ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"සීමා නිර්ණය මාසයක් ඇතුළත ගැසට් කරනවා"
සීමා නිර්ණය කමිටුව මගින් සකස් කර තිබෙන පළාත් පාලන ආයතන සීමාවන්, මාසයක් ඇතුළත ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව පළාත් පාලන ඇමතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.
කල් දමා තිබෙන පළාත් පාලන මැතිවරණය විමසීම පවත්වන දිනය ප්‍රසිද්ධියට පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පැෆරල් සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අද (ජන. 30) කැඳවූ අවස්ථාවේදී ෆෛසර් මුස්තෆා ඇමතිවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා මෙම දැනුම්දීම සිදු කළේය.
මේ අනුව අද සිට මාසයක් ඇතුළත පලාත් පාලන ආයතනවල සිමා ගැසට් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි පෙත්සම ඉදිරිපත් කළ පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේය.
"නිශ්චිත කැලැන්ඩරයක්"
"ගැසට් නිවේදනය නිකුත් වීමෙන් පසුව පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ක්‍රමවේදය මැතිවරණ කොමිසම විසින් සකස් කල යුතුයි. ශ්‍රී ලංකාවේ මැතිවරණ සඳහා නිශ්චිත කැලැන්ඩරයක් නොමැතිවීම විශාල අඩුවක් ලෙසයි අපි දකින්නේ. ඉතිං මැතිවරණ කොමිසම එම ක්‍රියාවලිය නිශ්චිත ලෙස ඉටුකරයි කියා අපි විශ්වාස කරනවා." රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේය.
පෙත්සම විභාග කිරීම ලබන මාර්තු මස 13 වැනිදාට කල් දැමූ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් පලාත් පාලන විෂයභාර ඇමතිවරයාට දන්වා සිටියේය.
පළාත් පාලන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීම තුළින් ජනතාවගේ නිදහස් ඡන්ද අයිතිය උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා පැෆරල් සංවිධානය මෙම පෙත්සම ඉදිරිපත්කර තිබේ.