ටෙනිස් ක්‍රීඩක නොවාක් ජොකොවිච් වීසා නඩුවෙන් ජය හිමිකරගත්තේ මෙහෙම යි

ඡායාරූප මූලාශ්‍රය, EPA
අවසානයේ ඕස්ට්‍රේලියානු රජය කරබාගති.
ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ නෛතික සාක්ෂ්‍යත්, විනිසුරුවරයාගේ සැකමුසු විමසුමත් හමුවේ රජයේ නීතිඥයන් නිහඬ විය.
නොවාක් ජොකොවිච් කොවිඩ් එන්නත් ලබාගෙන නොතිබූ අතර, ඔහු ඕස්ට්‍රේලියාවේ දේශසීමා නීති කඩකළා වන්නට ඉඩක් තිබුණි. එහෙත් සඳුදා ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් මාණ්ඩලික අධිකරණය තීන්දුව ලබා දුන්නේ ඊට එරෙහිව නොවේ.
ඒ වෙනුවට, ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කළ යුතුදැ යි තීරණය කිරීමේ දී ආගමන විගමන නිලධාරීන් අතින් දෝෂයක් සිදුව ඇතැ යි සලකමින් ඔහුව නිදහස් කරනු ලැබීය.
එම නිලධාරීන් චූදිතයකුගේ පිළිතුරු දීමේ අයිතිය නමැති, නීතියේ මූලික මූලධර්ම කඩකොට තිබිණි.
ජොකොවිච්ගේ නඩුව සාර්ථක වූයේ කෙසේදැ යි තේරුම් ගැනීම සඳහා, මුලින්ම අපි පසුගිය බදාදා රාත්‍රියේ මෙල්බර්න් ගුවන් තොටුපොළේ දී මේ ටෙනිස් ක්‍රීඩකයා ලද අත්දැකීම් විස්තර කළ යුතු ය.
ජොකොවිච් ගුවන් තොටුපොළේ දී ලද අමිහිරි අත්දැකීම
ටෙනිස් තාරකාවට පැය 25ක ගුවන් ගමනකින් පසු ආගමන විගමන අංශයෙහි පැය අටකට වඩා ගත කරන්නට සිදුවිය.
මධ්‍යම රාත්‍රිය අබිමුව ගොඩබට ඔහුට වීසා ප්‍රශ්නයක් ඇතැ යි දැනුම් දෙනු ලැබූ නමුත්, ගැටලුව කුමක්දැ යි දන්වා නොතිබිණි. එරට වේලාවෙන් උදෑසන 04:00ට පමණ, ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායේ නිලධාරියෙකු ඔහුට පැවසුවේ ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කර ඇති බව යි.
එන්නත ලබා නොගැනීමට විශේෂ වෛද්‍ය නිර්දේශයක් ලබා තිබූ බැවින්, රට තුළට ඇතුළුවීමට බලධාරීන් විසින් තමාට සම්පූර්ණයෙන් අවසර ලැබෙනු ඇතැ යි විශ්වාස කළ ජොකොවිච් ඉන් කම්පනයට පත්විය.
තනිවම පැමිණ සිටි ඔහු, තම නීතිඥයින් සහ ටෙනිස් බලධාරීන් සම්බන්ධකර ගැනීමට හැකි වන පරිදි පරීක්ෂණය උදෑසන 08:30 දක්වා කල් දමන ලෙස ඉල්ලා සිටියේ ය.
ගැටලුව තවදුරටත් පැහැදිලි කරගැනීමට අවශ්‍ය වූයෙන් ඔහු මෙය නැවත නැවතත් ඉල්ලා සිටියේ ය.
"උදේ 4ට මොනවා කරන්න ද කියලා මම දන්නේ නැහැ," ඔහු නිලධාරියාට පැවසීය. "මට ෆෝන් එක ඔන් කරලා මගේ නියෝජිතයා සහ ටෙනිස් ඕස්ට්‍රේලියා ආයතනය සම්බන්ධ කරගන්න ඉඩ දෙන්න පුළුවන් නම්..."
උදෑසන 05:00 වන විට නිලධාරියෙකු ජොකොවිච්ගේ එම ඉල්ලීමට එකඟ විය. නමුත් ඉන් පැයක් යන්නට මත්තෙන්, නිලධාරීන් තිදෙනෙකු විසින් ජොකොවිච්ව නින්දෙන් අවදි කරන ලදී.
