සාධනීය වෙනසකට කැප වෙනවා - යුනිසෙෆ් නියෝජිත

UNICEF Sri Lanka

ඡායාරූප මූලාශ්‍රය, UNICEF Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය, යුනිසෙෆ් සංවිධානයේ නව නියෝජිත ටීම් සටන්

දුගී භාවය පිටුදැකීම, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ ළමුන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සම්බන්ධයෙන් වසර ගණනාවක් මුළුල්ලේ ලබා ඇති ප්‍රගතිය හමුවේ සාමය පිරි අනාගතයක් සහ සමෘධිමත් සමාජයක් ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකාවට සුවිශේෂී අවස්ථාවක් උදා වී ඇති බව ශ්‍රී ලංකාවට පත්වී ආ, යුනිසෙෆ් සංවිධානයේ නව නියෝජිත ටීම් සටන් පවසයි.

ඒ සඳහා සිය ළමා පරපුර වෙනුවෙන් ආයෝජනය කිරීම සහ වඩාත්ම ලොවට නිරාවරණයවන තරුණ ප්‍රජාවට සහයවනු පිණිස නව්‍ය ක්‍රමවේද සොයා යෑම යන කරුණු දෙස ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු යැයි තමා විශ්වාස කරන බව ද යුනිසෙෆ් සංවිධානයේ නව නියෝජිතවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් දැක්වූයේ ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිතයා ලෙස අද (ඔක්. 25) වැඩ භාරගනිමිනි.

"ශ්‍රී ලංකාවේ ළමා සහ තරුණ ප්‍රජාව වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාව ලැබීම මහත් ගෞරවයක් සහ විශේෂ වරප්‍රසාදයක් ලෙස සලකනවා" යැයි යුනිසෙෆ් සංවිධානයේ නව නියෝජිත ටීම් සටන් පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ළමා පරපුර වෙනුවෙන් තිරසර සාධනීය වෙනසක් ඇති කරනු වස් ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ජනතාව සමග සමීපව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බවය.

1996 වසරේ සිට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වෙනුවෙන් සේවය කරන ටීම් සටන් බංගලාදේශය, ඉරාකය භූතානය සහ ශාන්තිකර කලාපයේ රටවල් කීපයක සේවයේ නිරතව ඇත.