බන්ධනාගාර රෝහලේ ප්‍රභූ වරප්‍රසාද අහිමි කෙරෙන නියෝගයක්

වැලිකඩ සිර ගෙදර
ඡායාරූප ශීර්ෂ වැකිය, වැලිකඩ සිර ගෙදර

සිරභාරයේ තබන කිසියම් රැඳවියකු අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබීම සඳහා ඇතුළත් කරන්නේ ඒ සඳහා එම රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ අනුමැතිය මින් ඉදිරියට ලබා ගත යුතු බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් පවසයි.

මීට පෙර එක් වෛද්‍යවරයකුගේ නිර්දේශය පරිදි බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම් සිදු වූ අතර, මින් ඉදිරියට වෛද්‍යවරුන් තිදෙනකුගේ අනුමැතිය මත පමණක් රැදවියන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි උපදෙස් දී ඇත.

අනතුරුව අදාළ වෛද්‍ය වාර්තා අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළ යුතු අතර, ඒවා වැඩිදුර විමර්ශනය අමාත්‍යාංශය විසින් සිදු කරනු ඇත.

රැඳවියන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමේදී අක්‍රමිකතා සිදුවන බවට විවිධ පාර්ශ්වවලින් ලැබී ඇති පැමිණිලි හා ඉල්ලීම් සලකා බැලීමෙන් පසුව මෙම තීරණයට එළබි බව අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් පවසයි.

ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට සිර මැදිරියෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට සිර මැදිරියෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි

ශ්‍රී ලාංකික සමාජයේ දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූන් සිරගත කරනු ලැබීමෙන් අනතුරුව බන්ධනාගාර රෝහල තුළ ජීවත් වීමේ විශේෂ වරප්‍රසාදයක් භුක්ති විඳින බවට පසුගිය කාලය තුළ විවේචන එල්ල වෙමින් තිබුණි.

2015 ජනාධිපතිවරණ සමයේ මහජන මුදල් අවභාවිතා කරමින් 'සිල් රෙදි' බෙදූ බවට එල්ල කෙරුණ චෝදනාවන්ට වරදකරුවන් කරනු ලැබ සිරගත කරන ලද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනුෂ පැල්පිට වසර තුන බැගින් බරපතළ වැඩ ඇතිව ඊයේ බ්‍රහස්පතින්දා බන්ධනාගාර ගත කරන ලද අතර ඔවුන් දෙදෙනාත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති බව මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි.

සිරගත කෙරෙන දේශපාලනඥයන්ට පමණක් නොව මුදල් බලය ඇති පාතාල නායකයන්ට ද බන්ධනාගාර රෝහල තුළ නවාතැන් ලබා දීමට එහි වෛද්‍යවරුන් කටයුතුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පසුගියදා කියා සිටියේය.