ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'පුටින් තුන් වන ලෝක යුද්ධය ආරම්භ කළා, දැන් එය නතර කළ යුතු යි': සෙලෙන්ස්කි බීබීසීයට කියයි
- Author, ජෙරමි බෝවන්
- Role, ජාත්‍යන්තර සංස්කාරක
- වාර්තාකරණය, කියෙව්
- කියවීමේ කාලය: මිනිත්තු 9
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි දිගින් දිගට ම විරෝධතාවයේ ස්ථිර පණිවිඩය යොමු කරමින් සිටියි.
මෙම සති අන්තයේ කියෙව්හි රජයේ මූලස්ථානයේදී අප හමුවූ විට, යුක්රේනය පරාජය නොවන බවත් යුද්ධය ජයග්‍රහණයෙන් අවසන් කරන බවත් ඔහු පැවසීය. දස දහස් ගණනක් සොල්දාදුවන් ජීවිත පූජා කළ ද රුසියාව අල්ලා ගැනීමට අපොහොසත් වූ උපාය මාර්ගික භූමියෙන් ඉවත් වෙමින් සිටින ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉල්ලා සිටි සටන් විරාම ගිවිසුමකට මිල ගෙවීමට ඔහු තදින් ම විරුද්ධ විය.
පුටින්, දැනටමත් තුන් වන ලෝක යුද්ධය ආරම්භ කර ඇති බවත්, එක ම පිළිතුර ඔහුට පසුබැසීමට බල කිරීම සඳහා දැඩි හමුදා හා ආර්ථික පීඩනයක් එල්ල කිරීම බවත් සෙලෙන්ස්කි මට පැවසීය.
"පුටින් දැනටමත් ඒක ආරම්භ කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. සැබෑ ප්‍රශ්නය වෙන්නේ ඔහුට කොපමණ ඉඩම් ප්‍රමාණයක් අත්පත් කර ගන්න පුළුවන් ද? සහ ඔහුව නවත්වන්නේ කොහොම ද? කියන එක යි. රුසියාවට අවශ්‍ය වන්නේ, තමන්ගේ ම ජීවන රටාව අනෙක් මිනිසුන්ගේ මතට තල්ලු කරලා ඒ මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් කරන එක යි."
යුක්රේනය සතුව තවමත් පවතින ඩොනෙට්ස්ක්හි නැගෙනහිර කලාපයෙන් 20%ක් පමණ වන භුමි ප්‍රමාණයක් මෙන් ම, යුක්රේනය "බලකොටු නගර" ලෙස හඳුන්වන දකුණු දිග ප්‍රදේශවල පිහිටි නගර පෙළක් වන කර්සන් සහ සැපෝරිෂියා යන ප්‍රදේශයේ ඉඩම් ප්‍රමාණයක් ලබා දෙන ලෙස රුසියාව කරන ඉල්ලීම ගැන කුමක් කිව හැකි ද? සටන් විරාමයකට මග පෑදුවහොත් මෙය සාධාරණ ඉල්ලීමක් වේ දැයි මම ඇසුවෙමි.
"මම ඒක දකින්නේ වෙනස් විදිහට. මම ඒක භූමියක් විදිහට සරලව දකින්නේ නැහැ. මම ඒක දකින්නේ අතහැර දැමීමක් ලෙස යි, අපේ තත්ත්වය දුර්වල කිරීම සහ එහි ජීවත් වන අපේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතහැර දැමීමක්. මම ඒක දකින්නේ එහෙම යි. මේ 'ඉවත් වීම' අපේ සමාජයේ බෙදීමක් ඇති කරයි කියලා මම විශ්වාස කරනවා."
නමුත් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව තෘප්තිමත් කළ හැකි නම් එය සාධාරණ ගනුදෙනුවන් නොවේවි ද? ඇත්තට ම ඔහු එයින් තෘප්තිමත් වෙයි කියලා ඔබ හිතනවා ද?
