වැලිකඩ ගැටුමේ වාර්තාව යටගසන්නේ ඇයි?

වීඩියෝ ශීර්ෂ වැකිය, වැලිකඩ ගැටුම

2012 වසරේ නොවැම්බර් මාසයේ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් විසිහත් දෙනෙකු මරා දැමීම පිළිබඳව වත්මන් රජය පැවැත්වූ පරීක්ෂණයේ වාර්තාව යටගසන්නේ හිටපු රජයේ ප්‍රබලයන් ආරක්ෂා කිරීම පිණිස දැයි සිවිල් සමාජ සංවිධාන රජයෙන් ප්‍රශ්න කරති.

'වැලිකඩ ඝාතන සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතු' බව වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපසදී මාධ්‍ය හමුවක් කැඳවමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපරය ඇතුළු සිවිල් සමාජ කණ්ඩායම් රජයට බල කළහ.

ගැටුම පිළිබඳව යහපාලන රජය පැවත්වූ පරීක්ෂණ වාර්තාව භාර දී දැනට වසරකට අධික කාලයක් ගතවී තිබුනත් ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එහිදී අදහස් දැක් වූ සිවිල් සමාජ ක්‍රියාකාරී සමන් රත්නප්‍රිය පෙන්වා දුන්නේය.

සිරකරුවන්ගේ නම් කැඳවා ඔවුන් දණගස්වා ඝාතනය කළ බවට සාක්ෂි එම වාර්තාවට ඇතුලත් බව පැවසූ සමන් රත්නප්‍රිය, මෙම වාර්තාව ගැන ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි දැයි අධිකරණ ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

'ආණ්ඩුවේ කල්ලියක්', රාජපක්ෂ පාලනයේ අපරාධවලට සම්බන්ධ ප්‍රබලයන් ආරක්ෂා කිරීමේ උත්සාහයක නිරතව සිටින බවට පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ චෝදනා කළේය.