තාජුදීන්ගේ සහෝදරයාට තර්ජන; පොලිස් පරීක්ෂණ

තාජුදීන් මරණය සම්බන්ධයෙන් සැකයක් -පොලිස් පරීක්ෂණ
ඡායාරූප ශීර්ෂ වැකිය, තාජුදීන් මරණය සම්බන්ධයෙන් සැකයක් -පොලිස් පරීක්ෂණ

ඝාතනය කරන ලදැයි සැකයක් පවතින වසීම් තාජුදීන් ගේ සහෝදරයකුට එම නඩුවේ චූදිතයකු වන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා විසින් සිදු කරන ලදැයි පැවසෙන තර්ජනයක් පිළිබඳව පරීක්ෂණ පවත්වන බව රහස් පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

තාජුදීන් නඩු විභාගය අද (26) කැඳවූ අවස්ථාවේ පොලිසිය අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කරමින් 'තාජුදීන් ඝාතනය සිදු වූ වකවානුවේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස ක්‍රියාකළ සැකකාර පොලිස් පරීක්ෂකවරයා විසින් අදාළ තර්ජනය සිදුකළ බවට' පැමිණිලි ඉදිරිපත් වී ඇති බව කියා සිටියේය.

ඒ අනුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ අර ඇති බව අගතියට පත් පාර්ශවයේ නීතිවේදී මිෂ්බාක් සත්තාර් සඳහන් කළේය.

මේ අතර රතුපස්වල වෙඩි තැබීම සම්බන්ධයෙන් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් තවදුරටත් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

නඩුවේ සැකකරුවන්
ඡායාරූප ශීර්ෂ වැකිය, නඩුවේ සැකකරුවන්

එම ඉල්ලීම පිළිගත් අධිකරණය හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් බන්ධනාගාරය තුළ දී ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රහස් පොලිසියට අවසර ලබා දුන්නේය.

ඉන් අනතුරුව අනුර සේනානායක සහ සුමිත් පෙරේරා යන සැකකරුවන් දෙදෙනා ලබනමස හයවෙනි දිනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තබන මෙන් අධිකරණය නියෝග කළේය.