ජනගහණය: හඬනගා 'කොන්ඩම්' කීම ඉන්දියාවේ උපත් පාලන දැන්වීමක් බවට පත්වූ හැටි
- Author, සෝයා මතීන් සහ දේවාං ෂා
- Role, බීබීසී පුවත්
මිලියන ගණනක ජනතාවකට උපත් පාලනය උගන්වන්නේ කෙසේ ද?
ඒ, උපත් පාලන කොපු භාවිතාව වටා ඇති සියලු ආකාරයේ ලැජ්ජාවන් සහ අවමාන බිඳවැටෙනතුරු 'කොන්ඩම්' යන වචනය නැවත නැවතත් කීමට සැලැස්වීමෙනි.
එය අශ්ලීල දෙයක් සේ පෙනුණ ද, මීට වසර 18කට පෙර වෙළඳ දැන්වීම් රචක ආනන්ද් සස්පී, ලෝව් ලින්ටාස් ආයතනයේ ඔහුගේ කණ්ඩායම 'කොන්ඩම් බින්දාස් බෝල්' (Condom Bindass Bol/ නිදහසේ 'කොන්ඩම්' කියා කියන්න) යන ව්‍යාපෘතිය දියත් කරද්දී සිදුකළේ එය යි.
2006 වසරේ දී ඉන්දීය රජය සමග සහයෝගයෙන් දියත් කරන ලද ජනතාව දැනුවත් කිරීමේ මෙම ව්‍යාපාරය නිර්මාණය කරන ලද්දේ, එවකට ඉන්දියාවේ කොන්ඩම් වෙළඳපොළෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ආවරණය කළ උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත අටක කොන්ඩම් අලෙවිය සහ භාවිතාව පහත වැටීම වෙනස් කිරීමේ අරමුණිනි.
මෙම ව්‍යාපාරය හාස්‍යෝත්පාදක දර්ශනවලින් සමන්විත විය. අඳුරු පොලිස් ස්ථානයක සිටින ලැජ්ජාශීලී පොලිස් නිලධාරියෙකුගේ සිට මිනිසුන් විසින් වට කර ගන්නා ලද නීතිඥයෙකු දක්වා පුද්ගලයින්, ඔවුන් වටා සිටින්නන් විසින් උස් හඬින් පැහැදිලිව 'කොන්ඩම්' යන වචනය කීමට දිරිමත් කරනු ලබයි.
"බෝල්, බින්දාස් බෝල් (කියන්න, ඒක නිදහසේ කියන්න)," දැන්වීමේ ප්‍රධාන චරිතය අවසානයේ 'කොන්ඩම්' යන්න හඬ නගා පවසන තුරු ඔවුන්ගෙන් අයෙකු ඔහු පොළඹවයි.
සීඝ්‍ර ජනගහණ වර්ධනයේ ගැටලු අවධාරණය කිරීමටත්, සෞඛ්‍ය සම්පන්න ලිංගික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමටත් හාස්‍යෝත්පාදක පාඨ සහ පණිවිඩ භාවිත කර ඇති මෙම දැන්වීම, ඉන්දියාවේ පවුල් සැලසුම්කරණය පිළිබඳ ව්‍යාපෘති මාලාවක කොටසකි. එක්සත් ජාතීන්ගේ සම්මානයකින් ද පිදුම් ලැබූ මෙය කෙරෙහි විශාල ජනතා අවධානයක් යොමුවිය.
මෙම තේමා පාඨ පළමුවරට ඉස්මතු වූයේ, 1950 ගණන්වල දී ඉන්දියාව පවුල් සැලසුම්කරණය සඳහා වෙන්වූ නව දෙපාර්තමේන්තුවක් ආරම්භ කරමින්, ජනගහණය පහත හෙළීම සඳහා උපත් පාලන ක්‍රම සහ වන්ධ්‍යාකරණය භාවිතය ආක්‍රමණශීලී ලෙස ප්‍රවර්ධනය කිරීම ආරම්භ කළ අවස්ථාවේ දී ය. මෙම දෙපාර්තමේන්තුව, ලොව එම වර්ගයේ ප්‍රථම ආයතනය විය.

දරුවන් අඩුවෙන් බිහිකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමින්, 'හම් දෝ හමාරේ දෝ' (අපි දෙන්නයි, අපට [ළමයි] දෙන්නයි) සහ 'චෝටා පරිවාර්, සුඛී පරිවාර්' (පුංචි පවුල, ප්‍රීතිමත් පවුල) වැනි ආකර්ෂණීය තේමා පාඨයන් රූපවාහිනිය, ගුවන්විදුලිය, පෝස්ටර් සහ හැකි සෑම මාධ්‍යයක් ම හරහා පුළුල් ලෙස විකාශය විය. ඇතැම් අවස්ථාවල ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල එම පණිවුඩය ව්‍යාප්ත කිරීම සඳහා අලින් පවා යොදාගෙන තිබිණි.
අද දක්වා ම අඛණ්ඩව ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතීන්, ඉන්දියාවේ පවුල් සැලසුම්කරණය පිළිබඳ නිර්වචනයන්ට සමාන පද බවට පත්ව තිබේ.
විශේෂඥයින් පවසන්නේ, තවමත් රටේ විශාල ප්‍රදේශයක තහංචි මාතෘකා ලෙස සැලකෙන උපත්පාලන ක්‍රම සහ උපත්පාලනය වැනි සංවේදී මාතෘකා සඳහා නව වදන් මාලාවක් නිර්මාණය කිරීමට එම දැන්වීම්වලින් සහයක් ලැබී ඇති බව ය.
"හැම දිහාවකම පිරිමි මහා කැත, අශිෂ්ට විහිළු කියනවා. නමුත් 'කොන්ඩම්' කියන වචනෙ කවුරුහරි කියපු ගමන් මේ අය ලැජ්ජාවට පත්වෙනවා," සස්පී පවසයි. ඉන්දියානු පිරිමින්, ඔවුන්ගේ සබඳතාවල දී ආරක්ෂිත ලිංගික පුරුදු ගැන කතා කිරීමට මැළිවීමේ හේතුව ලැජ්ජාව බව හඳුනාගෙන ඇතැ යි අධ්‍යයනවලින් අනාවරණය වී තිබේ.
එම ව්‍යාපෘතියට සම්බන්ධ වී සිටි මහජන සෞඛ්‍ය විශේෂඥ සෂ්වතී බැනර්ජී පවසන්නේ 'බින්දාස් බෝල්' ව්‍යාපෘතිය පිටුපස තිබූ අදහස සරල බව ය: ඒ, පැකිළීමකින් තොරව උපත්පාලන කොපුවක් ඉල්ලා සිටීම සඳහා පිරිමින් පෙළඹවීම යි. 'කොන්ඩම්' යන්න නරක වචනයක් නොවන නිසා, එය ව්‍යාකූල වචනවල දවටා පහත් හඬින් පැවසිය යුතු නැතිබව ඇය කිය යි. කොන්ඩම් සෑම කෙනෙක් ම භාවිත කරති. ඒවා සෑම කෙනෙකු ම භාවිතා කළ යුතු ය.
මෙය ක්‍රියාත්මක කිරීමේ දී උපත්පාලනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා කොන්ඩම් අලෙවිකරුවන් සහ රසායන විද්‍යාඥයින් 40 000ක් ව්‍යාපෘති කණ්ඩායම හා එකතු වූහ. ඒ හරහා, ඒවා භාවිතය සම්බන්ධයෙන් පිරිමින්ට පැවති අපහසුතා මඟහැරීම අරමුණ විය.
"නමුත් අන්තිමට හොඳට වැඩකළේ පරණ විදියටම හාස්‍යය පාවිච්චි කිරීම තමයි - මුලින් ම හොඳට හිනා වෙනවා, පස්සේ හිතට පණිවුඩය ඇතුළුවෙනවා," සස්පී පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රජයේ සහ පෞද්ගලික සංවිධාන දැන්වීම් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් බොහෝ කාලයක් හා මුදල් වැය කළ ද, ඒවා සියල්ල ම සාර්ථක නොවී ය - ඇතැම් දැන්වීම්වලට ජනතා විරෝධයක් පවා එල්ල විය.
