වී වලට සහතික මිලක් ඉල්ලා අධිකරණයට පෙත්සමක්

සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න
ඡායාරූප ශීර්ෂ වැකිය, සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න

වී සහ සහල් මිල දී ගැනීම සඳහා විධිමත් යන්ත්‍රණයක් සකස් කරන ලෙස රජය වෙත නියෝග පනවන මෙන් ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

වී වලට සහ සහල්වලට සහතික මිලක් නොමැති වීම නිසා ගොවියාගේත් පාරිභෝගිකයාගේත් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශයට පත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය හා සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් පෙත්සම්කරුවන් වන අතර නීතිඥ සුනිල් වටගල, නීතිඥ ජානක අධිකාරී මෙම පෙත්සම වෙනුවෙන් පෙනී සිටියි.

වී සඳහා සහතික මිල ක්‍රමයක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ගොවියන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවයි සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න පවසන්නේ.

වී අලෙවි මණ්ඩලය විසින් සහතික මිල ගණන් යටතේ වී මිල දී නොගැනීමත් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඒ සහල් සඳහා සහතික මිලක් නියම නොකිරීමත් නිසා වී ගොවියෝ, පාරිභෝගිකයෝ මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ විශාල අපහසුතාවයකට පත්ව සිටින බව පෙත්සම්කරුවන් විසින් පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ යන්ත්‍රණය සකසා ගොවීන්ගේ ගැටලුවලට විසඳුමක් ලබා දෙන මෙන් රජයට නියෝගයක් පනවන ලෙසයි පෙත්සම් කරුවන් ඉල්ලා සිටින්නේ.