උදෑසන 06:00ට ඔවුන් ඔහුට පැවසුවේ පරීක්ෂණය අවසන්කර ගැනීම ඔහුට වඩාත් පහසු වනු ඇති බවත්, ඔහුගේ නීතීඥයින්ගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටීමෙන් පලක් නැති බවත් ය.
උදෑසන 08:30 දක්වා රැඳී සිටීමට තමාට අවශ්‍ය බව ජොකොවිච් නැවතත් පැවසූ නමුත් නිලධාරීහු ඔහුට පරීක්ෂණයට සහභාගී වන ලෙස බලපෑම් කළහ.
ජොකොවිච් තම දිවුරුම් ප්‍රකාශය හරහා අධිකරණයට පැවසුවේ තමාට වෙනත් විකල්පයක් නොමැති බව හැඟුණු බවත්, එබැවින් ඔහු ඊට අවනත වූ බවත් ය. "මම දන්නවා ඔයාලා මගේ වීසා අවලංගු කරන්න යන බව. ඒක විශ්වාස යි,"යි ඔහු කී බව එම ප්‍රතිලේඛනයේ සඳහන් වේ.
විභාග කිරීමෙන් මඳ වේලාවකට පසු උදෑසන 07.40ට පමණ ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කෙරුණු අතර, ඔහු රැඳවුම් භාරයට ගනු ලැබුණි.
'සාධාරණ අවස්ථාවක්' නොලැබීම
ජොකොවිච්ගේ නීතීඥයින්, බලය අවභාවිතා කිරීම ඇතුළුව විවිධ හේතු හතකින් යුත් නීතිමය වැරදි රැසක් පිළිබඳව තර්ක කළහ. නමුත් අවසානයේ ඔවුන් ජයග්‍රහණය කළේ "පටිපාටික සාධාරණත්වය" සහ "නීතිමය අසාධාරණත්වය" යන පොදු නීති මූලධර්ම මත ය.
රාජ්‍ය නිලධාරියෙකු විසින් පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ දී නිසි ලෙස සැලකීම සහතික කිරීම මෙම මූලධර්මවලින් සිදු කෙරේ.
යමෙකු තමන්ගෙන් බදු අය කිරීමට අභියෝග කිරීම හෝ කවුන්සිලයේ ප්‍රතිසංස්කරණ සැලසුම්වලට එරෙහිව සටන් කිරීම වැනි ඕනෑම එදිනෙදා අවස්ථාවක දී මෙම මූලධර්ම භාවිතා කළ හැකි ය.
නමුත් මෙම අවස්ථාවේ දී ඒවා අදාල වූයේ, ටෙනිස් තරුවක් සඳහා වීසා බලපත්‍රයක් අවලංගු කිරීමට තීරණය කිරීමේ දී ආගමන විගමන නිලධාරියෙකු ගත් ක්‍රියාමාර්ගවලට ය. ඔවුන් අදාල සිදුවීම පැහැදිලි කරගන්නට ජොකොවිච්ට ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නේ ද?
ඔහුගේ නීතිඥයින් තර්ක කළේ ඔහුට එවන් ප්‍රමාණවත් කාලයක් නොලැබී ඇති බව ය.
"ජොකොවිච්ට ඔහුගේ නීතිඥයන් සමග කතා කිරීමට, ටෙනිස් ඕස්ට්‍රේලියා [ආයතනය] සමග කතා කිරීමට, සිදුවන්නේ කුමක් ද සහ ඔහුගේ අවශ්‍යතා මොනවාදැ යි බැලීමට අවම වශයෙන් [උදෑසන] 08:30 දක්වා කාලයක් අවශ්‍ය වූ බව ඉතා පැහැදිලිය," ඔහුගේ නීතිඥ නික් වුඩ් සඳුදා දින අධිකරණයට පැවසීය.
නමුත් ආගමන විගමන නිලධාරීන්ගේ "ව්‍යාජ" ප්‍රකාශයන් නිසාවෙන් පොරොන්දුවූවාට වඩා කලින් පරීක්ෂණයට සහභාගී වන ලෙස ඔහුට බල කෙරුණි. එම ප්‍රතිලේඛනයේ පිටු කිහිපයක නිලධාරීන් ඔහුට බලපෑම් කරන අයුරු දැක්වේ. වුඩ් පැවසුවේ මෙය "පැහැදිලිවම අසාධාරණ" බව ය.
විනිසුරු ඇන්තනි කෙලී ඊට පැහැදිලිවම එකඟ විය. ජොකොවිච්ට දුරකථනය සහ උපකාර සේවා ලබා ගැනීමට අවස්ථාවක් ලබා නොදීම ගැන ඔහු කිහිප වරක් සඳහන් කළේ ය.
සඳුදා පැවති නඩු විභාගයේ දී විනිසුරුවරයා ජොකොවිච්ට සැලකූ ආකාරය පිළිබඳව දැඩි කළකිරීමෙන් සිටියේ ය.
"[ජොකොවිච් වගේ] කෙනෙක් කවදාවත් සංක්‍රමණ පනතේ තිබෙන සිය ගාණක විතර ප්‍රතිපාදන ගැන සොයා බලන්නේ නැහැ. ඔහු කියාවි 'මෙතන මොකක්ද මේ වෙන්නේ, මට තේරෙන්නේ නැහැ, මට මගේ ෆෝන් එක දෙන්න, ඊට පස්සේ හරි උත්තරයක් හොයාගමු,' කියලා"
නමුත් ජොකොවිච්ට උදව් ලබා ගැනීමට ඉඩ ලැබුණේ නැත.
"මේ සියලු කරුණු සහ තත්ත්වයන් අනුව නිගමනයකට එන්න පුළුවන්. ඒ තමයි, ඔහු ඉල්ලූ පරිදි 8.30 වනතුරු රැඳෙන්නට සාධාරණ අවස්ථාවක් ලැබුණේ නැති එක. ඔහුට ඒ අවස්ථාව දෙන්න [නිලධාරීන්ට] වගකීමක් තිබුණා," විනිසුරු කෙලී පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රජයේ තර්කය බිඳවැටීම
එම හේතූන් අසත්‍ය බවට ඔප්පු කළ යුතු ප්‍රධාන නීතිමය වැරදි බව ආණ්ඩුවේ නීතීඥයන්ට පැහැදිලි විය.
ඔවුන්ගේ ලිඛිත ඉදිරිපත්කිරීම්වල පළමු පිටු කිහිපය තුළින් "පටිපාටික සාධාරණත්වය" සහ "නීතිමය අසාධාරණත්වය" සම්බන්ධ ප්‍රධාන කරුණු ඍජුවම සලකා බැලීමට අවශ්‍යයැ යි දක්වා තිබිණි.
ජොකොවිච්ට දේශසීමා නිලධාරියා වෙත තමන්ගේ තත්ත්වය පැහැදිලි කිරීමට "දැනටමත් දිගු කාලයක්" ලැබී ඇතැ යි ඔවුන් දක්වා ඇත. "එම අතරමැදි කාලය තුළ ඔහුගේ නීතීඥයින් කිසිවක් කළ බවට හෝ කරන්නට ගිය බවට කිසිදු සාක්ෂ්‍යයක් නැත," යනුවෙන් ද ඔවුහු පැවසූහ.
නමුත් සඳුදා දින උසාවියේ දී නීතිඥයින්ට පෙනී ගියේ විනිසුරුවරයා විසින් පෙන්වා දුන් ප්‍රමිතීන්, සහ ජොකොවිච්ගේ කණ්ඩායමේ සාක්ෂ්‍ය ඉදිරියේ එම කරුණු ඉතා දුර්වල තර්ක පෙළක් පමණක් බව ය. ආගමන විගමන නිලධාරියා දෝෂසහගත ලෙස හැසිරී ඇති බව ඔවුන්ට ද සනාථ විය.
සඳුදා පස්වරුවේ අධිකරණය යළි ආරම්භ වී ටික වේලාවකට පසු රජයේ නීතීඥවරයා නඩුව කල් තබන ලෙස ඉල්ලා සිටියේ ය.
විනාඩි 40කට පසු සමථයකට එළැඹි ඔවුහු ආපසු පැමිණියහ.
විනිසුරු කෙලී විසින් අධිකරණ නියෝගය කියවන ලදී: ඕස්ට්‍රේලියානු රජය "[ඔවුන්ගේ නියෝජිතයා විසින්] පරීක්ෂණය ඉදිරියට ගෙන යාමට සහ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ගත් තීරණය… [පවතින තත්ත්වයන් තුළ] අසාධාරණ බව පිළිගනියි."
නීතිමය දෝෂය නිසා වීසා අවලංගු කිරීම සඳහා වූ නියෝගය අවලංගු විය. ඒ අනුව නොවාක් ජොකොවිච් හට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට නිදහස හිමිවිය.