"කෙටි කාලයක් සඳහා ඒකෙන් ඔහුව තෘප්තිමත් කරන්න පුළුවන්. ඔහුට විවේකයක් අවශ්‍ය යි. නමුත් ඔහු නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වුණාට පස්සේ අපේ යුරෝපයේ හවුල්කරුවන් කියන විදිහට අවුරුදු 3-5ක් වගේ කාලයකට පස්සේ ඔහු නැවත ක්‍රියාත්මක වේවි. මම හිතන්නේ ඔහුට ඊටත් වඩා ඉක්මනින්, අවුරුදු දෙකකට කලින් නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වේවි. ඔහුගේ ඊළඟ ඉලක්කය කොතැන ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඔහුට යුද්ධය දිගට ම කරගෙන යාමට අවශ්‍ය යි කියන එක පැහැදිලි යි."
කියෙව් නගර මධ්‍යයේ දැඩි ආරක්ෂාවක් සහිත රජයේ කාර්යාල පිහිටි ප්‍රදේශය තුළ පිහිටා ඇති සම්මන්ත්‍රණ ශාලාවකදී මට ව්ලොදිමීර් සෙලෙන්ස්කි මුණ ගැසිණි. සම්මුඛ සාකච්ඡාව අතරතුර ඔහු වැඩිපුර ම යුක්‍රේන භාෂාවෙන් කතා කළේ ය.
ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කෙතරම් ප්‍රවේශම්සහගත සහ අවධානයෙන් සිටිනවා ද යන්නෙන් සෙලෙන්ස්කිගේ නායකත්වයේ වගකීම පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි ය.
ඕනෑ ම රාජ්‍ය නායකයෙකු හමුවීමකදී දැඩි පරීක්ෂාවකට ලක්වීමට සිදුවේ. නමුත් කියෙව්හි ජනාධිපති ගොඩනැගිලිවලට ඇතුළුවීමේ ක්‍රියාවලිය මා මීට පෙර කලාතුරකින් අත්විඳ ඇති ආරක්ෂක මට්ටමකට ගෙන යයි.
යුද්ධයකට මුහුණ දී සිටින රටකට, රුසියාව දැනටමත් ඉලක්ක කර ගැනීමට උත්සහ කර ඇති ජනාධිපතිවරයෙකු සිටින විට එය තේරුම් ගත හැකි ය.
මේ සියල්ල තිබියදීත්, රංගන ශිල්පියෙකු ලෙස 2006 වසරේදී Strictly Come Dancingහි යුක්රේනයේ අනුවාදය දිනා ගත් සහ සැබෑ ජනාධිපති වීමට පෙර රූපවාහිනී ජනාධිපතිවරයෙකු ලෙස රඟපෑ ඔහු මේ සියල්ලට ඉතා හොඳින් ඔරොත්තු දෙන බව පෙනෙන්නට ඇත.
ජිනීවාහි පැවති නවතම සටන් විරාම සාකච්ඡාවලට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, "යුක්රේනය ඉක්මනින් සාකච්ඡා මේසයට පැමිණිය යුතු" බව ය.
ඔහු රුසියාවට වඩා යුක්රේනයට අඛණ්ඩව වැඩි පීඩනයක් එල්ල කරමින් සිටියි.
පසුගිය ගිම්හානයේ සිට බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයින් පවසා ඇත්තේ ට්‍රම්ප් පුටින් සමග එකඟ වන බවත්, යුක්රේනය රුසියාවට සිය භූමිය ලබා දීම ඔහුට අවශ්‍ය සටන් විරාමයේ මූලික කරුණ බවත්, මෙම ගිම්හානයට පෙර එය සිදුකිරීම වඩාත් සුදුසු බවත් ය.
ධවල මන්දිරයෙන් පිටත සිටින බොහෝ විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ, යුක්රේනයට යුද්ධය ජය ගත නොහැකි බවත්, මොස්කව් වෙත සහන ලබා නොදුනහොත් ඔවුන්ට එය අහිමි වන බවත් ය.
