කටාර් අර්බුදය: විකල්ප සැපයුම් මාර්ගයක්

අරාබි රටවල් හයක් විසින් පනවන ලද සීමා මගහැර යාම සඳහා ඕමානය හරහා සිය භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කර ඇති බව කටාර් රාජ්‍ය පවසයි.

කටාර්හි වරාය කළමනාකරණ ආයතනය කියා සිටියේ ඕමාර් රාජ්‍යයේ සොහාර් (Sohar) සහ සලාලාහ් (Salalah) හරහා සතියකට තෙවරක් සෘජු සේවා ක්‍රියාත්මක වන බවය.

කටාර් රාජ්‍යය වෙත ගෙනෙන භාණ්ඩ සාමාන්‍යයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වරායන් වෙත ප්‍රවාහනය කෙරෙන අතර ඉන් අනතුරුව එම භාණ්ඩ කුඩා නෞකා වෙත පටවනු ලබයි.

නමුත් පසුගිය 05 වෙනිදා කටාර් රාජ්‍ය හා පැවති ආර්ථික සහ තානාපති සබඳතා අත්හිටුවීමට සෞදි අරාබිය, බහරේනය, ලිබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, යේමනය, ඊජිප්තුව යන රටවල් කටයුතු කළහ.

ඉහත කී අරාබි රටවල් විසින් එවැනි තීරණයක් ගනු ලැබුවේ කටාර් රාජ්‍ය ත්‍රස්තවාදයට සහ ඉරානයට සහාය දෙන බවට චෝදනා කරමිනි.

එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කටාර් රාජ්‍ය කියා සිටින්නේ තම රට වෙත සීමා පැනවීම මගින් අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කර ඇති බවය.

ඛනිජ සම්පත් බහුල කුඩා රාජ්‍යයක් වන කටාර්හි ජනගහනය ලක්ෂ විසි හතකට ආසන්නය.

කටාර් වෙත ආනයනය කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ ගොඩබිම් සහ මුහුදු මාර්ග ඔස්සේය.

කටාර් නෞකා සඳහා සිය වරායන් වසා දමන බව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බහරේනයේ යන රටවල නාවික බලධාරීහු පසුගිය 05 වෙනිදා නිවේදනය කළහ.

කටාර් වෙත සහ ඉන් පිටතට යාත්‍රා කරන වෙනත් නෞකාවලට ද ඇතුළු වීමට අවසර නොදෙන බව ඩුබායිහි ජබෙල් අලි සහ අබුඩාබි නෞකා පර්යන්ත පැවසූහ.

කටාර් රාජ්‍යය සෙසු කලාපීය රටවලින් හුදකලා වීමත් සමග එහි ආහාර හිඟයක් ඇති විය හැකි බවට බිය පළ විය.

ඒ සමග අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට බොහෝ දෙනෙක් වෙළෙඳසල් වෙත රැස් වූ බවට වාර්තා පළ විණි.

ඒ අතරේදී සති අන්තයේ තුර්කියේ සිට කටාර් වෙත ප්‍රවාහනය කරන ලද කිරි නිෂ්පාදන වෙළෙඳසල් වෙත ලැබෙමින් පැවතිණි.

එමෙන්ම පලතුරු සහ එළවලු රැගත් ඉරානයට අයත් ප්‍රවාහන ගුවන් යානා පහක් ද කටාර් වෙත ළඟා විය.

ටොන් 350 ක භාණ්ඩ රැගත් තවත් නෞකා තුනක් ඉරානයේ සිට කටාර් වෙත පැමිණීමට නියමිතය.

කටාර් රාජ්‍ය තුළ ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් සේවයේ නිරතව සිටිති.

ගල්ෆ් කලාපයේ මතුව ඇති රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය හේතුවෙන් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් බලපෑමක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

ආරම්භයේ කිරි නිෂ්පාදනවල අඩුවක් පැවතියත් මේ වන විට වෙළෙඳසල් තුළ අවශ්‍ය පමණට කිරි නිෂ්පාදන සහ ආහාර ද්‍රව්‍ය ඇති බව කටාර්හි සේවයේ නිරත ශ්‍රී ලාංකිකයෙකු වන මසූමි මොහොමඩ් බීබීසී සිංහල සේවයට පැවසීය.

කෙසේ නමුත් ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදෙස් ශ්‍රමිකයන් සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතුවල නිරත වී සිටින බව කී ඔහු ආරම්භයේ දී ඇතැම් ශ්‍රී ලාංකිකයන් යම් කිසි චකිතයකින් පසු වූ බව සඳහන් කළේය.

ණයට මුදල් ගෙන කටාර්හි සේවයට පැමිණි ඇතැම් ශ්‍රමිකයන් සිය අනාගතය සම්බන්ධයෙන් බියෙන් පසු වූ බවත් මාතලේ පදිංචිකරුවෙකු වූ මසූමි මොහොමඩ් වැඩිදුරටත් කියා සිටියේය.

සිය රටට සීමා පැනවීම සම්බන්ධයෙන් කටාර් ජාතිකයන් දක්වන්නේ කෙබඳු අදහසක් දැයි විමසූ විට ඔහු කියා සිටියේ කටාර් එමීර්වරයා සහ ආණ්ඩුවට එරට වැසියන්ගේ සහාය හිමි වන බවය.

ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

කටාර් අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : [email protected]