ශාරුජන් ෂන්මුගනාදන් : 13 වසරකට පෙර ටෝනි ග්‍රේග් අනාවැකි කී 'ලිට්ල් සංගා' අද ඉන්න තැන

"බලන්න ඒ දිහා .. ඉතා විශිෂ්ඨ කවර් ඩ්‍රයිව් පහරක්... පුංචි කුමාර් සංගක්කාර" මේ, මීට වසර 13 කට පෙර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගයක් අතර වාරයේදී ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රේග් ගේ මුවින් නික්මුණු වචන පෙළකි.

ටෝනි ග්‍රේග් එදා එලෙස පැවසුවේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් රැඳී සිටින කොටසේ කුඩා පිත්තක් අතින් ගෙන පිතිකරණයේ යෙදෙමින් සිටි සිව් හැවිරිදි කුඩා ක්‍රීඩකයෙකු පිළිබඳවයි.

එම කුඩා දරුවා ක්‍රීඩාංගණයේ ඈත කෙළවරක තම සම වයසේ තවත් දරුවන් පිරිසක් සමග ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පිටියේ මැද පන්දුවට පහර දෙමින් සිටියේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගන්‍ය පිතිකරුවෙකු වන කුමාර් සංගක්කාර යි.

ටෝනි ග්‍රේග් එදා කියූ ඒ කතාව අද යථාර්තයක් බවට පත් වෙමින් ඒ කුඩා ශාරුජන් ෂන්මුගනාදන් ගැන ක්‍රීඩා ලෝකයේ අවධානය යොමු වී තිබේ.

ශාරුජන් ෂන්මුගනාදන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේවනවිට පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව ශතයක් සහ නේපාල කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් විය.

කවුද මේ ශාරුජන් ෂන්මුගනාදන් කියන්නේ ?

2006 වසරේ අප්‍රේල් මස 25 වැනිදා කොළඹදී උපත ලබන ශාරුජන් ෂන්මුගනාදන් පදිංචිව සිටින්නේ කොළඹ මෝදර ප්‍රදේශයේයි. පවුලේ බාල දරුවා වන ශාරුජන්, කොටහේන සාන්ත බෙනඩික්ට් විදුහලේ අධ්‍යාපනය හදාරනු ලබයි.

ශාරුජන් ගේ පියා වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් වන අතර, මව ගෘහණියක් වේ. ඔහුට වැඩිමහල් සහෝදරියක් ද සිටියි.

මෙරට ක්‍රිකට් ලෝලීන් අතර ශාරුජන් ගැන වැඩි අවධානයක් යොමු වන්නේ මීට වසර 13 කට පෙර ඔහු පිළිබඳව ටෝනි ග්‍රේග් කියූ ප්‍රකාශය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ පිතිකරණ හැකියාව ගැන පලවූ වීඩියෝ හේතුවෙනි.

'ටෝනි ග්‍රේග් පුතා එක්ක කතා කළා'

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ශාරුජන් ගේ පියා වන නාදන් ෂන්මුගනාදන් කියා සිටියේ එදා SSC පිටියේ පැවති තරගයෙන් අනතුරුව ටෝනි ග්‍රේග් තම පුතා හමු වී කතාබහ කළ බවයි.

'මම වෘත්තීය වශයෙන් ඡායාරූප ශිල්පියෙක්. මගේ පුතා පොඩි කාලයේ ඉදලම ක්‍රිකට් ක්‍රීඩාවට හරිම කැමතියි. එදා මෙයා සෙල්ලම් කර කර ඉන්නකොට සංගක්කාර ග්‍රවුන්ඩ් එකේ බැට් කර කර හිටියේ. පුතා සෙල්ලම් කරන විදිහ ගැන රූපවාහිනියේ පෙන්නුවා. එතැනදී තමයි ටෝනි ග්‍රේග් පුතා ගැන අර විදිහට කියලා තිබුනේ. තරගයෙන් පස්සේ ටෝනි ග්‍රේග් ඇවිල්ලා පුතා එක්ක කතා කළා.''

''ඒ වෙද්දී පුතාට යන්න ඉස්කෝලයක් තිබුනේ නැහැ. අපි ගොඩක් ඉස්කෝලවල සම්මුඛ පරීක්ෂණ වලට පෙනී හිටියා. ඒත් ඒවායින් රිජෙක්ට් වුණා. පස්සේ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයෙකු වෙන රොෂාන් අබේසිංහ ඉදිරිපත් වෙලා කොටහේන සාන්ත බෙනඩික්ට් පාසැලට කතා කරලා පුතාව ඇතුළත් කරලා දුන්නා. පුතා ඉස්කෝලෙට යද්දීත් ඉල්ලුවේ බැට් එකයි බෝලෙයි ඕන කියලා.' ශාරුජන් ගේ පියාවන නාදන් ෂන්මුගනාදන් පැවසුවේය.

සිය පුතුගේ කුඩා කාලය පිළිබඳ සිහිපත් කරමින් නාදන් ෂන්මුගනාදන් කියා සිටියේ ඔහු කුඩා අවදියේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායමට සහ ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි කැමැත්තක් දැක්වුවෙක් බවයි.

'අවුරුදු 7-8 පොඩි කාලේ ශ්‍රී ලංකා ටීම් එක මැච් එකක් පැරදුණා කිව්වොත් එයා අඩනවා. සංගක්කාර අවුට් වුණා කිව්වොත් ඉස්කෝලේ යන්න බැහැ කියලා අඬනවා. එයාගේ පොඩි කාලේ එහෙමයි. එයා ලොකු වුණාම එයා ටික ටික තේරුම් ගත්තා.''

''මෝදර, මුතුවැල්ලේ ක්‍රිකට් පුහුණුකරුවෙක් වන සුජීව ප්‍රියදර්ශන තමයි මෙයාගේ මුල්ම ක්‍රිකට් පුහුණුකරු වුනේ. පුතාට වයස අවුරුදු 04 ඉඳලා තමයි එයා සුජීව ළඟට ගියේ ක්‍රිකට් පුහුණුවීම් වලට. අදටත් පුතාට ක්‍රිකට් ටෙක්නික්වල ගැටලුවක් ආවම සුජීව තමයි එයාගේ වැරදි නිවැරදි කරන්නේ." නාදන් ෂන්මුගනාදන් පැවසීය.

'පෑඩ්ස් දෙකක් හදලා ඕන කියලා හරියට කරදර කළා'

2010 වසරේදී ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පැවති ක්‍රිකට් තරගයක් නැරඹීමට ගිය පුතා පිතිකරුවන් පා ආවරණ පැළඳ ක්‍රීඩා කරන ආකාරය දැකීමෙන් පසුව තමන්ට ද පා ආවරණ දෙකක් අවශ්‍ය යැයි පවසමින් ඒවා ඉල්ලා හැඬු බව ද නාදන් ෂන්මුගනාදන් සිය පුතුගේ කුඩා කාලය ගැන මතකය ආවර්ජනය කරමින් පැවසුවේය.

ඒ හමුවේ තමන් කුඩා කාඩ්බෝඩ් වලින් පා ආවරණ යුගලයක් සාදා දුන් බව ද ඔහු පැවසුවේය. සිය පුත්‍රයා ක්‍රීඩා කරද්දී වෘත්තීය ක්‍රීඩකයින් ක්‍රීඩා කරන ආකාරයටම ක්‍රීඩා උපාංග පැළද සිටීමේ ආශාවකින් පෙළුනු අයෙක් බව ඔහු පැවසීය.

"පුතා කුඩා කාලයේ ඉදලා ක්‍රිකට් සෙල්ලම් කලේ එයාටම ආවේනික වූ විදිහකට. කවුරුවත් පුහුණු කරලා නෙමෙයි. මම එයාව ගෙදර තියලා යාලුවෝ එක්ක ක්‍රිකට් සෙල්ලම් කරන්න ගිහිල්ලා ගෙදර ආවම පුතා එක්ක ගෙදර ඉන්න බැහැ.''

''එයාට අවුරුදු 08 දී එයාට අවස්ථාව උදාවෙනවා නෙල්සන් මෙන්ඩිස් ප්‍රවීණ ක්‍රිකට් පුහුණුකරුගේ යටතේ CCC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන්න. එයා අවුරුදු 12 සහ 14 න් පහළ කණ්ඩායම් වලට ක්‍රීඩා කළා. ඒ තරග වලදී ශතක 22ක් සහ අර්ධ ශතක 51ක වාර්තා කළා.''

''දැනට අවුරුදු 04ක් ඉදලා සාන්ත බෙනඩික් පාසැලේ 19න් පහළ කණ්ඩායම නියෝජනය කරනවා. 2023 සහ 2024 කියන අවුරුදු දෙකේම පාසැල් කණ්ඩායමේ නායකත්වය දරන්නේ පුතා. 2022 අවුරුද්දේ හොඳම කඩුලු රකින ක්‍රීඩකයා විදිහට සම්මාන ගත්තා. ඒ වගේම 2023 අවුරුද්දේ පාසැල් ක්‍රිකට් වලදී ලකුණු 1000 සීමාව ඉක්මවන්න සමත් වුණා. පුතා උසස් පෙළ වාණිජ අංශයෙන් පෙනී සිටින්නේ. ක්‍රීඩාව වගේම අධ්‍යාපන කටයුතු සමබරව කරගෙන යනවා. එයාට ඉස්කෝලෙන් ගොඩක් උදව් කරනවා." ඔහු පැවසුවේය.

'ක්‍රිකට් ගැන ගෙදරදී කතා කරන්න කැමති නැහැ'

ක්‍රිකට් ක්‍රීඩාවට කෙතරම් කැමැත්තෙන් සිටිය ද සිය පුත්‍රයා නිවසේදී ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කතා කිරීමට ප්‍රියතාවයක් නොදක්වන බව ද නාදන් ෂන්මුගනාදන් පැවසුවේය.

"එයා ක්‍රිකට් ගැන ගෙදර දී කතා කරන්න කැමති නැහැ. එයා කියන්නේ මම ග්‍රවුන්ඩ් එකේදී ප්‍රෙෂර් එකකින් සෙල්ලම් කරන්නේ. ගෙදර ඇවිල්ලත් ක්‍රිකට් ගැනම කතා කලොත් මට ප්‍රෙෂර් එක වැඩියි කියලයි ඔහු කියන්නේ. එතකොට මට ක්‍රිකට් එක එපා වෙයි කියලයි එයා කියන්නේ. ''

''එයා ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 100ක් ගත්තට පස්සේ ගෙදරට කතා කළා. මම කිව්වා ඔයා හොඳට සෙල්ලම් කළා. එයා සතුටු වුණා. එච්චරයි.''

''එයා කියන්නේ මම ලකුණු 100ක් ගහලා ආවත්, ලකුණු 02 කට අවුට් වෙලා ආවත් ඔයාලා මාව හැමදාම දකින විදිහට දකින්න ඕන කියලා. එයා කියන්නේ එහෙමයි.''

''සමහර ක්‍රීඩා පුහුණුකරුවන් මම අඳුනනවා. මම එයා ක්‍රීඩා කරන තරග බලන්න එනවටත් පුතා කැමති නැහැ. සමහර වෙලාවට මම ගිහිල්ලා ග්‍රවුන්ඩ් එකේ කොනක ඉදලා මැච් එක බලලා යනවා." ඔහු පැවසුවේය.

'කුමාර් සංගක්කාර එයාගේ ආසම ක්‍රීඩකයා'

නාදන් ෂන්මුගනාදන් බීබීසී සිංහල වෙත පැවසුවේ තම පුතුගේ ප්‍රියතම ක්‍රීඩකයා වුයේ කුමාර් සංගක්කාර බවයි.

'ශාරුජන් පොඩි කාලේ ඉදලා ආසම ක්‍රීඩකයා කුමාර් සංගක්කාරයි. එයා පොඩි කාලෙම කුමාර් සංගක්කාර හම්බ වෙලා තියෙනවා. එයාගේ රෝල් මොඩ්ල් එක වුනේ කුමාර් සංගක්කාර. එයා විරාට් කෝලිටත් කැමතියි''

''පුතා වමත් පිතිකරුවෙක් වුණාට එයාගේ අනෙක් සියලුම කටයුතු කරන්නේ දකුණතින්. අඩුම තරමින් වම් අතෙන් බෝලයක්වත් විසික් කරන්න බැහැ.''

''අදට වුණත් පුතා කැමති අනෙක් ක්‍රීඩකයින්ට උදව් කරන්න. අපි එයාට අලුතෙන් බැට් එකක් අරන් දුන්නොත් එයාගේ ළඟ තියෙන වැඩිපුර බැට් එක කාටහරි ක්‍රීඩකයෙකුට දෙනවා. එයා කියන්නේ හැමෝටම අවස්ථාව ලැබෙන්න ඕන කියලයි.''

''ඒ වගේම එයාගේ ලොකුම ආසාව කවදා හරි ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න. තාත්තා කෙනෙක් විදිහට අද මගේ පුතා සෙල්ලම් කරන විදිහ දිහා බලල මම සතුටු වෙනවා." නාදන් ෂන්මුගනාදන් වැඩිදුරටත් පැවසුවේය.