ට්‍රම්ප් සහ අනෙක් පිරිස පවසන දේ නිවැරදි දැයි මම සෙලෙන්ස්කිගෙන් විමසුවෙමි.
"ඔබ දැන් ඉන්නේ කොහෙ ද?" සෙලෙන්ස්කි පිළිතුරු දෙමින් විමසීය. "අද ඔබ ඉන්නේ කියෙව් නගරයේ, ඔබ ඉන්නේ අපේ රටේ අගනුවර වන කියෙව් නගරයේ, ඔබ ඉන්නේ යුක්රේනයේ. ඔබ මෙහි සිටීම ගැන මම කෘතඥ වෙනවා. අපි පරදියි ද? ඇත්ත වශයෙන් ම නැහැ. අපි අපේ ස්වාධීනත්වය සඳහා සටන් කරනවා."
යුක්රේනයට ජයග්‍රහණය කළ හැකි බව සෙලෙන්ස්කි බොහෝවිට පවසා ඇති නමුත් එම ජයග්‍රහණය කෙබඳු වනු ඇති ද?
ඇත්ත වශයෙන් ම, ජයග්‍රහණය යනු යුක්‍රේනුවන්ට සාමාන්‍ය ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සහ ඝාතනය අවසන් කිරීම බව ඔහු පැවසීය. නමුත් ජයග්‍රහණය පුළුල් ආකාරයකින් විස්තර කරමින් ඔහු කියා සිටියේ, එය පුටින්ගෙන් එල්ල වන ගෝලීය තර්ජනයක් ලෙස දකින දෙයට මුහුණ දීමක් ලෙස ය.
"පුටින්ව අද නැවැත්වීම සහ ඔහු යුක්රේනය අත්පත් කර ගැනීම වැළැක්වීම මුළු ලෝකයට ම ජයග්‍රහණයක් කියලා මම විශ්වාස කරනවා. මොක ද පුටින් යුක්රේනයෙන් නතර වෙන්නේ නැහැ."
ජයග්‍රහණය යනුවෙන් ඔබ කියන්නේ, මුළු භූමිය ම ආපහු ලබා ගන්නවා කියන එක නෙවෙයි නේද?
"අපි ඒක කරනවා, ඒක පැහැදිලි යි. ඒක කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතර යි. නමුත් දැන් ඒක කරන්න උත්සහ කළොත් මිලියන ගණනකගේ ජීවිත අහිමි වෙන්න පුළුවන්. මොක ද රුසියාවට විශාල හමුදාවක් සිටිනවා වගේ ම ඒ වගේ පියවරක ගත්තොත් අපිට ගෙවන්න වෙන වන්දිය ඉහළ යි කියලා අපි දන්නවා. එහෙම අහිමි කර ගන්න තරම් අපට ප්‍රමාණවත් පිරිසක් නැහැ. මිනිසුන් නැතිව ඉඩම් මොකට ද? අවංකව ම, කිසි ම ඵලක් නැහැ."
"තව ද අපට ප්‍රමාණවත් තරම් ආයුධ නැහැ. ඒක අප මත විතරක් රඳා පවතින දෙයක් නෙමෙයි, අපගේ හවුල්කරුවන් මත ද රඳා පවතිනවා. ඒ නිසා දැනට එය කරන්න බැරි දෙයක්. ඒත් 1991 [යුක්රේනය සෝවියට් සංගමයේ අවසාන බිඳවැටීමට හේතු වූ නිදහස ප්‍රකාශ කළ වර්ෂය] සාධාරණ දේශසීමා වෙත නැවත පැමිණීම නිසැකව ම ජයග්‍රහණයක් විතරක් නෙමෙ යි, යුක්තිය වෙන්නේ ඒක යි. යුක්රේනයේ ජයග්‍රහණය අපගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම යි, සහ මුළු ලෝකයට ම යුක්තියේ ජයග්‍රහණයක් යනු අපගේ සියලු භුමිය නැවත ලබා දීම යි."
