ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
තරිඳු පෙරේරා: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජයග්‍රහණවල ‘මහ මොළකරුගේ’ ජීවිත කතාව
ශ්‍රී ලංකාවට ක්‍රිකට් තරග වසන්තයක් උදා වී තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සහ මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලිය යනාදී වශයෙන් අඛණ්ඩව ක්‍රිකට් තරගාවලි රැසක් පැවැත්වෙයි.
සුපිරි කණ්ඩායම් 4ට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සුදුසුකම් ලැබීමෙන් ශ්‍රී ලාංකික ක්‍රිකට්ලෝලීන්ට ලැබුණු ප්‍රීතිය දෙගුණ තෙගුණ කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
ඒ, මෙරට ක්‍රිකට් වංශකතාවේ නව පරිච්ජේදයක් ලියමින් එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පළමු වරට විස්සයි 20 තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම බදාදා (සැප් 06) සමත්වීමත් සමග ය.
තරග තුනකින් සමන්විත වූ පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට ලකුණු 12ක පරාජයක් අත්වුව ද, සෙසු තරග දෙක ම ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හැකි විය.
තිරය පිටුපස සිට මේ සියලු ජයග්‍රහණවලට මඟ පෙන්වූ සුවිශේෂී පුද්ගලයෙකු පිළිබඳව ක්‍රීඩාලෝලී සියල්ලන්ගේ අවධානය යොමු වී තිබේ. එය, සමාජ මාධ්‍ය හරහා ඔහුට ලැබී ඇති ප්‍රතිචාරවලින් මනාව පැහැදිලි වෙයි.
ඇතැම් විදේශික ක්‍රිකට්ලෝලීන් පවා තරිඳු පෙරේරා හඳුන්වා ඇත්තේ, "එංගලන්ත කණ්ඩායමේ පරාජය සැලසුම් කළ මහ මොළකරුවා" ලෙස ය.
මේ, ඔහු වෙනුවෙන් පළකරන ලද සිය ගණනක් වූ අගැයීම්වලින් කිහිපයක් පමණි.
කවුද මේ තරිඳු පෙරේරා?
මේ කියන තරිඳු පෙරේරා වත්මන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙස ක්‍රියා කරයි.
ඔහු එම තනතුර සඳහා පත් කරන ලද්දේ, පසුගිය ජූලි මස පළමු දා සිට බලපැවැත්වෙන පරිදි වසර දෙකක කාලයක් සඳහා ය.
ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ තරිඳු පෙරේරා, එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පවත්වනු ලබන ක්‍රිකට් පුහුණුකරුවන්ගේ ඉහළ ම සුදුසුකම වන විශේෂඥ පුහුණුකරු (ECB Specialist Coach) හෙවත් සිව්වන මට්ටමේ (ECB level 4) පුහුණුකරුවෙකි.
ඔහු, නව තනතුර භාර ගැනීමට පෙර එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ පළමු පෙළ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් දෙවන පෙළ පිරිමි කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසත් සේවය කළේ ය.
ඊට අමතරව, වෝවික්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය, ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් (BBL), වෙස්ට් එන්ඩ් රෙඩ් බැක්ස් ආදී ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් රැසක පුහුණුකරු තනතුරු දරමින් අත්දැකීම් ලබා තිබේ.
අහම්බෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ හැටි
තරිඳු පෙරේරා අධ්‍යාපනය ලැබුවේ, කොළඹ අසෝක විද්‍යාලයයේ ය. ඔහු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සහකාර පුහුණුකාර තනතුර භාර ගැනීමට පෙර පැවති සාකච්ඡාවකදී පැවසූ පරිදි ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී ඇත්තේ අහම්බෙනි.
"මම හය වසරේ ඉන්න කාලේ අපේ පන්තියට ඇවිත් කිව්වා ක්‍රිකට් ප්‍රැක්ටිස්වලට කැමති අය හවසට එන්න කියලා. ඒ කාලේ අම්මා හැමදාම මාව එක්කගෙන යන්න ඉස්කෝලේ ගාවට එනවා. මම ඉස්කෝලේ ඇරිලා අම්ම ළඟට දුවගෙන ගිහින් ඇහුවා ක්‍රිකට් ප්‍රැක්ටිස් යන්න ද කියලා. අම්මා කැමැත්ත දුන්නා. මම එදා ඉඳන් ක්‍රිකට් ගහන්න පටන් ගත්තා."
පසුව ඔහු 13 පහළ ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනුණු අතර පසුව එම කණ්ඩායමේ නායකත්වයට ද පත් විය. ඉන්පසු 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම්වල නායකත්වය දරා ඇත්තේ ද තරිඳු පෙරේරා ය.
වයස අවුරුදු 17න් පහළ ජාතික ක්‍රිකට් සංචිතයට ද ඇතුළත් වූ ඔහු, 1999 වසරේ පිහිටුවූ ශ්‍රී ලංකාවේ පළමු පන්දු යවන්නන්ගේ ඇකඩමියට ද තෝරා ගනු ලැබිණි.
එංගලන්තයට ගියේ ඇයි?
2004 වසර ඔහුගේ ජීවිතයේ තීරණාත්මක වසරක් වූ බව තරිඳු පෙරේරා පවසයි. ඒ, ඔහුගේ පියාගේ අභාවයත් සමග ඇති වූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහුගේ අනාගතය පිළිබදව තීරණයක් ගැනීමට ඔහුට සිදුවී ඇති හෙයිනි.
"මම ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ගැහුවා දිගටම. ඒත් ජාතික කණ්ඩායමට එන්න ගොඩක් තරගකාරීත්වය වැඩි වුණා. ඒ වගේම ශ්‍රී ලංකාව වගේ රටක පළමු පෙළ ක්‍රිකට් ගහලා ජීවිතය ගොඩනගා ගන්න අමාරුයි කියන එකත් මට තේරිලා තිබුණා. ඒ අතරතුර එංගලන්තයේ හිටිය මගේ ඥාතියෙක් කිව්වා ක්‍රීඩාව ගැන ඉගෙනගන්න විශ්වවිද්‍යාලයක් තියෙනවා කියලා. ඊට පස්සේ මම 2005 දී රෝහැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යාව උපාධිය කරන්න පටන් ගත්තා. ඒ අතරේ මම එංගලන්තයේ පොඩි පොඩි ක්ලබ්වල ක්‍රිකට් ගැහුවා දිගටම."
ඒ අනුව, 2007 වසරේ දී ඔහු නොදම්ටන් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ දෙවන පෙළ කණ්ඩායමට ඇතුළත් විය. කෙසේ වෙතත්, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහුට උපාධිය නිම කිරීමට නොහැකි වූ අතර 2011 වසරේ දී ඔහු යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේ ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ය.
එහෙත්, අපේක්ෂා කළ පරිදි එය සාර්ථක නොවූ හෙයින් ඔහු යළිත් එංගලන්තයට ගියේ ය.
එහිදී ඔහු යෝක්ෂයර් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ අතර ක්‍රිකට් පුහුණු කිරීම ද සුළුවෙන් ආරම්භ කළේ ය.
2014 වසරේ දී තරිඳු, වේක්ෆීල්ඩ්හි Ceylon Cricket Academy නමින් ක්‍රිකට් පාසලක් ආරම්භ කළේ ය. ඒ සමග ම ඔහු ක්‍රිකට් පුහුණුකරු උපාධිය හැදෑරීම ආරම්භ කළේ ය.
"මේ කාලෙත් මට ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබුණා. මෙහෙ ගොඩක් වියදම් වැඩියි. උපාධි ගාස්තුත් ගොඩක් වැඩියි. තාත්තාත් නැතිවුණ නිසා මට මෙහෙ රස්සාවල් කිහිපයක් කරන්න වුණා ජීවත් වෙන්නයි, ඉගෙන ගන්නයි. ඒ නිසා ම 2009 පටන් ගත්ත උපාධිය ඉවර කරන්න පුළුවන් වුණේ 2017 දී," තරිඳු පෙරේරා අතීතය ආවර්ජනය කළේ ය.
පුහුණුකරුවෙකු ලෙස ඉදිරියට ආ හැටි
ක්‍රිකට් පාසල පවත්වාගෙන යන අතරතුර ඔහුට යෝර්ක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ 10න් පහළ, 14න් පහළ සහ කාන්තා දෙවන පෙළ ක්‍රිකට් කණ්ඩායම්වල පුහුණුකරු ලෙස ක්‍රියා කිරීමට අවස්ථාව ලැබිණි.
ඔහු යෝක්ෂයර් කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බවට 2019 වසරේ දී පත් කෙරුණු අතර පිරිමි කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙස ද පත් කිරීම විශේෂත්වයකි.
එංගලන්තයේ ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස වැඩුණු තරිඳු එහිදී ලැබූ අත්දැකීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ සාර්ථකත්වයට ඉවහල් වූවාට සැකයක් නැත.
ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ නම බැබළවීමට ඔහුට තිබූ අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වුව ද, පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව බැබළවීම සිය අරමුණ වී ඇතැ යි ඔහු එංගලන්තයේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන සමයේ අප සමග පැවසීය.
"මම ගොඩක් දුක් විඳලා මේ තත්ත්වයට ආවේ. මගේ අම්මා කළුබෝවිල. තාත්තා ජපානයේ වැඩ කළ නිසා අම්මා තමයි මගේ හැම වැඩකටම මට උදව් කළේ. මගේ අරමුණ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ නම බබළවන එක යි. ඒක මට ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට කරන්න බැරි වුණත් මම අධෛර්යවත් වුණේ නැහැ. පුහුණුකරුවෙකු විදිහට මම ඉදිරියට ම යන්න බලාපොරොත්තු වෙනවා," තරිඳු පෙරේරා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග එංගලන්තයේ සංචාරයක නිරත වන හෙයින් තරිඳු පෙරේරා සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීමට අවසරයක් නොලැබේ.
මෙම තරගාවලිය යටතේ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරග මාලාව සැප්තැම්බර් 9 වන දා ආරම්භ වීමට නියමිත ය.