළේය.
කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ කරගැනීමේ ව්‍යාපෘතියක් දියත් කිරීම වෙනුවෙන් "හෑෂ්ටෑග් පරපුර" තරුණ සංවිධානයේ සෙනෙල් වන්නිආරච්චි පසුගියදා බ්‍රිතාන්‍ය රැජින අතින් සම්මාන ලැබුවේය.