ඊට අදාළ වැඩසටහන් පවා නිෂ්ඵල වූයේ, ඒවා මුළුමනින් ම පාහේ කාන්තාවන් කෙරෙහි අවධානය යොමුකිරීමත්, පිරිමින් පසෙකට දමා තිබීමත් හේතුවෙන් බව විචාරකයෝ පෙන්වා දෙති.
"ඉස්සර, උපත් පාලන ක්‍රම තෝරාගැනීම සම්බන්ධයෙන් හෝ, ඒවා භාවිතා කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් කාන්තාවන්ට අයිතියක් හෝ තෝරාගැනීමක් කරන්න ඉඩ තිබුණෙ නෑ," BBC Media Action ව්‍යාපෘතියේ ජාතික නිර්මාණාත්මක අධ්‍යක්ෂ සහ විධායක නිෂ්පාදක රාධාරාණි මිත්‍රා පවසයි.
එබැවින් උපත් පාලන ක්‍රමවේදයන්හි සියලු බර කාන්තාවන් පිට පැටවුණු අතර, බොහෝ නිවෙස්වල සැබවින් ම තීරණ ගැනීමේ අයිතිය හා පාලනය සතු පිරිමි පවුල් සැලසුම් ක්‍රම ගැන නොදැනුවත්ව, ඒවාට විරුද්ධව උන්හ.
මෙය අඛණ්ඩව පවතින ප්‍රවණතාවකි. 2019 සහ 2021 අතර පැවැත්වූ පස්වන (ඉන්දීය) ජාතික පවුල් සෞඛ්‍ය සමීක්ෂණයට (NFHS) අදාළව රට පුරා සමීක්ෂණයට සහභාගී කරගන්නා ලද කාන්තාවන්ගෙන් 38%කට ආසන්න ප්‍රතිශතයක් වන්ධ්‍යකරණයට භාජනය වී ඇති නමුත්, එම සැත්කමට භාජනය වූ පිරිමින්ගේ ප්‍රතිශතය වූයේ 0.3%ක් පමණි.
රජයේ සෞඛ්‍ය විශේෂඥයෙකු වන ආනන්ද් සින්හා පවසන්නේ, "සාම්ප්‍රදායික උපදේශනයට සහ සමස්ත සමාජ සංවර්ධනයට ඇති විශාල අවශ්‍යතාව ප්‍රචාරක පාඨවලින් ප්‍රතිස්ථාපනය කරන්න බැහැ," යනුවෙනි.
එහෙත්, එම ප්‍රචාරක පාඨ සමාජ සම්මතයන් වෙනස් කිරීමට සහ ධනාත්මක ගම්‍යතාවක් ඇති කිරීමට උපකාරී වූ බව ඔහු වැඩිදුරටත් පවසයි.

1975 වසරේ පැවති හදිසි තත්ත්වය අතරතුරේ (එහිදී සිවිල් නිදහස අත්හිටවනු ලැබුණි) ඉන්දියාවේ පවුල් සැලසුම් ව්‍යාපෘතිය පසුබෑමකට ලක් විය.
මෙම කාලය තුළ ඉන්දීය රජය මිලියන ගණනක් කාන්තාවන්, පිරිමින් පමණක් නොව දරුවන්ට පවා බලහත්කාරයෙන් වන්ධ්‍යකරණය සැත්කම් සිදුකරවීය. "මේ ක්‍රියාමාර්ග නිසා උපත්පාලන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මිනිස්සු අතර නරක ආකල්පයක් ඇතිවුණා විතරක් නෙවේ, 'උපත්පාලනය' කියන අදහසටත් මිනිස්සු බයවුණා," සින්හා පැවසීය.
ඉන්පසු වසර ගණනාවක් පුරා පැවති විශාලතම අභියෝගය වූයේ පවුල් සැලසුම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කර, ඒ සඳහා "වඩාත් පිළිගත හැකි, උණුසුම් සහ මිත්‍රශීලී මුහුණුවරක්" ලබා දීම ය.
