ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පිතිකරුවන්ගේ පාරාදීසයක් වූ මෙවර IPL තරගාවලියේ අභියෝග ජය ගත් පන්දු යවන්නෝ
මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පිතිකරුවන්ගේ පාරාදීසයක් බවට පත්වී ඇති බවක් පෙනෙන්නට තිබේ.
තරග 55ක් අවසානයේදී ඉහත කී අදහස සනාථ කරමින් පිතිකරුවන් විසින් ශතක 12ක් සහ අර්ධ ශතක 96ක් රැස් කර ඇත.
හතරේ පහර 1703ක් සහ හයේ පහර 972ක් එල්ල කර ඇති අතර, පන්දු යවන්නන් පිතිකරුවන් හමුවේ අසරණ වී සිටින තත්ත්වයක් දක්නට ලැබේ.
හතරේ සීමාව අඩු කිරීමේ වාසිය ද පිතිකරුවන්ට ලැබී ඇතැයි ඇතැම් විචාරකයෝ පවසති.
කෙසේ වෙතත්, අභියෝග රැසක් මැද වුව ද, මෙවර IPL තරගාවලියේ පිතිකරුවන්ට තර්ජනයක් වූ පන්දු යවන්නන් කිහිප දෙනෙක් ද සිටිති.
මෙහිදී, පන්දු වාරයකදී ලකුණු ලබා දීමේ සාමාන්‍යය (Bowling Economy) 7ට වඩා අඩු අගයක පවත්වාගෙන ඇති විශිෂ්ට පන්දු යවන්නන් 5 දෙනෙකු පිළිබදව අනාවරණය කෙරේ.
1. ජස්ප්‍රිට් බුම්රා (මුම්බායි ඉන්දියන්ස්)
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 12කට ක්‍රීඩා කර ඇති බුම්රා, පන්දු වාර 47.5ක් යවා තිබේ.
එම පන්දු වාර 47.5 තුළදී ඔහු ලබා දී ඇත්තේ, ලකුණු 297ක් පමණි.
ඒ අනුව, ඔහු පන්දු වාරයකදී ලබා දී ඇති ලකුණු සාමාන්‍යය 6.20කි.
මේ වන විට කඩුලු 18ක් බිඳ හෙළා ඇති ජස්ප්‍රිට් බුම්රා, වැඩි ම කඩුලු ලාභියාට හිමි Purple Cap හිමිකරුවා ද වෙයි.
ඔහුගේ මෙවර තරගාවලියේ විශිෂ්ටතම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ, ලකුණු 21කට කඩුලු 5ක් දවා ගැනීම ය.
2. ලියම් ලිවින්ග්ස්ටන් (පන්ජාබ් කිංග්ස්)
එංගලන්තයෙන් බිහිවූ තුන් ඉරියව් දක්ෂතා සහිත ක්‍රීඩකයෙකු වන ලියම් ලිවින්ග්ස්ටන් පන්දු වාරයකදී අඩු ම ලකුණු සාමාන්‍යය සහිත පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවෙයි.
මෙවර තරගාවලියේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් තරග 6කට ක්‍රීඩා කර ඇති ඔහු, පන්දු යවා ඇත්තේ ඉනිම තුනකදී පමණි.
එම ඉනිම තුනේදී පන්දු වාර 9ක් යවමින් ඔහු ප්‍රතිවාදීන්ට ලබා ඇති ලකුණු සංඛ්‍යාව 56කි.
ඒ අනුව, පන්දු වාරයකදී ඔහු ලබා දී ඇති ලකුණු සාමාන්‍යය 6.22කි.
එහිදී ඔහු කඩුලු 3ක් ද දවාගෙන තිබේ.
3. කේෂව් මහරාජ් (රාජස්ථාන් රෝයල්ස්)
දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නෙකු වන කේෂව් මහරාජ් මේ දක්වා මෙවර තරගාවලියේ ක්‍රීඩා කර ඇත්තේ, තරග 2කට පමණි.
එහිදී පන්දු වාර 6ක් පමණක් යැවූ ඔහු ලකුණු ලබා දී ඇත්තේ, 39ක් පමණි.
ඒ අනුව, ඔහු පන්දු වාරයකදී ප්‍රතිවාදීන්ට ලබා දුන් ලකුණු සාමාන්‍යය 6.50කි.
ඔහු කඩුලු දෙකක් දවාගෙන තිබේ.
4. සුනිල් නාරායන් (කොල්කටා නයිට් රයිඩර්ස්)
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරන සුනිල් නාරායන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සුවිශේෂී ක්‍රීඩකයෙකු බවට පත්ව සිටී.
ඒ, පන්දු යවන්නෙකු ලෙස පමණක් නොව ආරම්භක පිතිකරුවෙකු ලෙස ද විශිෂ්ට දක්ෂතා දැක්වීම හේතුවෙනි.
ඔහු කොල්කටා කණ්ඩායම ක්‍රීඩා කළ තරග 11ට ම ක්‍රීඩා කළ අතර, පන්දු වාර 44ක් යවා තිබේ.
එම පන්දු වාර 44 තුළදී ඔහු ලබා දී ඇති ලකුණු සංඛ්‍යාව 291කි.
ඒ අනුව, ඔහු එක් පන්දු වාරයකදී ලබා දී ඇති ලකුණු සාමාන්‍යය වන්නේ, 6.61කි.
මේ වන විට, කඩුලු 14ක් දවාගෙන ඇති ඔහු වැඩි ම කඩුලු ලාභීන් (Purple Cap) අතර 6 වන ස්ථානයේ පසු වෙයි.
5. මයන්ක් යාදව් (ලක්නව් සුපර් ජයන්ට්ස්)
තවමත් වයස අවුරුදු 21ක පසු වන මයන්ක් යාදව් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කරමින් පැයට කිලෝමීටර් 150 ඉක්මවමින් පන්දු යැවූ කැපීපෙනෙන පන්දු යවන්නෙකි.
ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙවර IPL තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කිරීමට හැකි වූයේ, තරග 4ක් පමණි.
මාධ්‍ය වාර්තාවල දැක්වුණේ, ආබාධ තත්ත්වය හේතුවෙන් මෙවර තරගාවලියේ ඉතිරි තරග සියල්ල ඔහුට අහිමි වනු ඇති බව ය.
කෙසේ වෙතත්, ඔහු සහභාගි වූ තරග 4 තුළදී පන්දු වාර 12.1ක් යවමින් කඩුලු 7ක් දවා ගැනීමට ඔහු සමත් විය.
එහිදී ලකුණු 85ක් ලබා දී ඇති ඔහු එක් පන්දු වාරයකදී ලබා දී ඇති ලකුණු සංඛ්‍යාව 6.98කි.
ඔහු තරගාවලියේ වාර්තා කළ හොද ම පන්දු යැවීම ලකුණු 14කට කඩුලු 3ක් දවා ගැනීම ය.
මෙම පන්දු යවන්නන්ගේ ලකුණු සාමාන්‍යය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, පිතිකරුවන්ගේ පාරාදීසයක් වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී පවා සිය ආධිපත්‍යය පැතිරවීමට සමත් විශිෂ්ට පන්දු යවන්නන් සිටින බව ය.
මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ
මේ අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු වන මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ පන්දු වාරයකදී අඩු ම ලකුණු සාමාන්‍යයකට හිමිකම් කියන පන්දු යවන්නන් අතර, පිළිවෙළින් 11 වන සහ 12 වන ස්ථානවල පසු වෙති.
මහීෂ් තීක්ෂණ තරග 3කදී පන්දු වාර 12ක් යවමින් ලකුණු 91ක් ලබා දී ඇති අතර, එහි සාමාන්‍යය 7.58කි.
ඔහු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 2කි.
මතීෂ පතිරණ තරග 6කට ක්‍රීඩා කරමින් ලකුණු පන්දු වාර 22කදී ලකුණු 169ක් ලබා දී තිබේ.
එක් පන්දු වාරයකදී ඔහු ලබා දී ඇති ලකුණු සාමාන්‍යය 7.68කි.
වැඩි ම කඩුලු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඔහු මේ වන විට 6 වන ස්ථානයේ පසු වන්නේ, තරග 6කට පමණක් ක්‍රීඩා කරමිනි.