ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රිතාන්‍ය රැජිනගෙන් සම්මාන ලබන ශ්‍රී ලාංකික තරුණයා
ශ්‍රී ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීමේ අරමුණින් පුහුණු වැඩමුළු සංවිධානය කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකික තරුණයකු මේ වසරේ බ්‍රිතාන්‍ය රැජිනගේ තරුණ නායකයකු වශයෙන් තෝරාගෙන තිබේ.
ඔහු 'හෑෂ් ටෑග් පරපුර' (Hashtag Generation) නිර්මාණය කිරීමට මූලික වූ සෙනෙල් වන්නිආරච්චි.
ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් තෝරාගන්නා ලද 'එක්සත් ජාතීන්ගේ තරුණ නියෝජිතයන්' වශයෙන් පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වූ අවස්ථාවේ උකහාගත් අත්දැකීම් ලාංකීය තරුණ පරපුර සමග බෙදා හදා ගැනීමේ අරමුණින් එම සංවිධානය නිර්මාණය කළ බව සෙනෙල් වන්නිආරච්චි බීබීසී සංදේශයට පැවසීය.
විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මිලේනියම් සංවර්ධන අරමුණුවල බොහෝ අංශවලින් ශ්‍රී ලංකාව ප්‍රබල ප්‍රගතියක් ලබා තිබුණත් දේශපාලනය ඇතුළු සමාජයේ විවිධ අංශයන්හි කාන්තා නියෝජනය වෙනත් බොහෝ රටවලට වඩා ඉතා අඩු මට්ටමක පැවතීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් අවධානයට ලක් වී තිබුණු බව ඔහු සඳහන් කළේය. (සංදේශයට සවන්දෙන්න)
'හෑෂ් ටෑග් පරපුරට' සම්බන්ධ කණ්ඩායම් සහ ස්වෙච්ඡා පිරිසක්ද සම්බන්ධ කරගෙන 'We Govern Sri Lanka' ව්‍යාපෘතිය යටතේ දේශපාලනය කෙරෙහි උනන්දුවක් දක්වන කාන්තාවන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම වෙනුවෙනුයි, ඔහු මේ වසරේ 'රැජිනගේ තරුණ නායකයකු' (Queen's Young Leader) වශයෙන් තෝරාගෙන තිබෙන්නේ.
"මම විතරක් නෙමෙයි, අපේ කණ්ඩායමක් ඉන්නවා. තව අපිට ලොකු ස්වේච්ඡා සේවකයෝ කණ්ඩායමකුත් ඉන්නවා. ඒ හැමෝම එකතුවෙලා තමයි ඒ ව්‍යාපෘති කළේ," ඔහු පැවසීය.
මේ වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත්වන කාන්තාවන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට බලාපොරොත්තුවන බවත් ඔහු පැවසීය.
එච්අයිවී ආසාදිතයන් වෙනුවෙන් ඖෂධයක් සොයා ගැනීමේ උත්සාහයක යෙදී සිටින රඛිත මාලේවන මේ වසරේ 'රැජිනගේ තරුණ නායකයකු' වශයෙන් ශ්‍රී ලංකාවෙන් තේරී සිටින අනෙක් තරුණයායි.
සෙනෙල් වන්නිආරච්චි සහ රඛිත මාලේවන ලබන ජුනි මාසයේ ලන්ඩනයේදී බ්‍රිතාන්‍ය රැජින හමුවීමට නියමිතයි.
කාවින්ද්‍යා තෙන්නකෝන්, තේජිත සෞභාග්‍ය එදිරිසිංහ සහ නුෂෙල් ද සිල්වා පසුගිය වසරවලදී 'රැජිනගේ තරුණ නායකයන්' වශයෙන් සම්මාන ලැබූහ.