එම කාලයේ දී, කොන්ඩම් අලෙවි කරන පෞද්ගලික සමාගම් තරුණ යුවළ සඳහා උපත්පාලන ක්‍රම අලෙවි කිරීමට වඩාත් නිර්මාණශීලී ක්‍රම සෙවීමට පටන්ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රචාරක ව්‍යාපෘති ව්‍යාපෘති වඩා ත් රාගික සහ මිනිසුන්ට සමීප විය.
HIV/Aids බටහිර රටවලට විශාල තර්ජනයක් වූ 1980 ගණන්වල අග භාගයේ සිට, ඉන්දියාව වැනි ජනගහණය අධික රටක එය ව්‍යාප්ත වේයැ යි ඇතිවූ බිය හේතුවෙන්, උපත්පාලන ක්‍රමවල අලුත් සහ විශාල අලෙවියක් ආරම්භ වූ බව මිත්‍රා පවසයි.
"ලිංගිකත්වය පිළිබඳ මාතෘකාව වඩා ත් විවෘතව කතා කළා වගේම කොන්ඩම් පිළිබඳ සමාජයීය ව්‍යාපෘති වඩාත් සාමාන්‍ය වුණා."
මේවායින් වඩාත් ම අමතක නොවන දෙය වූයේ, 2008 දී භාවිතයට ගෙනා කොන්ඩම් රින්ග්ටෝන් නාදය යි. එය අංශක 360ක "කොන්ඩම් සාමාන්‍යකරණ" ව්‍යාපාරයේ කොටසකි.
BBC Media Action විසින් මෙහෙයවන ලද, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් අරමුදල් සපයන ලද මෙම ව්‍යාපෘතිය, ඉන්දියාව තුළ HIV ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ආරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සිදු කළ දැවැන්ත වැඩසටහනේ කොටසක් විය.
එය, 'කොන්ඩම්' යන වචනය පුනරුච්චාරණයෙන් ගොඩනගන ලද, ආකර්ෂණීය ඇකපෙලා සංගීත සැකැස්මක හැඟීමක් ජනිතකළ ජංගම දුරකතන රින්ග්ටෝන් එකක් විය. විවාහ උත්සවයක් අතරතුර ජංගම දුරකතනයේ කොන්ඩම් රින්ග්ටෝනය නාදවීමට පටන්ගත් විට කලබලයට පත් වූ ඉන්දීය ජාතිකයෙකු ඇතුළත් හාස්‍යෝත්පාදක වීඩියෝවක් ද මෙම ප්‍රචාරණ වැඩසටහනට ඇතුළත් විය.

මිත්‍රා පවසන්නේ, එම රින්ග්ටෝනය විශාල ලෙස ජනප්‍රියත්වයට පත්වූ අතර එය ඩවුන්ලෝඩ් කිරීම සඳහා ඉල්ලීම් 480,000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී තිබූ බව ය. එය අමෙරිකාවේ National Public Radio ගුවන් විදුලි සේවාවේ ත්, ජපානයේ සිට ඉන්දුනීසියාව දක්වා සහ දකුණු අමෙරිකාවේ සිට යුරෝපය දක්වා ත් විකාශය කෙරුණු බව ද මිත්‍රා පවසයි.
"ඒක ලෝකය පුරා ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුණා. හැම තැනකින් ම සම්මාන ලැබුණා. ඒත් වැදගත් ම දෙය තමයි, ඒකෙන් ඇත්තට ම ලොකු බලපෑමක් වුණ එක."
බැනර්ජී පවසන්නේ, චර්යාත්මක වෙනසක් යනු දැවැන්ත ජිග්සෝ ප්‍රහේළිකාවක් වැන්නක් බව ය: "ඔක්කොම කෑලි එකතු කළොත් තමයි පින්තූරය ගොඩනැගෙන්නේ," ඇය පවසයි.
"සමහර වෙලාවට, සංවාදයක් ඇති කිරීමෙන්ම ආකල්ප වෙනස් කරන්න සහයක් ලබාගන්න පුළුවන්."












