ජගත් ජයසූරිය අපරාධ කළ බවට තොරතුරු තිබෙනවා - ෆොන්සේකා

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඒ අපරාධ කරපුව ගැන මගේ ළඟ තොරතුරු තියෙනව. නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළොත් එතැනදී මම සාක්ෂිකරුවෙක් හැටියට ඒ ගැන දීර්ඝ වශයෙන් විස්තර කරනවා"

යුද්ධයේ අවසාන අදියරේ අත්අඩංගුවේ පසු වූ පුද්ගලයන් ආරක්ෂා කිරීම සහ යුද පෙරමුණට සැපයුම් කටයුතු භාරව සිටි හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය අපරාධවල නියැලී සිටියේ යයි තමන්ට පැමිණිලි ලැබුන බව එවකට යුද හමුදාපතිවරයා වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

අමාත්‍ය සරත් ෆොන්සේකා ඒ බව සඳහන් කළේ, තමන් යුද මෙහෙයුම්වලට සම්බන්ධ නොවූ අතර එවකට යුද මෙහෙයුම් භාර සිටියේ එවකට හමුදාපති සරත් ෆොන්සේකා බවට ජනරාල් ජගත් ජයසූරිය මාධ්‍ය හමුවේ කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වමිනි.

පසුගිය සතිය වන තුරුම බ්‍රසීලයේ තානාපතිවරයා ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව යුද අපරාධ චෝදනා නගමින් ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) සංවිධානය විසින් බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ නඩු පවරනු ලැබ තිබේ.

"යුද පෙරමුණේ එයා සටන් මෙහෙයුවේ නෑ. නමුත් ඔහු යටතට පත්වෙනවා අත්අඩංගුවට ගන්නා අය වැනි පිරිස්. එවැනි අයට අදාළව යම් අපරාධ කරනවා කියල මට තොරතුරු ලැබුණා," යනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සඳහන් කළේ කොළඹ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශයේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනරාල් ජගත් ජයසූරිය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, "සාක්ෂි දෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට ඒක කරන්න පුළුවන්. අන්තිම වශයෙන් මේ සියල්ල අවසානයකට ගෙනෙන ලිඛිත ලියවිල්ලක් තියෙන්න ඕන"

ජනරාල් ජගත් ජයසූරිය හමුදාපති පදවියට පත්වීමෙන් අනතුරුවත් "ඒ ක්‍රියා පිළිවෙත දිගටම ගිය," බව ද අමාත්‍ය සරත් ෆොන්සේකා සඳහන් කළේය.

සබැඳි යොමු:

"ඒ අපරාධ කරපුව ගැන මගේ ළඟ තොරතුරු තියෙනව. නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළොත් එතැනදී මම සාක්ෂිකරුවෙක් හැටියට ඒ ගැන දීර්ඝ වශයෙන් විස්තර කරනවා."

යුද්ධය අවසාන වූ පසුව ජනරාල් ජගත් ජයසූරිය විසින් කරන ලද "අපරාධ" සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට නියමිතව තිබුණු අතර, එහි ආරම්භක පියවර ලෙස ඔහුගේ අධි සහායකවරයා ලෙස ක්‍රියා කළ ලුතිනන්වරයෙකු පවා අත්අඩංගුවට ගන්නා ලද බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් එම පරීක්ෂණය ආරම්භ කරන අවස්ථාවේම තමන් හමුදාපති ධුරයෙන් ඉවත් කරන ලද බව ද ෆීල්ඩ් මාෂල්වරයා පැවසීය.

"ඔහු කළ අපරාධවලට එවක සිටි ආරක්ෂක ලේකම්, එවකට සිටි පාලකයා, ඔවුන්ගේ ආශීර්වාදය ලැබුන බවත් මට තොරතුරු තියෙනව."

යුද්ධයේ අවසන් අදියරේ දී බරපතල යුද අපරාධ සිදු කළ බවට දෙපාර්ශවයටම චෝදනා එල්ල වේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද්ධයේ අවසන් අදියරේ දී බරපතල යුද අපරාධ සිදු කළ බවට දෙපාර්ශවයටම චෝදනා එල්ල වේ

රෝහල්වලට යළි යළිත් එල්ල කෙරුණු ප්‍රහාර, වධබන්ධන හා ලිංගික ප්‍රචණ්ඩත්වය, බලහත්කාර පැහැරගෙන යාම් මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධ හමුදා ඒකකවලට අණදුන් තැනැත්තා වශයෙන් ජනරාල් ජගත් ජයසූරිය පෞද්ගලිකව අපරාධ වගකීමක් දරන බවට බ්‍රසීලියා හා බොගෝටා නගරවල සඳුදා (අගෝස්තු 28) ගොනුකරන ලද නඩුවලින් චෝදනා එල්ල කෙරී ඇති බව 'ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය' සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එහෙත් "යුද්ධයේ දී ඉදිරි පෙළේ මෙහෙයුම් කාර්යභාරයක් නොපැවරුණ" බව බීබීසී සිංහල සේවයට කියා සිටි ජනරාල් ජගත් ජයසූරිය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

තවත් සබැඳි යොමු:

භූමියේ භටපිරිස්වලට තමා අණදීමේ නොයෙදුණු හෙයින් තමාට එරෙහිව නගන චෝදනාවල පදනමක් නොමැති බව ද ජනරාල්වරයා අවධාරණය කරයි.

යුද හමුදාව වරදක් කර නොමැති නම් චෝදනාවන්ට ලක්වූවන්ගේ නම් පිරිසිදු කෙරෙන ජාත්‍යන්තර විභාගයක් ප්‍රතික්ෂේප කරන්නේ මන් දැයි බීබීසී ය විමසූ විට "එම තීරණය ඉහළ මට්ටමින් ගත යුත්තක්" වන බව ජනරාල් ජයසූරිය සඳහන් කළේය.

"එවැනි විභාගයකට මුහුණ දීම ප්‍රශ්නයක් නොවෙයි. සාක්ෂි දෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට ඒක කරන්න පුළුවන්. යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුව තියෙනවා. අන්තිම වශයෙන් මේ සියල්ල අවසානයකට ගෙනෙන ලිඛිත ලියවිල්ලක් තියෙන්න ඕන," ජනරාල්වරයා පවසයි.