නෙදර්ලන්තයෙන් හමුවූ 'භාවිත කළ හැකි තත්ත්වයෙන් තවමත් ඇති' අවුරුදු 200ක් පැරණි කොන්ඩමය

Anonymous, Condom with print, c. 1830. Acquired through the F.G. Waller Fonds and as displayed at the Rijksmuseum

ඡායාරූප මූලාශ්‍රය, Rijksmuseum

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම කොපුව වර්ෂ 1830 පමණ කාලයකට අයත් බව කෞතුකාගාරය පවසයි
    • Author, බාබරා ටාෂ් සහ ඩැනායි නෙස්ටා කුපෙම්බා
    • Role, බීබීසී පුවත්

වසර 200ක් පමණ පැරණි 'භාවිත කළ හැකි තත්ත්වයෙන් තවමත් ඇති' කොන්ඩමයක් - ඇම්ස්ටර්ඩෑම් හි රික්ස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

එය බැටළුවෙකුගේ ශරීර කොටස් යොදා ගනිමින් සාදා ඇතැයි සැලකෙන අතර එහි කන්‍යා සොහොයුරියක් සහ පූජකවරුන් තිදෙනෙකු සිටින අයුරු දැක්වෙන පැහැදිලි මුද්‍රණයක් ද ඇත.

මෙම දුර්ලභ කෞතුක වස්තුව 1830 දී පමණ නිර්මාණය කර අතර එය පසුගිය වසරේ වෙන්දේසියකදී කෞතුකාගාරය විසින් මිලදී ගන්නා ලදී. මෙම කොන්ඩමය 19 වන සියවසේ ගණිකා වෘත්තිය සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයකට තබා ඇත. මුද්‍රණ, චිත්‍ර සහ ඡායාරූප ද ප්‍රදර්ශනයට තබා ඇත.

රික්ස් කෞතුකාගාරයේ භාරකාරිනී ජොයිස් සෙලන් බීබීසීයට පැවසුවේ ඇය සහ ඇගේ සගයා වෙන්දේසියේදී කොන්ඩමය මුලින්ම දුටු විට තමන් "සිනාසුණු" බවයි.

A visitor at the Rijksmuseum walks past a glass case containing the condom, which is presented on a metal plate with a sign including more information about it below.

ඡායාරූප මූලාශ්‍රය, Rijksmuseum

ඡායාරූප ශීර්ෂ වැකිය, කෞතුකාගාරය පවසන්නේ ඔවුන් මාස හයකට පෙර මෙම කොන්ඩමය මිලදී ගත් බවයි

"වෙන කවුරුත් ඒක දැක්කෙ නෑ" යනුවෙන් සෙලන් පැවසූ අතර ඒ සඳහා ලංසු තබා තිබුණේ ද ඔවුන් පමණි.

කොන්ඩමය ලබා ගැනීමෙන් පසු, ඔවුහූ එය UV ආලෝකයෙන් පරීක්ෂා කර එය භාවිතා කර නොමැති බව තහවුරු කර ගත්හ.

"එක හොඳ තත්ත්වයේ තියෙනවා," සෙලන් පැවසුවාය.

එය ප්‍රදර්ශනයට තැබූ දා සිට කෞතුකාගාරය තරුණ හා මහලු සියලු දෙනාගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර "ප්‍රතිචාරය විශ්මයජනකයි" යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම කොන්ඩමය ප්‍රංශයේ සුඛෝපභෝගී ගණිකා නිවාසයකින් ලැබුණු "සුඛෝපභෝගී සිහිවටනයක්" යැයි විශ්වාස කරන බවත්, අද දක්වා ඉතිරිව ඇත්තේ එවැනි වස්තූන් දෙකක් පමණක් බවත් සෙලන් පැහැදිලි කළාය.

"අනවශ්‍ය ගැබ්ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග - විශේෂයෙන් සිෆිලිස් - පිළිබඳ බියෙන් පිරී තිබූ යුගයක, මෙම අසාමාන්‍ය අයිතමය ලිංගික සෞඛ්‍යයේ සැහැල්ලු සහ අඳුරු පැති දෙකම මූර්තිමත් කරනවා" යනුවෙන් කෞතුකාගාරය පැවසීය.

මෙම නිශ්චිත වස්තුවේ පැහැදිලි මුද්‍රණයෙන් දැක්වෙන්නේ පිරිමි තිදෙනා ඉදිරිපිට වාඩි වී සිටින කන්‍යා සොහොයුරිය ඇගේ ඇඳුම ඉහළට ඔසවාගෙන සිටින ආකාරයයි.

කොන්ඩමයේ "Voilà mon choix" නමින් වචන පෙළක් ද ඇති අතර, එහි තේරුම වන්නේ "මේ මගේ තේරීම" යන්නයි.

කෞතුකාගාරය සඳහන් කළේ, මෙම මුද්‍රණය "බ්‍රහ්ම චර්යාව සහ ග්‍රීක මිථ්‍යා කථාවල ඇති පැරිස් විනිශ්චය යන දෙකෙහි ම හාස්‍යමය නිරූපණයක්" ලෙස සැලකිය යුතු බව ය.

පැරිස් විනිශ්චය යනු, හේරා සහ ඇතීනා අතරින් ලස්සන ම දේවතාවිය කවුදැයි තීරණය කිරීමට සිදුවූ පැරිස් නම් ට්‍රෝජන් කුමාරයෙකුගේ මිථ්‍යා කතාව යි.

මෙම නෙදර්ලන්ත කෞතුකාගාරය සඳහන් කරන්නේ තම මුද්‍රණ කාමරයේ ඇති විවිධ මුද්‍රණ එකතුවේ, චිත්‍ර සහ ඡායාරූප 750,000 ක් පමණ ඇති නමුත් කොන්ඩමයක මුද්‍රණයක් සහිත පළමු වැන්න මෙය බවයි.

"යම් තාක් දුරට අපිට කියන්න පුළුවන් මුද්‍රිත කොන්ඩම් එකක් තියෙන එකම කලා කෞතුකාගාරය අපි කියලා," සෙලන් පැවසුවාය.

තම ආයතනය මෙම කෞතුක වස්තුව අනෙකුත් කෞතුකාගාරවලට "තාවකාලික ප්‍රදර්ශනය සඳහා ලබා දීමට" කැමති බව ඇය පැවසූ නමුත්, කොන්ඩමය ඉතා සියුම් බවත් සඳහන් කළාය.

මෙය නොවැම්බර් අවසානය දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය.