"බන්ධනාගාර වෛද්‍යවරු පාතාල නායකයන්ටත් රෝහලේ නවාතැන් දීලා"

වීඩියෝ ශීර්ෂ වැකිය, "බන්ධනාගාර වෛද්‍යවරු පාතාල නායකයන්ටත් රෝහලේ නවාතැන් දීලා"

සිරගත කෙරෙන දේශපාලනඥයන් පමණක් නොව මුදල් බලය ඇති පාතාල නායකයන්ට ද බන්ධනාගාර රෝහල තුළ නවාතැන් ලබාදීමට එහි වෛද්‍යවරුන් කටයුතුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

අද (මාර්තු.01) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ඒබව කියා සිටියේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාරය පළ කරමිනි.

බන්ධනාගාර රෝහලේ සියලුම වෛද්‍යවරුන්ට ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න නියෝගකර ඇති බව ඊයේ (පෙබ.29) සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.

වැලිකඩ ගැටුම

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ ඇතිවූ ගැටුමෙන් මියගිය හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් වන්දි ලබාදීමට රජය තීරණය කොට ඇති බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු මියගිය අතර බන්ධනාගාර නිලධාරීන් හා සිරකරුවන් 20 දෙනෙක් තුවාල ලැබුහ.

Grey line
Grey line

මිය ගිය පුද්ගලයන් 27 දෙනාගෙන් 16 දෙනකුට වන්දි ලබා දෙන ලෙස ඒ සම්බන්ධයෙන් පත් කරන ලද විමර්ශන කමිටුව යෝජනාකොට ඇති අතර මිය ගිය අයකුට වන්දි ලෙස රුපියල් ලක්ෂ 20ක් ලබාදීමට තීරණය විය.

කළුතර වෙඩි තැබීම

සෙසු රැඳවියන් 11 දෙනා බන්ධනාගාරයෙන් පැනයාමට උත්සාහ කිරීමේදී මියගොස් ඇති බැවින් ඔවුන්ට වන්දි ලබා නොදෙන ලෙස අදාල විමර්ශන කමිටුව යෝජනා කර තිබේ.

වැලිකඩ ගැටුම සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ පිළිබඳ විමසීමේදී අමාත්‍යවරයා කියා සිටියේ ඉහත කී කමිටුවේ විමර්ශන වාර්තාව අධ්‍යයනය කොට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවය.

පසුගියදා කළුතර දී සිදුවූ වෙඩිතැබිම පිළිබඳ විමසීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන බවය.