ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සයිටම්: බදාදා සිට අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක්
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා දෙන තෙක් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයකට යන බව ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ බදාදා (ජුලි 05) සිට අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මක වනු ඇති බවය.
සයිටම් විරෝධී සරසවි සිසුන්ට පොලිසිය විසින් පහර දෙනු ලැබීම සහ එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මුල් කර ගනිමින් මතුව ඇති අර්බුදය විසඳීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය ජුනි 22 වෙනිදා වර්ජනයක් ක්‍රියාත්මක කළේය.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාළව රජය මගින් පනවා ඇති කොන්දේසි විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය ජුනි 25 වෙනිදා නිවේදනය කළේය.
ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් පැවැත්විණි.
කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවට එක් වූ රජයේ ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ එය කිසිදු නිල තත්වයක් නොමැති "හොර සාකච්ඡාවක්" බව ජනාධිපතිවරයාම කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ බවය.
ඩෙංගු
සයිටම් අර්බුදය මුල් කර ගනිමින් දිගින් දිගටම ක්‍රියාත්මක වන වෛද්‍ය වර්ජන හමුවේ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවකට මුහුණ දී තිබේ.
එමෙන්ම රටේ විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග ඇතැම් රෝහල්වල අධික තදබදයක් පවතින බව වාර්තා වේ.
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම මේ වසර තුළ වාර්තා ගත මට්ටමකට ළඟා වී ඇති අතර සෞඛ්‍ය සේවාවල සහාය පිණිස ඇතැම් රෝහල් වෙත සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් යෙදවීමට බලධාරීහු කටයුතු කළහ.
ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම බීබීසී සිංහල සේවය වෙත පසුගියදා කියා සිටියේ ඉදිරි සති කිහිපය තුළ ඩෙංගු රෝගීන් තවත් වැඩි වීමේ අවදානමක් පවතින බවය.