ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කටාර්: ගල්ෆ් අර්බුදය යුද්ධයක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
කටාරය සහ සෙසු ගල්ෆ් රාජ්‍යයන් අතර උද්ගතව පවතින අර්බුදය යුද්ධයක් බවට පෙරළීමේ අනතුරක් ඇති බව ජර්මනියේ විදේශ ඇමති සිග්මාර් ගේබ්‍රියෙල් (Sigmar Gabriel) කියා සිටියි.
ජර්මන් පුවත්පතක් සමඟ සාකච්ඡාවකට සහභාගී වූ විදේශ ඇමතිවරයා ගල්ෆ් රටවල් එකිනෙක රට සමඟ ගනුදෙනු කරන ආකාරය ඉතා රළු අමිහිරි ස්වභාවයක් ගෙන ඇතිබව පෙන්වා දුන්නේය.
විදේශ ඇමති සිග්මාර් ගේබ්‍රියෙල් ගල්ෆ් අර්බුදයට සම්බන්ධ සියලු රටවල් සමඟ පසුගිය සතිය පුරා සාකච්ඡාවන්හි නියැළුණි.
ගල්ෆ් කලාපීය අර්බුදය මතුවුණේ සෞදි අරාබිය,එක්සත් අරාබි එමීරය,බහරේන් සහ ඊජිප්තුව යන රටවල් කටාරය සමඟ ගුවන් මුහුදු සහ සියලු දේශසීමා සම්බන්ධතා අත්හිටුවීමත් සමඟයි.
කටාරය ත්‍රස්තවාදයට අරමුදල් සපයන බවට සෞදි අරාබිය කරන චෝදනාවත් සමඟ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙයි.
එම ක්‍රියාමාර්ගය අවසන් කරන මෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් (Rex Tillerson) ඉල්ලීමක් කර ඇතත් ගල්ෆ් රාජ්‍යයන් එය නොතකා කටයුතු කරති.
'ඩෝහා' බලධාරීන් ත්‍රස්තවාදී කණ්ඩායම වලට උදව් කරන බවට චෝදනා කරමින් මින් දවස් කීපයකට පෙර ගල්ෆ් අරාබි කීපයක් කටාරය සමඟ සියලු සබඳතා අත්හිටුවන ලදී.
මේ අතර කටාර් විදේශ ඇමති ෂේක් මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් අල් - තානි කියා සිටියේ " කටාර් ආණ්ඩුව ඉස්ලාමීය අන්තවාදයට සහාය දෙන බවට කිසිදු සාක්ෂියක් නැහැ" යනුවෙනි.
ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ විසිදහසක් පමණ කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.
කලාපයේ රටවල් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය එරට සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන්ට බලපා නැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.