ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ක්‍රීඩාවේ ජීවගුණය : "ක්‍රීඩා ලෝලීන් කලකිරේවි"

නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට වැරදිකරු කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අත්හිටුවීමට උත්සාහ කිරීම පිළිබඳ සැබෑ ක්‍රිකට් ලෝලීන් ඉතා කලකිරීමට පත්වනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක හර්ෂා බෝග්ලේ (Harsha Bhogle) පවසයි.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුඳු කිරීමේ චෝදනාවට වැරදි කරුවීමත්, ඔහු ඇතුළු පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහ ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහි 'තුන්වෙනි තලය (Level 3)' යටතට ගැනෙන බරපතළ චෝදනාවකට ලක්වීම ගැන ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හර්ෂා බෝග්ලේ මේ බව පැවසීය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මේ වන විට ක්‍රීඩා ලෝලීන් හා ක්‍රීඩා විචාරකයන් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවී තිබෙන චෝදනාව පිළිබඳ විවිධ අදහස් පළකරන අතර, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නායකයා පන්දුව පළුදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක්ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (19) නිකුත් කිරීමත් සමගම දිනේෂ් චන්දිමාල්ට ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි අප්‍රසාදය පළවෙමින් තිබෙනු දක්නට ලැබේ.

සිකුරාදා (ජූනි 15) තරගයේ අවසන් සැසිවාරයේදී, ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සිය වම් සාක්කුවෙන් යම් කිසි ද්‍රවයක් පිටතට ගෙන එය මුඛයේ දමා පසුව එය පන්දුවේ දවටා පන්දුව පළුඳු කළ බවට ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා නායකයාට චෝදනා කළේය. එම චෝදනාවට ඔහු වැරදිකරුවූ අතර ටෙස්ට් තරග තහනමක් සහ තරග මුදලින් 100%ක දඩ මුදලක් ඔහුට පැනවිණි.
ඊට අමතරව, ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ බරපතළම චෝදනාව වන්නේ, බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී, කණ්ඩායම පිටියට පැමිණීම ප්‍රතික්ෂේප කිරීමය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ හේතුවෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා, පුහුණුකරු සහ කළමනාකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබ තිබෙන අතර, එයට ඔවුන් වරදකරුවන් වුවහොත් උපරිම ටෙස්ට් තරග 4ක් හෝ එක්දින තරග 8ක තරග තහනමක් ඔවුන්ට පැනවිය හැකිය.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා පිල නිසි වෙලාවට පිටියට නොපිවිස පැය දෙකකට ආසන්න කාලයක් විරෝධය දැක්වීම ක්‍රිකට් ක්‍රීඩා විචාරකයන් දැඩි ලෙස විවේචනයට කර තිබේ. කුමන චෝදනාවක් තිබුණත් තරග විනිසුරුවරුන්ගේ තීරණය පිළිගෙන ක්‍රීඩාංගනයට නිසි ලෙස පිවිසීම ශ්‍රී ලංකා කණ්ඩායම සිදුකළ යුතුව තිබූ බව ඔවුහු පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති-රීති ගැන නිසි ලෙස නොදැනුවත්වීම, මෙම තත්වයට හේතුව බව නම සඳහන් කිරීමට අකමැතිවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු බීබීසියට පැවසීය.
ක්‍රීඩකයන් කුමන දෙයක් පැවසුවත්, කණ්ඩායමේ කළමණාකාරිත්වයේ වගකීම නීති-රීති අනුව නිසි කටයුතු කිරීමට ක්‍රීඩකයන්ට උපදෙස් දීම බව ඔහු පැවසුවේය.
"අපි දැක්කා ඔවුන් ඒ අවස්ථාවේ දුරකථන ඇමතුම් ගන්නවා. ලංකාවෙන්, ක්‍රීඩා ඇමතිතුමාගෙන්, නිසි බලධාරියගෙන් උපදෙස් ගත්තා කියලයි කිව්වේ. ඔවුන් දන්නවද ක්‍රිකට් නීති?" අදාළ ක්‍රීඩකයා ප්‍රශ්න කළේය.
"කණ්ඩායමේ පුහුණුකරු හා කළමනාකරු මේ ගැන වගකීම ගත යුතු බව" ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන ද මේ ගැන සිය මුහුණුපොතේ සටහනක් පළකරමින් පවසා තිබිණි.
ඔවුන් මෙම සිදුවීමේදී "වෘත්තීය මට්ටමකින්" කටයුතු නොකළ බව ඔහු ද පවසා තිබිණ. විශේෂයෙන්ම ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම කිසි විටක සිදු නොකළ යුත්තක් බව ද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන අවධාරණය කර තිබුණේය.
විශේෂයෙන්ම තරගය පවතින විට ක්‍රීඩාංගනයේ සිටි දිනේෂ් චන්දිමාල් දුරකථන ඇමතුමක් ලබාගැනීම ගැන ද ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලයේ අවධානයට යොමුවී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පන්දුව පළුඳු කිරීමේ චෝදනාවකට ලක්වීම නිසා ඕස්ට්‍රේලියාවේ හිටපු නායක ස්ටීව් ස්මිත්ට හා ඩේවිඩ් වෝනර්ට එරට පාලක මණ්ඩලය වසරක තරග තහනමක් ලබා දුන්නාක් මෙන්, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චන්දිමාල්ට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරග තරග තහනමක් පැනවිය යුතු බව ඇතැම් පිරිස් පවසති.
තවත් අය පවසන්නේ, ඕස්ට්‍රේලියානු සිදුවීම මෙන් සැලසුම් සහගත දෙයක් මෙහි සිදුවී නොමැති නිසා එලෙස වෙනම දඬුවම් දීමක් අවශ්‍ය නොවන බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් නිල වශයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයාට, පුහුණුකරුට හා කළමනාකරුට එල්ලවන මෙම චෝදනා ගැන අදහස් පළකර නොමැති අතර මෙම චෝදනා පිළිගන්නේද නැතිනම් ඊට අභියාචනයක් ඉදිරිපත් කරන්නේ ද යන්න ඔවුන් ප්‍රකාශ කළ යුතුව තිබේ.
දිනේෂ් චන්දිමාල්ගේ පන්දුව පළුදු කිරීමේ චෝදනාවට අභියාචනයක් ඉදිරිපත් කළ හොත්, බොහෝ දුරට ඔහුට බටහිර ඉන්දීය කොදෙව් සමග පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයට සහභාගිවීමට හැකිවනු ඇත.
එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට නව නායකයකු පත්කිරීමට සිදුවන අතර, බොහෝදුරට කණ්ඩායමේ උපනායක සුරංග ලක්මාල්ට හෝ මින් පෙර නායකයත්වය දරා ඇති රංගන හේරත්ට ශ්‍රී ලංකා පිළ මෙහෙයවීමට සිදුවනු ඇත.










