විලියම් කුමරු සමග පාසල් ගිය ජෝර්ජ් කුමරු

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු (කේම්බ්‍රිජ් ආදිපාදයා) සහ කේට් කුමරිය (කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය) ගේ පුතණුවන් වන ජෝර්ජ කුමරු බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 07) සිය පාසල් ගමන ආරම්භ කළේය.
විලියම් කුමරුගේ අතින් අල්ලා ගෙන කුඩා ජෝර්ජ් කුමරු පාසල වෙත පිය මැන්නේ සිය මව දරුවෙකු පිළිසිඳ ගැනීමත් සමග තවමත් අසනීප තත්වයෙන් පසුවන බැවිනි.
වසරකට බ්‍රිතාන්‍ය පවුම් 18,000 ක් අය කරන Thomas's Battersea කුඩා ජෝර්ජ් කුමරුගේ පාසලය.
සිව් හැවිරිදි කුමරු සිය පාසල් දිවිය ආරම්භ කළේ, සිය තුන් වෙනි දරුවා අපේක්ෂාවෙන් සිටින බව කේම්බ්‍රිජ් හි ආදිපාද යුවළ නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුවය.
පාසලේ ප්‍රධාන ගේට්ටුව හරහා සිය රථය පදවාගෙන ගිය බ්‍රිතාන්‍ය කිරුළේ දෙවෙනි උරුමකරු වන විලියම් කුමරු, ඉන් අනතුරුව සිය පුතුගේ පොත් බෑගය ද රැගෙන ඔහුගේ අතින් අල්ලාගෙන පාසල වෙත පිය මැන්නේය.

ඡායාරූප මූලාශ්‍රය, KENSINGTON PALACE
එහිදී පාසලේ ප්‍රාථමික අංශාධිපතිනිය වන හෙලන් හස්ලෙම් (Helen Haslem) විසින් ඔවුන් දෙදෙනා පිළිගනු ලැබිණ.
ජෝර්ජ් කුමරුගේ පන්තියේ තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20 දෙනෙකු සිටින අතර, එහි ජෝර්ජ් කුමරු අසුන් ගන්නේ සිය නම සඳහන් වෙනම අසුනකය. පළමු දින කිහිපය තුළ පාසලේ කටයුතු අඩ දිනකට සීමාවේ.
පාසල තුළ රජ කුමරු වෙනුවෙන් කිසිදු විශේෂ සැලකීමක් නොදැක්වෙන බව සඳහන් කළ පාසලේ විදුහල්පති බෙන් තෝමස්, අනෙක් සිසුන්ගේ අධ්‍යාපනයට බාධා නොවන අයුරින් පාසලේ කටයුතු පවත්වාගෙන යාම පිණිස කලෙක පටන් සැලසුම් සකස් කළ බව ද කියා සිටියේය.
කුඩා ජෝර්ජ් කුමරුගේ පියා වන විලියම් කුමරු සහ ඔහුගේ සොහොයුරු හැරී කුමරු යන දෙදෙනාම ඉතා බාල වියේදීම සිය පාසල් ගමන ආරම්භ කළහ.
ඔවුන් දෙදෙනාගේ පියා වන බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු මුලින් වසර කිහිපයක් බකිංහැම් මාලිගයේදීම මූලික අධ්‍යාපනය හැදෑරීය.
ඉන් අනතුරුව ඔහු බර්ක්ෂයර් පළාතේ Cheam Preparatory School පාසලට ඇතුළත් විය.

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප මූලාශ්‍රය, Alamy










