වැළලී ගිය පෞරාණික නගරයක් මතු වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Egyptian Ministry of Antiquities
ඊජිප්තුවේ වසර පන්දහසකට වඩා පැරණි වැළලී ගිය නගරයක් සොයා ගැනීමට එරට පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී තිබේ.
එම පුරාණ නගරය විශාල සුසාන භූමියකින්, නිවාස සංකීර්ණවලින් යුතු බව කැනීම් වලදී අනාවරණය වී ඇති අතර මැටියෙන් නිමවන ලද වළන්, විවිධ උපකරණ සහ මෙවලම් සොයා ගෙන ඇත.
නයිල් නදියට බටහිරින් පිහිටි 'අබයිඩොස්' නගරයේ 'සේති' දෙවොල පිහිටි කලාපයේ දී මෙම නටබුන් සොයා ගත හැකි වූ බව පුරාවිද්‍යාඥයන් කණ්ඩායම පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ වන විට කැනීම්වලින් අනාවරණය කරගෙන ඇති සොහොන් ගැබ් පහළොවක නෂ්ටාවශේෂ අධ්‍යනය කළ විශේෂඥයන් පවසන්නේ ඉතා ඉහළ ජීවන මට්ටමක් පවත්වාගෙන ගිය ප්‍රභූවරුන් මෙම සොහොන් ගැබ් තුළ තැන්පත් කර ඇති බවට සාධක හමු වී ඇති බවය.
පෞරාණික ඊජිප්තු ශිෂ්ටාචාරයේ සොහොන් ගර්භයන් නිර්මාණයේ නියැලුණු වාස්තු විද්‍යාඥයන් ජීවත් වූ කලාපයක් ලෙස මෙම ඉපැරණි නගරය හඳුන්වා දිය හැකි බව පුරාවිද්‍යාඥයන් කණ්ඩායම වැඩිදුරටත් කියා සිටී.




