බලාපොරොත්තුව ආසියානු කුසලානය: දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෝ

කොචින් නුවර පැවැත්වෙන මංගල විස්සයි විස්ස ආසියානු ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Federation of the Visually Handicapped

ඡායාරූප ශීර්ෂ වැකිය, කොචින් නුවර පැවැත්වෙන මංගල විස්සයි විස්ස ආසියානු ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම

දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මානයක් දිනාදීම සිය බලාපොරොත්තුව බව ආසියානු කුසලානයට තරඟ වැදී සිටින ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම පවසයි.

කණ්ඩායමේ කළමනාකරු සහ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් සම්මේලනයේ ලේකම් දේවප්‍රිය ලක්ෂාන් ඒ බව සඳහන් කළේ ඉන්දියාවේ කොචින් නුවර පැවැත්වෙන ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ මුල් තරඟයේදී බංග්ලාදේශය පරාජයට පත්කිරීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

"අපේ බලාපොරොත්තුව ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනාදීම," ඔහු පැවසීය.

මූල්‍ය පහසුකම්

දෘශ්‍යාබාධිත ක්‍රීඩකයන් වෙනුවෙන් පැවැත්වෙන මංගල ආසියානු විස්සයි විස්ස ශූරතාවලිය මෙයයි.

ඉන් අනතුරුව නේපාල කණ්ඩායමත් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ නමුත් බ්‍රහස්පතින්දා පාකිස්තානයට එරෙහිව පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

ජයග්‍රහණයක් සමරන ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම
ඡායාරූප ශීර්ෂ වැකිය, ජයග්‍රහණයක් සමරන ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර තරඟාවලි සඳහා පූර්ණ මූල්‍ය අනුග්‍රහය සැපයෙන් නමුත්, ජාත්‍යන්තර තරඟාවලි සඳහා පුහුණුවීම් කටයුතු වෙනුවෙන් පවා අනුග්‍රාහකයන් සොයාගැනීමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදීමට දෘශ්‍යාබාධිත කණ්ඩායම සිදුවේ.

මෙවර ඉන්දීය සංචාරය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය බොහෝ පහසුකම් සපයා දුන් නමුත්, පුහුණුවීම් කටයුතුවලදී මෙවරත් කණ්ඩායම බොහෝ අභියෝගවලට මුහුණදීමට සිදු වූ බව දේවප්‍රිය ලක්ෂාන් සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.

"අඩුපාඩු රැසක් තිබුනත් ආසියානු කුසලානයට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් අපි සහභාගි වුනා."

මෙවරත් පුහුණුවීම් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අවසාන මොහොතේ ඛෙත්තාරාම ක්‍රීඩාංගනය ලබා දුන් නමුත්, මුල් දිනවල පුහුණුවීම්වල යෙදුනේ ක්‍රීඩාංගනවල කොනක කුඩා ඉඩක් වෙන්කරවාගෙන බවත් කළමනාකරු පැවසීය.

"ඉතින් අර කරන්න දෙයක් නැතිකමට තමයි අපි indoor net එකේ පුහුණුවීම කළේ," දේවප්‍රිය ලක්ෂාන් වැඩිදුරටත් පැවසීය.