වසරකට පෙර, සෙලෙන්ස්කි ධවල මන්දිරයට ගිය අතර, ජ්‍යෙෂ්ඨ බටහිර රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට අනුව, ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් විසින් කලින් සැලසුම් කරන ලද ආකාරයකින් ප්‍රසිද්ධියේ පීඩනයට ලක් කරන ලදී.
ලෝක මාධ්‍ය තුළින් ඔවුන්ගේ එම තර්කය ලොව පුරා මිලියන ගණනක් නැරඹූහ.
දෙවන වාරය සඳහා අලුතින් දිවුරුම් දුන් ට්‍රම්ප්, සෙලෙන්ස්කි සහ යුක්රේනය ජනාධිපති ජෝ බයිඩ්න් වෙතින් ලැබූ සහයෝගය අවසන් වන බවට පැහැදිලි පණිවිඩයක් යැවී ය. නේටෝ සාමාජිකයින්ට නව පරිපාලනය අනතුරු අඟවා තිබිණි. ට්‍රාන්ස්-අත්ලාන්තික් සන්ධානයේ ශක්තිය පිළිබඳ බටහිර යුරෝපීය මිථ්‍යාවන් බිඳ දැමීමෙන් පසු වෑන්ස් නැවත පැමිණියේ, මෑතකදී ය.
එතැන් සිට, බ්‍රිතාන්‍ය ජාතික ආරක්ෂක උපදේශක ජොනතන් පවෙල් සහ වෙනත් අයගේ මග පෙන්වීම මත, සෙලෙන්ස්කි ට්‍රම්ප් සමග ප්‍රසිද්ධ ගැටුම් වළක්වා ගෙන ඇති බව වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් යුක්රේනයට හමුදා ආධාර යැවීම නවතා දමා ඇත. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය තවමත් වැදගත් බුද්ධි තොරතුරු සපයන අතර යුරෝපීය රටවල් යුක්රේනය සඳහා ඇමෙරිකානු ආයුධ මිල දී ගැනීම සඳහා බිලියන ගණනක් වියදම් කරති.
ට්‍රම්ප්ගේ බොහෝවිට පරස්පර විරෝධී ප්‍රකාශ ගැන මම යුක්රේන ජනාධිපතිවරයාගෙන් විමසුවෙමි, ඔහු ප්‍රකාශ කර ඇති අසත්‍යයන් අතර යුද්ධය ආරම්භ කළ සෙලෙන්ස්කි ඒකාධිපතියෙකු බවට එල්ල වන චෝදනාව ද ඇති බව සිහිපත් කළෙමි - එය ව්ලැදිමීර් පුටින් විසින් කරන ලද ප්‍රකාශවල ප්‍රතිරාවයකි.
සෙලෙන්ස්කි සිනාසිණි.
"මම ඒකාධිපතියෙක් නෙමෙයි, මම යුද්ධය පටන් ගත්තේ නැහැ, එච්චර යි."
ඔබට ට්‍රම්ප්ගෙන් ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබෙන්නේ නම්, ඔබට ජනාධිපති ට්‍රම්ප් විශ්වාස කරන්න පුළුවන් ද? ඔහු තමන්ගේ වචනය ආරක්ෂා කරයි ද? ඔහු තම අදහස වෙනස් කරන පුද්ගලයෙක්, මම ඇසුවෙමි.
"ඒක ජනාධිපති ට්‍රම්ප් ගැන විතරක් නෙමෙයි, අපි ඇමෙරිකාව ගැන යි කතා කරන්නේ. අපි හැමෝම සුදුසු කාල සඳහා ජනාධිපතිවරුන් ලෙස කටයුතු කරනවා. නායකයින් සහ දේශපාලන ප්‍රභූන් වෙනස් වන නිසා, උදාහරණයක් ලෙස, වසර 30ක් පවතින සහතික අපට අවශ්‍ය යි."
ඔහු අදහස් කළේ, ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක ඇපකර සම්පූර්ණයෙන් ම විශ්වාසදායක වීමට නම් වොෂින්ටන්හි කොංග්‍රසය විසින් අනුමත කළ යුතු බව ය.
