ක්‍රිකට්: දිනේෂ් චන්දිමාල්, අසංක ගුරුසිංහ සහ චන්දික හතුරුසිංහට තරග අටක තහනමක්?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායම පිටියට ගෙනඒම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අයිසීසී ජගත් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා, පුහුණුකරු සහ කළමනාකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
දිනේෂ් චන්දිමාල්, චන්දික හතුරුසිංහ සහ අසංක ගුරුසිංහට එරෙහිව නිල වශයෙන් එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබෙන්නේ ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් විසිනි.
ජගත් පාලක මණ්ඩලයේ විනය විධිවිධාන ප්‍රකාර එය "ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහි" තුන්වෙනි තලය (Level 3) යටතට වැටෙන බරපතල චෝදනාවකි.
ශ්‍රී ලංකා නායකයා, පුහුණුකරු හෝ කළමනාකරු එම චෝදනාවට නිවැරදිකරු බව පවසන්නේ නම් එවිට ඔවුන්ට එරෙහිව විශේෂ කොමසාරිස්වරයෙකු මගින් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
එහිදී ඔවුන් වැරදිකරුවන් බව තීරණය වුවහොත් ඔවුන්ට තරග හතරක සිට අටක් දක්වා වූ තහනමක් පැනවිය හැකිය.
චන්දිමාල්ට 'මතක නෑ'
එමෙන්ම දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් පණවනු ලැබීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඒ අනුව කොදෙවු පිල සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම ඔහුට තහනම් කෙරේ.
එයට අමතරව ටෙස්ට් තරගය සඳහා ඔහුට ගෙවන ලද සම්පූර්ණ මුදල දඩ වශයෙන් අයකර ගැනීමටත්, දඬුවම් ලකුණු දෙකක් ලබාදීමටත් තරග තීරක ජවගාල් ශ්‍රීනාත් තීරණය කොට තිබේ.
සිදුවීම පිළිබඳ පැහැදිලි වීඩියෝ සාක්ෂි තිබෙන බව පවසන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා කණ්ඩායමේ බලධාරීන් සහ තරගයේ විනිසුරුවරුන් ඉදිරියේ එම සාක්ෂි උපයෝගී කරගෙන පරීක්ෂණය පැවැත්වූ බවත් පවසයි.
එහිදී "තමන් කිසිවක් කටේ දමාගත් බව පිළිගත් දිනේෂ් චන්දිමාල් එහෙත් ඒ කවරක් දැයි මතක නැති බව" සඳහන් කළ බව තරග තීරක ජවගාල් ශ්‍රීනාත් සඳහන් කර තිබුණි.
තරග තීරකවරයාගේ තීන්දුව සම්පූර්ණයෙන්ම අනුමත කරන බව ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් පැවසීය.
තවත් කියවන්න:
පන්දුව පළුදු කිරීමේ චෝදනාව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රතික්ෂේප කරන අතර, තීන්දුවට එරෙහිව පැය 48ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකියාව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දිනේෂ් චන්දිමාල් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බැවින් බොහෝ දුරට මෙම පරීක්ෂණය ස්වාධීන පරීක්ෂණයක් දක්වා ගෙන යාමට ඉඩ ඇති බව තීන්දුව ප්‍රකාශ කිරීමට ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය.
මින් පෙර මේ ආකාරයට පන්දුවේ යම් රසකාරකයක් අතුල්ලා පන්දුව පළුදු කළ බවට දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ෆාෆ් ඩුප්ලේසිට චෝදනා එල්ල වූ අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තීරණය අභියෝගයකට ලක් කළේය.
කෙසේ නමුත්, එම ස්වාධීන පරීක්ෂණයේදී ඔහු වරදකරු වූ අතර ඔහුගේ තරග ගාස්තුවෙන් 100%ක දඩයක් ගෙවීමට සිදු විය.
පසුගිය මාර්තු මාසයේ දකුණු අප්‍රිකාව සමග කේප් ටවුන්හිදී පැවති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුව පළුදු කිරීමේ චෝදනා හමුවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් පිළිවෙලින් නායකත්වයෙන් සහ උප නායකත්වයෙන් ඉල්ලා අස්වූහ.








