ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
IPL ක්‍රීඩක වෙන්දේසිය 2025: 13 හැවිරිදි ක්‍රීඩකයෙක් පළමු වරට IPL තරගාවලියට
IPL ඉතිහාසයේ අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා
සෞදි අරාබියේ ජෙඩාහි දෙවන දිනයටත් (නොවැ: 25) පැවති IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉතිහාසයේ අලෙවි වූ ළාබාලතම ක්‍රීඩකයා බවට බිහාර් ප්‍රාන්තය නියෝජනය කිරීමට වරම් ලැබූ 13 හැවිරිදි වයිබව් සූරීයවංශි පත් විය.
රාජස්ථාන් රෝයල්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් දෙක අතර පැවති උණුසුම් ලංසු තැබීමකින් අනතුරුව වයිබව් සූර්යවංශී ඉන්දීය රුපියල් කෝටි 1.10 කට මිල දී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.
කවුද මේ වයිභව් සූර්යවංශි?
2011 වසරේ මාර්තු මස 11 වන දා උපත ලබා ඇති වයිභව් සූර්යවංශිගේ දැන් වයස අවුරුදු 13යි දින 243කි.
පසුගිය දා ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරගයෙන් අනතුරුව ඔහු පිළිබඳ ක්‍රිකට් විචාරකයින්ගේ අවධානය යොමු විය.
ඒ, චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී පන්දු 58කදී ශතකයක් වාර්තා කිරීමට වයිභව් සූර්යවංශි සමත්වීමත් සමග ය.
වයස අවුරුදු 19න් පහළ ටෙස්ට් තරගයකදී ඉන්දීය ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත් ම ශතකය වාර්තා කිරීමට එහිදී ඔහු සමත් විය.
13 හැවිරිදි වයිභව් සූර්යවංශි ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගයේදී එම දස්කම දැක්වීමට සමත් වීම විශේෂත්වයකි.
සූර්යවංශී පන්දු 58කදී හතරේ පහර 14ක් සහ හයේ පහරවල් 4ක් එල්ල කරමින් සිය ශතකය රැස් කළේ ය.
19න් පහළ ටෙස්ට් තරගයකදී වේගවත් ම ශතකයට හිමි ලෝක වාර්තාවට හිමිකම් කියනුයේ, 2005 වසරේදී පන්දු 56කින් ශතකයක් රැස්කළ එංගලන්තයේ මොයින් අලී ය.
එෂාන් මාලිංගටත් ඉහළ ඉල්ලුමක්
මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා නොමැති දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක එෂාන් මාලිංග IPL වරම් දිනා ගැනීමට සමත් විය.
ඉන්දීය රුපියල් ලක්ෂ 30ක ලංසුවක් යටතේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කළ එෂාන් මාලිංග ක්‍රීඩක වෙන්දේසියේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 1.20කට මිල දී ගනු ලැබී ය.
එමෙන් ම ඉන්දීය රුපියල් කෝටි 1.6කට රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම විසින් නුවන් තුෂාර මිලදී ගන්නා ලදී.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 75කට සහ සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 75කට කමිඳු මෙන්ඩිස් ක්‍රීඩක වෙන්දේසියේ දී මිල දී ගනු ලැබූහ.
වනිඳු සහ මහීෂ් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (IPL) සඳහා අද (නොවැම්බර් 24) පැවති ක්‍රීඩක වෙන්දේසියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනා ව මිලදී මිලදී ගනු ලැබීය.
ක්‍රීඩක වෙන්දේසියේදී වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25 කට සහ මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.4කට මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් කටයුතු කරන ලදී.
ක්‍රීඩක වෙන්දේසියේ පළමු දිනය වන අද, IPL තරග වෙන්දේසියේ වාර්තා අලුත් කරමින් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් කටයුතු කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් 18 වන තරගාවලිය සඳහා ක්‍රීඩකයින් වෙන්දේසි කිරීම සෞදි අරාබියේ රියාද් නුවරදී අද (නොවැම්බර් මස 24) ආරම්භ විය.
2025 තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වේ.
වැඩි ම මිලකට වෙන්දේසිවූ ක්‍රීඩකයින් 05 දෙනා කවුද?
IPL තරග ඉතිහාසයේ මේ දක්වා වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වෙමින් ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට් ඉන්දීය රුපියල් කෝටි 27 කට මිලදී ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කටයුතු කරනු ලැබීය.
ඔහුගෙන් අනතුරුව වැඩිම මිලකට අලෙවි වූ දෙවන ක්‍රීඩකයා බවට පත්වෙමින් ඉන්දීය රුපියල් කෝටි 26.75 කට ශ්‍රෙයාස් අයියර් අලෙවි වූ අතර ඔහුව මිලදී ගනු ලැබුවේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 23.75 කට වෙන්කටේෂ් අයියර් මිලදී ගනු ලැබීය.
පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 18 කට අර්ෂදීප් සිං සහ දඟ පන්දු ක්‍රීඩක යුස්වෙන්ද්‍ර චාහල් ද මිලදී ගැනීමට සමත් විය.
මේ දක්වා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී ඕස්ට්‍රේලියාවේ ඩේව්ඩ් වෝනර්, එංගලන්ත ක්‍රීඩක ජොනි බේයාර්ස්ටෝ මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ලංසු ඉදිරිපත් නොකිරීම කැපී පෙනෙන සිදුවීමක් වී තිබේ.
වෙන්දේසිය සඳහා එක්වූ ක්‍රීඩකයින් සංඛ්‍යාව
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 574 දෙනෙකු ලියාපදිංචි වී සිටින බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.
එලෙස ක්‍රීඩකයින් ලියාපදිංචි වී සිටිය ද මෙවර තරගාවලිය සඳහා වෙන්දෙසියේදී තෝරා ගනු ලබන්නේ, ක්‍රීඩකයින් 204 දෙනෙකු පමණක් වන අතර ඒ අතරින් තෝරා ගැනෙන විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 70 දෙනෙකි.
වැඩිම මිලක් ගෙවා රඳවා ගත් ක්‍රීඩකයින් කවුද ?
2024 IPL තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින්ගෙන් 2025 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් රඳවා ගැනීමට ලබාදුන් අවසරය අනුව කණ්ඩායම් විසින් ඉහළ මිලක් ගෙවා ක්‍රීඩකයින් කිහිප දෙනෙක් රඳවා ගෙන තිබේ.
එහිදී මෙවර වැඩිම මිලක් ගෙවා රඳවා ගත් ක්‍රීඩකයා වුයේ ඉන්දීය රුපියල් කෝටි 23ක මිලක් නියම වූ දකුණු අප්‍රිකාවේ ප්‍රවේගකාරී පිතිකරු හෙන්රි ක්ලාසන් ය.
2025 තරගාවලිය සඳහා ඔහුගේ සේවය ලබා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තීරණය කර ඇත.
ඉන්දීය රුපියල් කෝටි 21ක් ගෙවමින් සුපිරි ඉන්දීය පිතිකරු විරාත් කෝලි තම කණ්ඩායමේ රඳවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම තීරණය කර ඇත.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ඉන්දීය රුපියල් කෝටි 18ක් ගෙවා රඳවා ගැනීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම කටයුතු කර තිබේ.
ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 05 දෙනා කවුද?
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා පැවති ක්‍රීඩක වෙන්දේසි කිරීම්වලදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයින් 05 දෙනාගෙන් පළමු ක්‍රීඩකයා වන්නේ ඕස්ට්‍රේලියාවේ වේග පන්දු ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ය.
2024 IPL තරගවාරය වෙනුවෙන් ඔහුව ක්‍රීඩක වෙන්දේසියේ දී මිලදී ගැනීමට කණ්ඩායම් අතර ප්‍රබල උනන්දුවක් පැවති අතර අවසානයේදී ඔහුව ඉන්දීය රුපියල් කෝටි 24.75 කට මිලදී ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.
එම වසරේ පැවති IPL තරගවාරය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩක පැට් කමින්ස් ඉන්දීය රුපියල් කෝටි 20.5 කට මිලදී ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් කටයුතු කරන ලදී.
2023 වසරේ පැවති IPL තරගවාරය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේදී එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩක සෑම් කරන් ඉන්දීය රුපියල් කෝටි 18.5 කට මිලදී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කටයුතු කරන ලදී.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් 2023 IPL තරගාවාරය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියවු ක්‍රීඩක කැමරන් ග්‍රීන් ඉන්දීය රුපියල් කෝටි 17.5 කට මිලදී ගත් අතර IPL ඉතිහාසයේ මෙතෙක් වැඩිම මිලකට අලෙවි වූ සිව්වන ක්‍රීඩකයා වන්නේ ඔහුයි.
2023 තරගවාරය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 16.25 කට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූ එංගලන්තයේ බෙන් ස්ටොක්ස්, වැඩිම මිලකට අලෙවි වූ පස්වන ක්‍රීඩකයා වේ.
කණ්ඩායමක් වැඩිම වාර ගණනක් රඳවා ගත් ක්‍රීඩකයින්
IPL ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වැඩිම වාර ගණනක් රඳවා ගත් ක්‍රීඩකයින් අතරින් පෙරමුණේ පසුවන ක්‍රීඩකයා වන්නේ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ හිටපු නායකා විරාට් කෝලි යි.
ඔහු 2008 වසරේ සිට 2024 දක්වා සියලුම IPL තරගවාර 16 දී රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම මගින් රඳවා ගනු ලැබීය.
මහේන්ද්‍ර සිං දෝනි
ඔහු 2008 වසරේ සිට 2015 දක්වාත්, ඉන් පසුව 2018 වසරේ සිට 2024 දක්වා පුරා අවස්ථා 14 කදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මගින් රඳවා ගනු ලැබීය.
ඔහුගේ නායකත්වය යටතේ චෙන්නායි කණ්ඩායම අවස්ථා 05 කදී IPL ශුරතාව ජයග්‍රහණය කිරීමට සමත් විය.
රෝහිත් ෂර්මා
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ හිටපු නායකයා වන රෝහිත් ෂර්මා, 2011 වසරේ සිට මේ දක්වා එම කණ්ඩායම නියෝජනය කරනු ලබයි.
ඔහුගේ නායකත්වය යටතේ මුම්බායි කණ්ඩායම අවස්ථා 05 කදී IPL ශුරතාව ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.