රු730ක වැටුපකට වතු සමිති එකඟයි -ඇමති

රුපියල් දහසක වැටුප් වැඩි කිරීමක් වෘත්තීය සමිති ඉල්ලා සිටියත්
ඡායාරූප ශීර්ෂ වැකිය, රුපියල් දහසක වැටුප් වැඩි කිරීමක් වෘත්තීය සමිති ඉල්ලා සිටියත්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 දක්වා ඉහල දැමීමට වතු හාම්පුතුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනාවට වතුකරයේ ප්‍රධාන වෘත්තීය සමිති සියල්ල එකඟ වූ බව කම්කරු ඇමතිවරයා පවසයි.

ඒ අනුව එකඟත්වයක් ඇති කර ගැනීමට නොහැකිව වසර එකහමාරකට අධික කාලයක් තිස්සේ පැවති සාකච්ඡා නිම කර ලබන සතියේ දී සාමූහික ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවයි කම්කරු අමාත්‍ය ඩබ් ඩී ජේ සෙනෙවිරත්න කියා සිටියේ.

රුපියල් දහසක වැටුප් වැඩි කිරීමක් වෘත්තීය සමිති ඉල්ලා සිටියත් තේ කර්මාන්තය මුහුණ තිබෙන අර්බුදය සලකා බලා ඔවුන් මෙම වැඩි වීමට එකඟ වූ බව කම්කරු අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය.

වැඩ කරන දින ගණන ගැන අවසන් එකඟත්වයක් ඇති කර ගැනීමට තව සාකච්ඡා කිහිපයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, වැඩ කරන දින ගණන ගැන අවසන් එකඟත්වයක් ඇති කර ගැනීමට තව සාකච්ඡා කිහිපයක් -ඇමතිවරයා

මෙම වැටුපට සේවක අර්ථ සාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ අරමුදලට සමාගම් වෙන් කරන රුපියල් 75ක පමණ මුදලත් සමග වතු කම්කරුවෙකුට දිනකට රුපියල් අටසියයකට වැඩි වැටුපක් හිමි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

වැඩ කරන දින ගණන ගැන අවසන් එකඟත්වයක් ඇති කර ගැනීමට තව සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බව අමාත්‍යවරයා පවසයි.

සාමූහික ගිවිසුමට අත්සන් තැබිය යුතු ලංකා කම්කරු සංගමයේ නායක ආරුමුගම් තොන්ඩමන් මන්ත්‍රීවරයා විදේශ ගතව සිටින නිසා ඔහු පැමිණීමෙන් පසු ලබන 14 වැනිදා පමණ වන විට ගිවිසුමට අත්සන් තැබිය හැකි බවට අමාත්‍යවරයා බලාපොරොත්තු පළ කළේය.

දැනට වතු කම්කරුවෙකුට ලැබෙන දෛනික වැටුප රුපියල් 620 කි.
ඡායාරූප ශීර්ෂ වැකිය, දැනට වතු කම්කරුවෙකුට ලැබෙන දෛනික වැටුප රුපියල් 620කි

තවමත් විරෝධතා

කෙසේ වෙතත් වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000/- දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් අද දිනයේ ද වතුකරයේ නගර කීපයක උද්ඝෝෂණ පැවැත්විණි.

රුපියල් 730/- ක වැටුප් වැඩි කිරීමට තමන් කිසිසේත් එකඟ නොවන බවයි විරෝධතා සඳහා පැමිණ සිටින වතු කම්කරුවන් පවසා ඇත්තේ.

මෙම විරෝධතා ගැන අමාත්‍යවරයාගෙන් කරුණු විමසූ විට ඔහු පැවසුවේ මෙම පණිවිඩය නිසි ලෙස ඔවුන්ට නොලැබුණු නිසා ඔවුන් තවමත් විරෝධතාවයේ යෙදෙන බවට තමන් සිතන බවයි.

දැනට වතු කම්කරුවෙකුට ලැබෙන දෛනික වැටුප රුපියල් 620කි.