ජගත් ජයසූරිය: "මමත් පත්තරෙන් දැක්කේ"

Sri Lanka's outgoing army chief Jagath Jayasuriya (C) and his successor, Major General Daya Ratnayake (L) arrive at a farewell ceremony in the capital Colombo on July 30, 2013.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෙනරාල් ජගත් ජයසූරිය (මැද)

යුද අපරාධ සිදු කර ඇතැයි චෝදනා කරමින් ලතින් ඇමරිකානු කලාපයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව මානව හිමිකම් සංවිධානයක් විසින් බ්‍රසීලයේ සහ කොලොම්බියාවේ නඩු පවරනු ලැබ තිබේ.

බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කටයුතු කළ තානාපති ජගත් ජයසූරිය එරටින් පළා ගොස් ඇති බවට අදාළ චෝදනා ගොනු කළ ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානය පවසයි.

මේ අතර තානාපතිවරයා පළා ගොස් ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටියේ ඔහු සිය සේවා කාලය නිමා කර ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටින බවය.

2009 එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පැවති සටනේ අවසන් අදියරේ දී ජනරාල් ජගත් ජයසූරිය වන්නි ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

යුද්ධය අවසානයේ සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මරණයට පත් වූ අතර යුද අපරාධ සිදු කළ බවට ශ්‍රී ලංකා රජයේ හමුදාවට සහ එල්ටීටීඊ සංවිධානය යන දෙපාර්ශවයටම චෝදනා එල්ල වී තිබේ.

ජගත් ජයසූරියට එරෙහිව එල්ල වී ඇති චෝදනා මොනවාද?

This handout picture released by the Sri Lankan Army on May 15, 2009 allegedly shows civilians who managed to escape from the last remaining Tamil Tiger rebel-held patch of coastline in the northeastern district of Mullaittivu.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද්ධයේ අවසන් අදියරේ දී සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මරණයට පත්ව ඇති බව ඇතැම් වාර්තාවල සඳහන් වන නමුත් එම සංඛ්‍යාව මෙතෙක් නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්ව නොමැත

රෝහල්වලට පහර දීම, සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මරා දැමීම, පැහැර ගෙන යාම සහ වධ බන්ධනයට ලක් කිරීමේ චෝදනා එල්ල වී තිබෙන උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේ යෙදී සිටි හමුදා භට පිරිස්වල ප්‍රධානියා වශයෙන් ජගත් ජයසූරිය කටයුතු කළේය.

තානාපතිවරයා බ්‍රසීලයෙන් පිටුවහල් කර එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානය ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිචාරය කුමක්ද?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාව

ඡායාරූප මූලාශ්‍රය, president.gov.lk

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාව

බදාදා (අගෝස්තු 30) කොටුව ජනාධිපති මන්දිරයේ දී පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාව අතරතුර අදහස් පළ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ අදාළ චෝදනා සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බවය.

"එහෙම දෙයක් අපි ඇත්තටම දන්නේ නැහැ. මමත් අද පත්තරේ තමයි දැක්කේ," යනුවෙන් කී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන බව වැඩිදුරටත් සඳහන් කළේය.

තානාපතිවරයා වශයෙන් ඔහුගේ ධුර කාලය අවසන් වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර බදාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ යම් පුද්ගලයෙකුට එරෙහිව ඝාතන, අතුරුදහන් කරවීම්, ස්ත්‍රී දූෂණ වැනි "විශේෂිත වූ චෝදනා" ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා නෛතික ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුවේ ස්ථාවරය බවය.

එවැනි චෝදනා තිබෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ආණ්ඩුව සූදානම් බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

එම මාධ්‍ය හමුවට එක් වී සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න කියා සිටියේ ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව ගොනු කර ඇති චෝදනා අසත්‍ය බවය.

ශ්‍රී ලංකාවේ යුද්ධය සහ මිනිස් ජීවිත

A general view of the abandoned "conflict zone" where Tamil Tigers separatists made their last stand before their defeat by the Sri Lankan army in the northeast of Sri Lanka on May 23, 2009.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, යුද්ධයේ අවසන් භාගයේ දී දෙමළ වැසියන් දහස් ගණනක් කුඩා බිම් තීරුවක කොටු විය

වසර 26ක් පුරා පැවති සිවිල් යුද්ධය අවසානයේ උතුරේ සහ දකුණේ අවම වශයෙන් ලක්ෂයක්වත් මරණයට පත්ව ඇති බව ඇතැම් වාර්තා සඳහන් කරයි.

යුද්ධයේ අවසන් අදියරේ දී සාමාන්‍ය වැසියන් දස දහස් ගණනක් මරණයට පත්ව ඇති බව ඇතැම් වාර්තාවල සඳහන් වන නමුත් එම සංඛ්‍යාව මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැත.

අවසන් අදියරේ දී නිසි සොයා බැලීමකින් තොරව රජයේ හමුදා ෂෙල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් මරණයට පත් වූ බවට චෝදනා එල්ල වන අතර සිය ආරක්ෂාව සඳහා සාමාන්‍ය වැසියන් මිනිස් පළිහක් ලෙස යොදා ගත් බවට එල්ටීටීඊ සංවිධානයට චෝදනා එල්ල වේ.

යුද්ධයේ අවසාන අදියරේ දී සිදු වූ බව පැවසෙන බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව ස්වාධීන පරීක්ෂණය පවත්වන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ප්‍රතිඥා දී තිබෙන නමුත්, එම පරීක්ෂණය මෙතෙක් ආරම්භ වී නොමැත.