වැලිකඩ වාර්තාව 'ප්‍රතිවාදීන් හීලෑ කිරීමටද?'

    • Author, තිසර අරවින්ද රතුවිතාන
    • Role, බීබීසී

වැලිකඩ බන්ධනාගාරයේ හට ගත් ගැටුමක දී සිරකරුවන් විසිහත් දෙනෙකු මරණයට පත්වීමේ සිද්ධිය පිළිබඳව නිකුත් කළ කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන ලෙස එම ඝාතනයට එරෙහි ජනතා එකතුව ඉල්ලති.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත් වීමෙන් අනතුරුව පත් කරන ලද නව කමිටුවේ වාර්තාව පොලිස්පතිවරයා දක්වා ගොස් ඇති බව සැල වන නමුත් ඉන් පලක් වී නැති බවයි වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනයට එරෙහි ජනතා එකතුවේ කැඳවුම්කරු නීතීඥ සේනක පෙරේරා බීබීසීයට කියා සිටියේ.

සැකය

වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනයට එරෙහි ජනතා එකතුවේ කැඳවුම්කරු නීතීඥ සේනක පෙරේරා

ඡායාරූප මූලාශ්‍රය, Senaka Perera

ඡායාරූප ශීර්ෂ වැකිය, වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනයට එරෙහි ජනතා එකතුවේ කැඳවුම්කරු නීතීඥ සේනක පෙරේරා

‘පසුගිය කාලයේ මේ වගේ කමිටු වාර්තා පාවිච්චි කළේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් හීලෑ කරන්න. මේ වාර්තාවත් ඒ ආකාරයට යොදා ගෙන තිබෙනවාද කියන සැකය අප තුළ තියෙනවා.’ ඔහු පැවසීය. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය අමුණා ඇත.

‘යට ගැසීමට’

මෙම කමිටු වාර්තාවේ අඩංගු දෑ දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබෙන බැවින් එය හෙළිදරව් කරන ලෙස ඉල්ලා අධිකරණයට ගොස් ආඥාවක් ලබා ගැනීමට කටයුතු කරන බවද වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනයට එරෙහි ජනතා එකතුවේ කැඳවුම්කරු නීතීඥ සේනක පෙරේරා කියා සිටියේය.

පසුගිය පාලන සමයේ දී පත් කළ පරණගම කමිටුව ද මෙම සිදුවීම ‘යට ගැසීමට’ කටයුතු කර ඇතැයි ඔහු චෝදනා කළේය.

මෙම ප්‍රහාරය සිදු වුනේ 2012 වසරේ නොවැම්බර් මාසයේ දී.