ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මැතිවරණ කොමිසම පළාත් පාලන ඡන්දයට සැරසෙයි
පළාත් පාලන ඡන්ද විමසීම් ලබන වසරේ (2018) ජනවාරි මාසයේ 20 සහ 31 දින අතර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනක පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
2017 නොවැම්බර් පළමු වෙනිදා මැතිවරණ කොමිෂන් සභාව විසින් ගන්නා ලද තීරණ ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති නිවේදනයක එම කාල නිර්ණය කිරීම් දැක්වෙයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනය අනුව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් කර ඇති හෙයින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා පැවති බාධා දැන් ඉවත්ව ඇත.
එම තත්වය යටතේ පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතේ 26 වගන්තිය යටතේ තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කළ යුතු නාම යෝජනා කාලසීමාව (නාම යෝජනා කැඳවීමේ දැන්වීම ) නොවැම්බර් 27 දිනයෙන් ආරම්භ වෙන සතිය තුළ නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
එම නිශ්චිත දිනය පසුව නිවේදනය කරන බවත් කොමිසම පවසයි.
ඒ අනුව නාම යෝජනා කාල සීමාව එම දැන්වීම නිකුත් කරනු ලබන දිනයට පසුව එළඹෙන දාහතර වැනි දිනයෙන් ආරම්භ වී දාහත් වැනි දින මධ්‍යාහ්න දොළහට අවසන් වෙනු ඇත.
එකී නාම යෝජනා කාල සීමාව දින තුන හමාරකින් නිම වනු ඇත.
නම යෝජනා කාල සීමාව සහ ඊට අදාළ කටයුතු නිම වීමෙන් අනතුරුව, තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන ඡන්ද විමසීම් පිළිබඳ ගැසට් නිවේදනය මගින් ඡන්දය විමසන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවත් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ නිවේදනයේ දැක්වෙයි.
එම ගැසට් නිවේදනය නිකුත් කරන දිනයේ සිට සති පහකට නොඅඩු සහ සති හයකට නොවැඩි කාලසීමාව ඇතුළත ඡන්ද විමසීම පැවැත්වෙන බවත් මැතිවරණ කොමිසම පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීම් ලබන වසරේ ජනවාරි මාසයේ 20 සිට 31 අතරතුර පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිසම පවසන්නේ එම කාල නිර්ණය කිරීම් අනුවයි.
ඉහත කී කරුණු පදනම් කර ගනිමින් පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවන දිනය,නාම යෝජනා කාල සීමාව සහ ඡන්දය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් ඉදිරි දිනවල තීරණය කරනු ඇත.
සබැඳි පුවත්;