"ඇමතිවරයා ගැන සැකයි"

සහල් ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා රටේ සහල් හිඟයක් මවාපාමින් සිටින බවට සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය චෝදනා කරයි.
එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සංදේශයට කියා සිටියේ මහ කන්නයේ ලැබීමට නියමිත අස්වැන්නත් සමඟ ලබන අගෝස්තු මාසය දක්වා පරිභෝජනයට සෑහෙන සහල් රට තුළ පවතින බවය.
මහ පරිමාණ මෝල් හිමියන් විසින් රුපියල් තිස් ගණනකට වී කිලෝවක් මිලදී ගෙන රුපියල් අනූ ගණනකට වෙළඳපොළට නිකුත් කිරීම නිසා සහල් මිල ඉහලගොස් ඇති බවට ඔහු චෝදනා කළේය.
වෙළඳ පොලේ සහල් මිල අඩුකර ගැනීමට නිසි ක්‍රමවේදයක් යෝජනා කර තිබියදීත් සහල් ආනයනය කිරීම සඳහාම පෙළඹීම මත විෂයභාර ඇමතිවරයා පිළිබඳව 'සැකයක්' මතුවන බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසීය.

කෙසේ නමුත් වී මෝල් හිමියන්ගෙන් කොමිස් මුදල් ලබා ගත් බවට මහා පරිමාණ වී මෝල් හිමියකුවන ඩඩ්ලි සිරිසේන නැගූ චෝදනාව ඔප්පු කළහොත් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී පාර්ලිමේන්තුවෙන් ද ඉවත්වන බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී හැරිසන් ප්‍රකාශ කළේය.
සහල් ආනයනය කිරීම සඳහා මේවන විට ටෙන්ඩර් කැඳවා ඇති බව කී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා සති දෙකක කාලයක් ඇතුළත විදේශ රටවලින් සහල් ආනයනය කිරීමට හැකිවනු ඇති බවත් පැවසීය.




