බුන්දල දී හමු වූ දුර්ලභ ගණයේ සුදු මුවා

දුර්ලභ ගණයේ සුදු පැහැ මුව දෙනක බූන්දල ජාතික වනෝද්‍යානයෙන් හමු වී ඇත.
පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විතවූ මුව රංචුවක් අතර සිටි එම මුව දෙන, වනජීවී ඡායාරූපකරණයේ යෙදී සිටි වෛද්‍යවරයකුගේ ඇස ගැටිණි.
එම සත්ත්වයා සිය කැමරා කාචයේ සටහන් කරගත් මාතර, මාවරල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය එම් කේ රන්දොඹගේ තමන් පසුගියදා දුටු සුදු මුවදෙනගේ ලක්ෂණ පැහැදිලි කළේය.
"මෙම මුවා එම රංචුවේ අනෙක් මුවන්ට වැඩිය කැපී පෙනෙන ලක්ෂණ තිබුණා. අනෙක් මුවන්ට වැඩිය වඩාත් සුදු මුවෙක්," ඔහු පැවසීය.
"මෙම මුවාගේ විශේෂම ලක්ෂණ විදියට හඳුනාගන්න ලැබුනේ මුවාගේ ඇහි පිහාටු. මොකද අනෙක් මුවන්ගේ තද කලුපාට ඇහි පිහාටු තියෙන්නේ මේ මුවාගේ තනි සුදු ඇහි පිහාටු තිබුණා. අනෙක් මුවන්ගේ නාසය ප්‍රදේශයේ තද දුඹුරු කළු වර්ණයක් තිබුනත් මේ මුවාගේ දුටුවේ අඳුරු සුදු වර්ණයක්," යැයි ඔහු පෙන්වා දුන්නේය.
මුවදෙනගේ මුහුණ, ගෙල ප්‍රදේශය හා පාද අනකුත් සාමාන්‍ය මුවන්ට වඩා වැඩි සුදු පැහැයකින් යුතු වූ බව ද වෛද්‍ය රන්දොඹගේ සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බුන්දල ජාතික වනෝද්‍යානයේ භාරකරු ඒ එම් සාරංග ප්‍රකාශ කළේ බුන්දල ජාතික වනෝද්‍යානය තුළ තමන් එවැනි සත්ත්වයකු දැක නැති බවය.