"කොංග්‍රසයේදී ඔවුන්ට ඡන්දය දෙන්නේ හේතුවක් ඇතුව යි. ඒකට ජනාධිපතිවරුන් විතරක් නෙවේ කොංග්‍රසය අවශ්‍ය යි. මොක ද ජනාධිපතිවරුන් වෙනස් වුණත් ආයතන දිගට ම පවතින නිසා."
වෙනත් වචනවලින් කිවහොත්, ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාස කළ නොහැකි නමුත්, ඔහු සදහට ම ජනාධිපති නොවනු ඇත.
තවත් ඇමෙරිකා එක්සත් ජනපද ඉල්ලීම් සලකා බැලීමට පෙර ආරක්ෂාව පිළිබඳ සහතික ක්‍රියාත්මක විය යුතු බව සෙලෙන්ස්කි පවසයි. ගිම්හානය වන විට යුක්රේනය මහ මැතිවරණයක් පැවැත්විය යුතු අතර, එය සෙලෙන්ස්කි නීත්‍යනුකූල නොවන ජනාධිපතිවරයෙකු බවට රුසියාවේ ප්‍රකාශය පුනරුච්චාරණය කරයි. ට්‍රම්ප් කිසිවිටෙකත් රුසියාවේ මැතිවරණයක් ඉල්ලා නොමැති අතර, පුටින් 20 වන සියවසේ අවසාන දිනයේදී ප්‍රථම වරට නායකයා බවට පත්විය.
"මම තරග කරන්නත් පුළුවන්, නැත්නම් තරග නොකරන්නත් පුළුවන්," ඊළඟ මැතිවරණයට තරග කරනවා ද යන්න තීරණය කර නොමැති බව සෙලෙන්ස්කි පැවසීය.
මැතිවරණ 2024 දී පැවැත්වීමට නියමිතව තිබුණත්, රුසියාවේ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව හඳුන්වා දුන් යුද නීතිය යටතේ මැතිවරණය පැවැත්විය නොහැකි විය.
කල් දැමූ මැතිවරණ පැවැත්වීමට, නීතිය වෙනස් කිරීමට කාලය තිබේ නම්, ඒවා පැවැත්වීමට තාක්ෂණිකව හැකි බව සෙලෙන්ස්කි පැවසීය. නමුත් ඔහුට මුලින් ම යුක්රේනය සඳහා ආරක්ෂක සහතික අවශ්‍ය විය.
මිලියන සංඛ්‍යාත යුක්රේන වැසියන් විදේශ රටවල සරණාගතයින් ලෙස සිටීම සහ රුසියාව විසින් අත්පත් කර ගනු ලැබ සිටින රටේ සැලකිය යුතු ප්‍රදේශ සමග මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව වන බොහෝ ගැටලු ඔහු මතු කළ අතර, යථාර්ථය නම් ඔහු එම අදහසට විරුද්ධ බව මම යෝජනා කළෙමි.
"යුද්ධය අවසන් කිරීම සඳහා මේක කොන්දේසියක් නම්, අපි එය කරමු. මම කිව්වා, 'අවංකව ම, ඔබලා හැම වෙලාවෙ ම මැතිවරණ ගැන ප්‍රශ්නය මතු කරනවා' කියලා. මම හවුල්කරුවන්ට කිව්වා, 'ඔබ එක දෙයක් තීරණය කළ යුතු යි: ඔබ මාව ඉවත් කිරීමට කැමති ද නැත්නම් මැතිවරණ පැවැත්වීමට කැමති ද? ඔබට මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය නම්, (දැන් පවා මට අවංකව පැවසීමට සූදානම් නැති වුව ද), මෙම මැතිවරණ අවංකව පවත්වන්න. යුක්රේන ජනතාව හඳුනා ගන්නා ආකාරයට ඒවා පවත්වන්න. මේවා නීත්‍යනුකූල මැතිවරණ බව ඔබ ම හඳුනාගත යුතු යි'".
වොලොදිමීර් සෙලෙන්ස්කිට එරෙහි යුක්රේන විරුද්ධවාදීහු සහ දැඩි විවේචකයෝ සිටිති.
පසුගිය සරත් සමයේදී, ඔහුගේ සමීපතම උපදේශකයාට ඉල්ලා අස්වීමට සිදුවූ දූෂණ වංචාවෙන් ඔහුගේ රජය කම්පනයට පත්විය.
නමුත් නව කණ්ඩායමක් සමගින්, සෙලෙන්ස්කි තවමත් බටහිර යුරෝපයේ බොහෝ නායකයින්ට සිහින දැකීමට පමණක් හැකි අනුමත ශ්‍රේණිගත කිරීම් ලබා ගනී.
ඔහු ඇතැම්විට වඩා හොඳ ආයුධ නිරන්තරයෙන් ඉල්ලා සිටීමෙන් තම සගයන් කෝපයට පත් කර ඇත. වසරකට පෙර ඕවල් කාර්යාලයේදී, ට්‍රම්ප් සහ වෑන්ස් ඔහු ප්‍රමාණවත් ලෙස කෘතඥ නොවන බවට චෝදනා කළහ.
ඔහුගේ ලැයිස්තුවේ ඇති නවතම අයිතමය වන්නේ, පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල ඇතුළු බලපත්‍රය යටතේ ඇමෙරිකානු ආයුධ නිෂ්පාදනය කිරීමට අවසර ගැනීම ය.
"දැනට, ගුවන් ආරක්ෂාව අපගේ ලොකු ම අභියෝගය යි. අවාසනාවකට, අපගේ හවුල්කරුවන් අපට පේට්‍රියට් පද්ධති වැනි පද්ධති නිෂ්පාදනය කිරීමට බලපත්‍ර ලබා දීල නැහැ. නැත්නම් අප සතුව දැනටමත් ඇති පද්ධතිවලට මිසයිල පවා ලබා දී නැහැ. මේ දක්වා, අපි මේ සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබල නැහැ."
ඔවුන් ඒක නොකරන්නේ ඇයි?
"මම දන්නේ නැහැ. මට ඒකට උත්තරයක් නැහැ."
සම්මුඛ පරීක්ෂණය අවසානයේ ඔහු යුක්රේන භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට මාරු විය.
ඔහු පැවසූ සියල්ලට පසු, යුක්රේනය ඊටත් වඩා දිගු යුද්ධයකට සූදානම් විය යුතු දැයි මම ඇසුවෙමි.
"නෑ, නෑ, නෑ, ඒක සමාන්තර ධාවන පථ දෙකක්... අපි චෙස් සෙල්ලම් කරන්නේ ගොඩක් නායකයින් එක්ක, රුසියාව එක්ක නෙවෙයි. ඒකට නිවැරදි මාර්ගයක් නැහැ. ඔයාට සමාන්තර පියවර ගොඩක්, සමාන්තර දිශාවන් තෝරා ගන්න වෙනවා. ඒ සමාන්තර මාර්ගවලින් එකක්, මම හිතන්නේ, සාර්ථකත්වය ගෙන එයි. අපිට නම්, සාර්ථකත්වය කියන්නේ පුටින්ව නවත්වන එක."
නමුත් ව්ලැදිමීර් පුටින් මේ යුද්ධය අවසන් කරන්නේ නැහැ නේද?
"ඔව් සහ නෑ. අපි බලමු. ඔව් සහ නෑ. ඔහුට අවශ්‍ය නෑ, නමුත් අවශ්‍ය නෑ කියන්නේ එයා එහෙම කරන්නේ නෑ කියන එක නෙවෙයි. දෙවියන්ගේ ආශිර්වාදය. දෙවියන්ගේ ආශිර්වාදය, අපි සාර්ථක වෙයි. ස්තූතියි."
ඒ සමග ම, ඔහු ඡායාරූප සඳහා පෙනී සිට, බීබීසී කණ්ඩායම සමග අතට අත දී, කාමරයෙන් පිටතට ගියේ ය.