අර්ධ ෆෙඩරල් ක්‍රමයක්වත් එපා - සම සමාජ පක්ෂය

අර්ධ ෆෙඩරල් ක්‍රමයක්වත් එපා - සමසමාජ පක්ෂය

ඡායාරූප මූලාශ්‍රය, Tissa Vitharana./FB

ෆෙඩරල් පාලනයකට පමණක් නොව අර්ධ ෆෙඩරල් ක්‍රමයකට පවා මේ මොහොතේ එකඟ නොවන බව ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලංකා සම සමාජ පක්ෂයේ ස්ථාවරය පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර පසුගියදා හමුවක් පැවැත්විණි.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියේ ව්‍යවස්ථා සම්පාදක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් එහිදී වැඩි වශයෙන් කරුණු සාකච්ඡා වූ බවය.

ජාතික සමගිය ගොඩ නැගීම සඳහා ඒකීය රාමුවක් තුළ සුදුසු බලය බෙදා හැරීමක් ක්‍රියාත්මක කළ යුතු බව සිය පක්ෂයේ මතය වුවත් රට තුළත් රටෙන් පිටතත් බෙදුම්වාදී ප්‍රවණතා හිස ඔසවමින් තිබෙන වාතාවරණයක් තුළ ඒකීය පාලන ක්‍රමයෙන් පිටවීමට කටයුතු කිරීම මේ මොහොතේ සුදුසු නොවන බව මහාචාර්යවරයා පැවසීය.

"එල්ටීටීඊයේ පරාජයෙන් පස්සේ ඒ බෙදුම්වාදී මතවාද ඉවත් වෙයි කියලා අපි හිතුවා. මේ අවස්ථාවේ ඒකීය පාලන ක්‍රමයෙන් පිට වීමට කටයුතු කළොත් දකුණේ ලොකු අවිශ්වාසයක් ඇති වෙනවා." ඔහු සඳහන් කළේය.

ආගමික සහජීවනය
ඡායාරූප ශීර්ෂ වැකිය, "ජාති, ආගම, කුල භේදවලින් ඈත් වී එක් ලාංකික ජාතියක් වශයෙන් එක් වීමට යම් කාලයක් යාවි,"

අන්තවාදී කණ්ඩායම්වල මතුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග කරුණු සාකච්ඡා කළ බව කී මහාචාර්ය තිස්ස විතාරණ ජාතික සංහිඳියාවට බාධාවක්වන එම තත්වය වහා පාලනය කළ යුතු බව තමන් එහිදී පැවැසූ බවත් සඳහන් කළේය.

තමන් විසින් ඉදිරිපත් කරන ලද එම කරුණු ජනාධිපතිවරයා පිළිගත් බවත් ඔහු කියා සිටියේය.

බලය බෙදා හැරීම සම්බන්ධයෙන් කටයුතු කළ හැකි වන්නේ ජාතීන් අතර පවතින අන්නෝන්‍ය විශ්වාසය යළි ගොඩ නැගීමෙන් අනතුරුව පමණක් බව මහාචාර්යවරයා පැවසීය.

සොල්බරි ආණ්ඩුක්‍රමය තුළ කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානයක් හිමි වී නොතිබුනත් 1972 වසරේ ලංකා සම සමාජ පක්ෂයේ ද මූලිකත්වයෙන් සම්පාදනය කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් හිමි විය.

නව ව්‍යවස්ථාව: 'ෆෙඩරල් නොව අයිතිවාසිකම් ව්‍යවස්ථාවක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty/ ISHARA S.KODIKARA

එවැනි පියවරක් ගනු ලැබීම, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රටාව අනාගමිකවාදී ස්වභාවයෙන් ඈත් කිරීමට හේතු නොවුනේ දැයි බීබීසී සිංහල සේවය විමසා සිටි අවස්ථාවේ මහාචාර්යවරයා කියා සිටියේ දේශපාලනය සහ ආගම මිශ්‍ර කර නොගත යුතු බව සිය පක්ෂයේ මතය වුවත් බ්‍රිතාන්‍ය පාලන සමයේ රජයේ උත්සව තුළ පවා කිතුනු ආගමට ප්‍රමුඛස්ථානයක් ලැබුණු බවය.

"ජාති, ආගම්, කුල භේදවලින් ඈත් වී එක් ලාංකික ජාතියක් වශයෙන් එක් වීමට යම් කාලයක් යාවි," ඔහු පැවසීය.

ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවේදී දේශපාලන කරුණු පිළිබඳවත් සාකච්ඡා කෙරුණු බව මහාචාර්ය තිස්ස විතාරණ පැවැසූ අතර එම කරුණු පිළිබඳ විමසූ අවස්ථාවේ ඔහුගේ ප්‍රතිචාරය වූයේ "නැහැ, ඒ ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ" යනුවෙනි.