ක්‍රිකට්: පන්දුව පළුදු කිරීම, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වීමත් සමග ක්‍රිකට් ලෝකයේ ඒ පිළිබඳ යළිත් වරක් කතාබහක් නිර්මාණය වී තිබේ.

පසුගිය මාර්තු මාසයේ දකුණු අප්‍රිකාව සමග කේප් ටවුන්හිදී පැවති ටෙස්ට් තරගයක් අතරතුර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්ට පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල විය.

මෙහිදී විසිපස් හැවිරිදි කැමරන් බැන්ක්‍රොෆ්ට් සිය කලිසම් සාක්කුවෙන් කහ පැහැති පටියක් ගෙන පන්දුවේ අතුල්ලන ආකාරය වීඩියෝ දර්ශන ඔස්සේ දැක ගත හැකි විය.

ඒ අනුව පන්දුවේ හැසිරීම වෙනස් කිරීමට උත්සාහ කළ බවට එල්ල වූ චෝදනාව කැමරන් බැන්ක්‍රොෆ්ට් පිළිගත්තේය.

කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් පසු මාධ්‍ය හමුවකට සහභාගි වූ හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් කියා සිටියේ පන්දුව පළුදු කිරීමේ සැලසුම පිළිබඳ "නායකත්ව කණ්ඩායම" සාකච්ඡා කර තිබූ අතර එය තමන් කල්තියා දැන සිටි බවය.

Ball tampering - Cricket

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් නායකත්වයෙන් සහ උප නායකත්වයෙන් ඉවත් විය

"එය විශාල අත්වැරැද්දක්" ලෙස හැඳින් වූ ස්ටීව් ස්මිත් නායකත්වයෙන් ඉවත් නොවන බව එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවුවත් එකී සිදුවීම බොහෝ දෙනෙකුගේ දැඩි දෝෂදර්ශනයට ලක්වීමත් සමග ඕස්ට්‍රේලියානු ක්‍රීඩා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පන්දුව පළුදු කිරීමේ සිදුවීම පිළිබඳ අවධානය යොමු කර ස්ටීව් සමිත් නායකත්වයෙන් ඉවත් විය යුතු බවය.

එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් නායකත්වයෙන් සහ උප නායකත්වයෙන් ඉවත් වූහ.

මේ තොරතුරුද කියවන්න:

SL Cricket

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම චෝදනාවලට විරෝධය දක්වමින් සෙනෙසුරාදා දින තරගයට පැය දෙකක් ප්‍රමාද වී පිටියට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කර තිබේ

දැන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ද පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වී තිබේ.

තරගයේ දෙවන දිනය අවසානයේ දී තරගයට භාවිත කළ පන්දුව පරීක්ෂා කර බැලූ අලීම් දාර් (Aleem Dar) සහ ඉයන් ගුඩ් (Ian Gould) තරඟ විනිසුරන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

පසුගිය සිකුරාදා (ජූනි 15) තරගයේ අවසන් සැසිවාරයේදී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් සිය වම් සාක්කුවෙන් යම් රස කැවිලි වර්ගයක් පිටතට ගෙන එය මුඛයේ දමා පසුව එය පන්දුවේ දවටා පන්දුව පළුදු කිරීමට උත්සාහ කළ බවට ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට චෝදනා ලැබී තිබේ.

Sri Lanka Cricket

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ සම්බන්ධයෙන් වීඩියෝ සාක්ෂි ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. එම සාක්ෂි උපයෝගි කරගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක ජවගල් ශ්‍රීනාත් ඉදිරියේ මෙම පරීක්ෂණය පැවැත්වෙනු ඇත.

මේ පරීක්ෂණයෙන් පසුව ලබා දෙන තීන්දුවට අභියෝග කිරීමට ශ්‍රී ලංකා නායකයාට හැකි අතර, එසේ වුවහොත් ස්වාධීන කොමසාරිස්වරයෙක් ඉදිරියේ තවත් පරීක්ෂණයක් පවත්වනු ලැබේ.

දිනේෂ් චන්දිමාල් මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර සිටීම හේතුවෙන්, බොහෝ දුරට මෙම පරීක්ෂණය ස්වාධීන පරීක්ෂණයක් දක්වා ගෙන යාමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය.

සඳුදා නිමාවට පත්වන දෙවෙනි ටෙස්ට් තරගයෙන් අනතුරුව මෙම පරීක්ෂණයේ තීරණය ලබා දීමට නියමිතය.

Sri Lanka Cricket

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, දිනේෂ් චන්දිමාල්

තවත් තොරතුරු:

මේ අතර, පන්දුව පළුදු කරනු ලැබීම සම්බන්ධයෙන් ලද චෝදනා හමුවේ අවමානයට පත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනා වන ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝර්නර් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයිපීඑල්) තරගාවලියෙන් ද ඉවත් කරන ලදි.

අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේ දී 'රාජස්තාන් රෝයල්' ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් ස්ටීව් ස්මිත්මිලට ගෙන තිබුණේ ඩොලර් දහනව ලක්ෂයක ලන්සුවකට ය.ඒ අතර 'සන්රයිස් හයිද්‍රාබාද්' ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් ඩේවිඩ් වෝර්නර් සමඟ ඊට සමාන මූල්‍ය වටිනා කමක් සහිත ගිවිසුමකින් බැඳී තිබුණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ද එම ක්‍රීඩකයන් දෙදෙනාට එරෙහිව මාස දොළහක ක්‍රීඩා තහනමක් පැනවීය.

මින් පෙර මේ ආකාරයට පන්දුවේ යම් රසකාරකයක් අතුල්ලා පන්දුව පළුදු කළ බවට දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ෆාෆ් ඩුප්ලේසිට චෝදනා එල්ල වූ අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය අභියෝගයකට ලක් කළේය.

කෙසේ නමුත්, එම ස්වාධීන පරීක්ෂණයේදී ඔහු වරදකරු වූ අතර ඔහුගේ තරග ගාස්තුවෙන් 100%ක දඩයක් ගෙවීමට සිදු විය.

Ball tampering - Cricket
ඡායාරූප ශීර්ෂ වැකිය, ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනෙකුට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල වූ අවස්ථාවේ දී පන්දුවට සිදු වූ දේ පෙන්වන සයිමන් හියුස්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යා ධර්ම සංග්‍රහයේ 2.2.9 වගන්තිය අනුව "පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ වරද" යටතේ චන්දිමාල්ට චෝදනා එල්ල වී ඇත.

යම් හෙයකින් දිනේෂ් චන්දිමාල් එම චෝදනාවට වරදකරු වුවහොත් ඔහුට දඩ මුදලකට සහ ඇතැම් විට ටෙස්ට් තරග තහනමකට ද යටත් වීමට සිදු විය හැකිය.