නිදහස් කුසලාන ක්‍රිකට්: බංග්ලාදේශ ක්‍රීඩකයන්ට දඬුවම්

බංග්ලාදේශ කණ්ඩායම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සිකුරාදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති විස්සයි විස්ස තරගයේදී විනය විරෝධී ලෙසින් හැසිරීමේ චෝදනාව මත බංග්ලාදේශ කණ්ඩායමේ නායක ෂකිබ් අල් හසන් සහ අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට දඩුවම් නියම කළ බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

ඒ අනුව ඔවුන්ට තරගය සඳහා ගෙවන මුදලෙන් 25% ක දඩයක් සහ එක් 'දඬුවම් ලකුණක්' බැගින් නියම කර තිබේ.

අයිසීසීය විසින් 2016 සැප්තැම්බර් 22 වෙනි දින විනය විරෝධී කටයුතුවල යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 'දඬුවම් ලකුණු' නියම කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට දඬුවම් ලකුණු නියම කෙරුණු පළමු වතාව මෙය වේ.

සිකුරාදා තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ක්‍රීඩාවේ "ජීව ගුණය" උල්ලංඝනය වන ආකාරයෙන් හැසිරුණු බව පවසන ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය, ක්‍රීඩක නුරුල් හසන් ක්‍රීඩාව "අපකීර්තියට ලක් කිරීම" සම්බන්ධයෙන් වැරදිකරු බවත් සඳහන් කරයි.

බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ දොරටුව බිඳ දමා තිබුණ ආකාරය
ඡායාරූප ශීර්ෂ වැකිය, බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ දොරටුව බිඳ දමා තිබුණ ආකාරය

අයිසීසීය නායක ෂකිබ් අල් හසන්ට දඬුවම් කර තිබෙන්නේ විනිශ්චයකරුවකුගේ තීන්දුවකට විරෝධය පාමින් තරගයේ අවසාන ඕවරයේදී පිටියට පැමිණ බංග්ලාදේශ පිතිකරුවන් දෙදෙනා ක්‍රීඩාගාරයට කැඳවාගෙන යාමට උත්සාහ කිරීම හේතුවෙනි.

පිතිකරුවන් දෙදෙනාට පණිවුඩයක් ලබාදීම පිණිස පිටියට යැවුණු නුරුල් හසන්, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා වෙත ඇඟිල්ල දිගුකරමින් ඔහු සමග "අවිනීත ලෙස" වාදයක පැටලුණු බව ද ජගත් පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සෙනසුරාදා පෙරවරුවේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් එල්ල කළ චෝදනාවලට ක්‍රීඩකයන් දෙදෙනා වැරදිකරුවන් බව පිළිගත් අතර දඬුවම්වලට එකඟ වූ බව ද අයිසීසීය පවසයි.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

ක්‍රීඩකයන්ගේ දෙදෙනාගේ හැසිරීම "පිළිගත නොහැකි" බව පවසන තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ්, විනිසුරුවන් මැදිහත් නොවූයේ නම් තිසර පෙරේරා සහ නුරුල් හසන් අතර හටගත් වාදය ඊට වඩා "දුර දිග යා හැකිව" තිබුණු බව ද සඳහන් කර තිබේ.

තියුණු තරගයකින් අනතුරුව අවසාන ඕවරයේදී ලකුණු 12ක් රැස් කරමින් බංග්ලාදේශය තරගය ජයග්‍රහණය කළ නමුත් ඉන් අනතුරුව බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ දොරටුව බිඳ දමා තිබෙනු දක්නට ලැබිණ.

ක්‍රීඩකයන් අතින් ප්‍රවේශ දොරටුව බිඳී ගොස් ඇති බව ආරක්ෂක නිලධාරීහු පවසති.

එය ක්‍රීඩාලෝලීන්ගේ සහ විචාරකයන්ගේ දැඩි හෙළා දැකීමට ලක් වී තිබිණ.

ශ්‍රී ලංකා කණ්ඩායම

ඡායාරූප මූලාශ්‍රය, SLC/Twitter

තරගයෙන් පරාජයවීමත් සමග ශ්‍රී ලංකාවට නිදහස් කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු හතක දැවී ලකුණු 159ක් රැස් කර ගත්තේය.

එහිදී පන්දු 40 කදී ලකුණු 61ක් රැස් කළ කුසල් ජනිත් පෙරේරා ඒ සමගම වේගයෙන්ම විස්සයි විස්සයි ලකුණු දහසක් රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට ද පත්විය.

ඔහු සිය විස්සයි විස්ස ලකුණු දහස රැස් කළේ සිය 34 වෙනි ඉනිමේදීය.

කෙසේ වුවත් විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මෙවර කණ්ඩායමට තෝරා නොගැනීම බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ විවේචනයට ලක් වී තිබුණි.

ඒ පිළිබඳව විමසීම පිණිස ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවූ අතර, ලසිත් මාලිංග අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.

ඉරිදා (මාර්තු 18) පැවැත්වෙන නිදහස් කුසලාන අවසාන මහ තරගයට බංග්ලාදේශය සහ ඉන්දියාව සුදුසුකම් ලබා සිටී.

තවත් කියවන්න: