පලාගිය රුසියානු හමුදා නිලධාරියෙක් න්‍යෂ්ටික අවි කඳවුරක ආරක්ෂාව ගැන යුද රහස් හෙළි කරයි

    • Author, විල් වර්නන්
    • Role, බීබීසී

2022 පෙබරවාරි මාසයේදී රුසියාව විසින් යුක්රේනයට එරෙහිව පූර්ණ වශයෙන් ආක්‍රමණය දියත් කළ දිනයේ, ඔහු සේවය කළ න්‍යෂ්ටික අවි කඳවුර සම්පූර්ණයෙන් ආක්‍රමණයක් සඳහා සීරුවෙන් තබා තිබූ බව ඇන්ටන් පවසයි.

“ඊට කලින් අපට තිබුණේ පෙරහුරු විතර යි. නමුත් යුද්ධය ආරම්භ වූ දිනයේ ආයුධ සම්පූර්ණයෙන් ම ස්ථානගත කර තිබුණා,” රුසියානු න්‍යෂ්ටික හමුදාවේ හිටපු නිලධාරියා පවසයි. "අපි මුහුදින් සහ ගුවනින් හමුදාවන් යෙදවීමටත් න්‍යායාත්මකව න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමටත් සූදානම්ව සිටියා."

මට ඇන්ටන් මුණ ගැසුණේ රුසියාවෙන් පිටත රහසිගත ස්ථානයකදී ය. ඔහුගේ ම ආරක්ෂාව සඳහා, බීබීසී පුවත් සේවය එම ස්ථානය හෙළි නොකර යි. අපි ඔහුගේ නම ද වෙනස් කර ඇති අතර ඔහුගේ මුහුණ අනාවරණය නොකරන්නෙමු.

ඇන්ටන් රුසියාවේ ඉතා රහසිගත න්‍යෂ්ටික අවි මධ්‍යස්ථානයක නිලධාරියෙකු විය.

ඔහු සිය හමුදා ඒකකය, කඳවුර සහ තනතුර තහවුරු කරන ලියකියවිලි ද අපට පෙන්වීය.

ඔහු පවසා ඇති සෑම දෙයක ම නිරවද්‍යතාව තහවුරු කිරීමට හෝ ස්වාධීනව පරීක්ෂා කිරීමට බීබීසීයට නොහැකි නමුත් ඔහු විස්තර කළ සිදුවීම් රුසියානු ප්‍රකාශයන් සමග අනුකූල වේ.

යුක්රේනයේ දේශසීමා වෙත හමුදා සෙබළුන් යොමු කිරීමෙන් දින තුනකට පසුව, රුසියාවේ න්‍යෂ්ටික මර්දන හමුදාවන්ට "විශේෂ සටන් සේවාවක්" ක්‍රියාත්මක කිරීම සඳහා නියෝග කර ඇති බව ව්ලැඩිමීර් පුටින් නිවේදනය කළේ ය.

යුද්ධයේ පළමු දිනයේ සිට සටන් අනතුරු ඇඟවීම ක්‍රියාත්මක වූ අතර සිය ඒකකය සිටි “කඳවුර ඇතුළතින් වසා දැමූ” බව ඇන්ටන් පවසයි.

“අපට තිබුණේ රුසියානු රාජ්‍ය රූපවාහිනිය විතර යි,” හිටපු නිලධාරියා පවසයි, “ඒ සියල්ලේ තේරුම කුමක්දැයි මම දැන සිටියේ නැහැ. මම ඉබේ ම මගේ රාජකාරිය කළා. අපි යුද්ධයේදී සටන් කළේ නැහැ, අපි න්‍යෂ්ටික අවි ආරක්ෂා කළා.''

සති දෙක තුනකට පසුව අනතුරු ඇඟවීමේ තත්ත්වය අවලංගු කළ බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ඇන්ටන්ගේ සාක්ෂිය රුසියාවේ න්‍යෂ්ටික බලවේගවල ඉහළ ම රහසිගත අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. හමුදා සේවයේ නිරතවන්නන් මාධ්‍යවේදීන් සමග කතා කිරීම අතිශයින් දුර්ලභ ය.

“එහි ඉතා දැඩි තේරීම් ක්‍රියාවලියක් තිබෙනවා. සෑම කෙනෙකු ම වෘත්තීය සොල්දාදුවෙක් - බලහත්කාරයෙන් බඳවා ගැනීමක් සිද්ධ වෙන්නෙ නැහැ,”ඔහු පැහැදිලි කරයි.

“සෑම කෙනෙක් ම නිරන්තරයෙන් පරීක්ෂාවලට ලක්වෙන අතර අසත්‍ය ප්‍රකාශ සිදුකරනවා ද කියලා සොයා බලන්න නිතර පරීක්ෂණවලට ලක්වෙන්න සිද්ධ වෙනවා. ඔවුන්ට ගෙවන වැටුප් ගොඩක් ඉහළ යි. හමුදා සෙබළුන් යුද්ධයට යවන්නේ නැහැ. ඔවුන් සිටින්නේ න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලවුවොත් එය වැළැක්වීමට හෝ ප්‍රහාරයක් එල්ල කිරීමට.''

හිටපු නිලධාරියා පවසන්නේ, ජීවිතය දැඩි පාලනයකින් යුතු එකක් වූ බව ය.

"මගේ වගකීම වුණේ, මා යටතේ සිටි සොල්දාදුවන් න්‍යෂ්ටික හමුදා කඳවුරට කිසි ම දුරකතනයක් රැගෙන නොඑන බව සහතික කිරීම," ඔහු පැහැදිලි කළේ ය.

“ඒක ඉතා කොටු වුණ සමාජයක්, ඒකේ ආගන්තුකයන් නැහැ. ඔබට ඔබේ දෙමාපියන් බැලීමට අවශ්‍ය නම්, ඔබ මාස තුනකට පෙර ෆෙඩ්රල් ආරක්ෂක කාර්යංශයට ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු යි.''

ඇන්ටන් කඳවුරේ ආරක්ෂක අංශයේ කොටසකට අයත් වූ අතර එය න්‍යෂ්ටික අවි ආරක්ෂා කරන ක්ෂණික ප්‍රතික්‍රියා බළකායකි.

“අපිට නිරන්තර පුහුණු අභ්‍යාස තිබුණා. අපගේ ප්‍රතික්‍රියා කාලය මිනිත්තු දෙකක්,” ඔහු ආඩම්බරයෙන් ඉඟි කළේ ය.

ඇමෙරිකානු විද්‍යාඥයින්ගේ සම්මේලනයට අනුව රුසියාව සතුව ක්‍රියාකාරී න්‍යෂ්ටික යුධ අවි 4,380ක් පමණ තිබේ. නමුත් "සේවයේ යොදවා" හෝ සේවයේ යෙදවීමට සූදානම්ව ඇත්තේ, 1,700 ක් පමණි. සියලු ම නේටෝ සාමාජික රටවල් ඒකාබද්ධ කළහොත් ඒවායෙහි ඇති න්‍යෂ්ටික අවි සංඛ්‍යාව ඊට සමාන වේ.

උපායශීලී, න්‍යෂ්ටික අවි ලෙස හඳුන්වන “උපායමාර්ගික නොවන” අවි භාවිත කිරීම පුටින් තෝරා ගනී ද යන්න පිළිබඳව ද කතාබහක් පවතී. මේවා කුඩා මිසයිල වන අතර ඒවා සාමාන්‍යයෙන් පුළුල්ව පැතිරුණු විකිරණශීලී බලපෑමක් ඇති නොකරයි.

කෙසේ වෙතත්, ඔවුන්ගේ අවි භාවිතය යුද්ධයේ භයානක උත්සන්න වීමකට තුඩු දෙනු ඇත.

බටහිර රටවල ඉවසීම පරීක්ෂා කිරීමට ක්‍රෙම්ලීනය හැකි සෑම දෙයක් ම කරමින් සිටී.

රුසියාවට න්‍යෂ්ටික අවි දියත් කළ හැක්කේ කෙසේ ද සහ කවදා ද යන්න නියම කරන නිල නීති ඇතුළත් න්‍යෂ්ටික මූලධර්මයන්හි කළ වෙනස්කම් පුටින් අනුමත කළේ පසුගිය සතියේදී ය.

"න්‍යෂ්ටික රාජ්‍යයක සහභාගීත්වය හෝ සහය ඇතිව” න්‍යෂ්ටික නොවන රාජ්‍යයක් සාම්ප්‍රදායික මිසයිලවලින් “දැවැන්ත ප්‍රහාරයක්” එල්ල කළ විට රුසියාවට ප්‍රහාර දියත් කළ හැකි බව එම න්‍යෂ්ටික මූලධර්මය දැන් පවසයි.

රුසියානු නිලධාරීන් පවසන්නේ, යාවත්කාලීන කරන ලද ප්‍රතිපත්ති අනුව යුධ පිටියේදී පරාජය කිරීමේ හැකියාව "ඵලදායී ලෙස ඉවත් කරන" බව ය.

නමුත්, රුසියාවේ න්‍යෂ්ටික අවි ගබඩාව සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක ද?

සමහර බටහිර විශේෂඥයින් යෝජනා කර ඇත්තේ, එහි ආයුධ බොහෝ දුරට සෝවියට් යුගයට අයත් වන අතර ඒවා ක්‍රියා නොකරනු ඇති බව ය.

හිටපු න්‍යෂ්ටික හමුදා නිලධාරියා එම මතය ප්‍රතික්ෂේප කළේ, එම අදහස "විශේෂඥයින් යැයි කියා ගන්නා අයෙකුගේ ඉතා සරල දැක්මක්" ලෙසිනි.

"සමහර ප්‍රදේශවල පැරණි ආයුධ තිබිය හැකි ය, නමුත් රට සතුව අතිවිශාල න්‍යෂ්ටික අවි ගබඩාවක් තිබෙනවා, විශාල යුධ අවි සංඛ්‍යාවක් තිබෙනවා, ගොඩබිම, මුහුදේ සහ ගුවනේ නිරන්තරව සිදුකරන මුර සංචාර ඇතුළුව."

රුසියාවේ න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක මට්ටමේ පවතින බවත්, සටන් කිරීමට සූදානම්ව තිබෙන බවත් ඔහු කියා සිටියේ ය. "න්‍යෂ්ටික අවි නඩත්තු කිරීමේ කාර්යය නිරතුරුව ම සිදු කෙරෙන අතර, එක විනාඩියක්වත් ඒක නතර කරන්නේ නැහැ."

පූර්ණ යුද්ධය ආරම්භ වී ටික කලකට පසු, “අපරාධ නියෝගයක්” ලෙස ඔහු විස්තර කරන, නිශ්චිත ලිඛිත මාර්ගෝපදේශ භාවිත කරමින් තම හමුදා සමග දේශන පැවැත්වීම තමන්ට පැවරූ බව ඇන්ටන් පැවසීය.

"ඔවුන් කිව්වා යුක්රේන සිවිල් වැසියන් සටන්කාමීන් බවත් ඔවුන් විනාශ කළ යුතු බවත්!" ඔහු වේදනාවෙන් පැවසීය. “එය මට කරන්න බැරි දෙයක් - එය යුද අපරාධයක්. මම කිව්වා මම මේ ප්‍රචාරණය සිදු කරන්නේ නැහැ කියලා.”

රටේ වෙනත් ප්‍රදේශයක පිහිටි හමුදාවේ සාමාන්‍ය ප්‍රහාරක බළකායකට මාරු කිරීම හෝ යුද්ධයට යවන බවට පවසමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇන්ටන්ට තරවටු කළහ.

මෙම ඒකක බොහෝ විට "පළමු රැල්ල" ලෙස සටනට යවනු ලබන අතර, රුසියාවෙන් පලා ගිය බොහෝ දෙනෙක් යුද්ධයට විරුද්ධ පිරිස් පවසා ඇත්තේ, "කරදර ඇති කරන්නන්ගේ" ආරක්ෂාව නොසලකා හැර ඇති බව ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස කරන ලද ඉල්ලීමකට ලන්ඩනයේ රුසියානු තානාපති කාර්යාලය ප්‍රතිචාර දැක්වූයේ නැත.

ඔහු ඉදිරි පෙළට යැවීමට පෙර, ඇන්ටන් යුද්ධයට සහභාගී වීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයක් අත්සන් කළ අතර ඔහුට එරෙහිව අපරාධ නඩුවක් විවෘත විය. ඔහු ප්‍රහාරක බළකායට මාරු කළ බව සනාථ කරන ලියකියවිලි සහ අපරාධ නඩුවේ විස්තර ඔහු අපට පෙන්වීය.

පසුව ඔහු පලාගිය අය සඳහා වූ ස්වේච්ඡා සංවිධානයක සහය ඇතිව රට හැර යාමට තීරණය කළේ ය.

"මම න්‍යෂ්ටික හමුදා කඳවුරෙන් පලා ගියා නම්, දේශීය ෆෙඩ්රල් ආරක්ෂක කාර්යංශය තීරණාත්මක ලෙස ප්‍රතිචාර දක්වනවා සේම මට බොහෝ විට රට හැර යාමට නොහැකි වෙන්න තිබුණා," ඔහු පැවසීය.

නමුත් ඔහු විශ්වාස කරන්නේ, ඔහු සාමාන්‍ය ප්‍රහාරක බළකායකට මාරු කර ඇති නිසා, ඉහළ මට්ටමේ ආරක්ෂක නිශ්කාෂණ පද්ධතිය අසාර්ථක වූ බව ය.

බොහෝ රුසියානු සොල්දාදුවන් යුද්ධයට විරුද්ධ බව ලෝකයට දැනුම් දීම ඔහුට අවශ්‍ය බව ඇන්ටන් පැවසීය.

පලා ගිය අයට උපකාර කරන ස්වේච්ඡා සංවිධානයක් වන “Idite Lesom” ['Go by the Forest' හෝ 'Get Lost'] බීබීසී වෙත පවසා ඇත්තේ, උපකාර පතා පලා යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මසකට 350 දක්වා ඉහළ ගොස් ඇති බව ය.

පලා යන අයගේ අවදානම ද වැඩි යි. විදේශ රටකට පලාගිය එක් සෙබළෙකු මරා දමා ඇති අතර එසේ පලාගිය පිරිමින් බලහත්කාරයෙන් රුසියාවට ආපසු ගෙන ගොස් නඩු විභාගයන්ට ලක් කළ අවස්ථා කිහිපයක් තිබේ.

කෙසේ වෙතත් ඇන්ටන් රුසියාව හැර ගොස් ඇත. ඔහු පවසන්නේ, ආරක්ෂක අංශ තවමත් ඔහුව සොයමින් සිටින බව ය: "මම මෙහිදී ආරක්ෂාකාරී වනවා, මම සියලු නඩු කටයුතුවලින් ඉවත්ව සිටින අතර කිසි ම නිල පද්ධතියක පෙනී සිටින්නේ නැහැ."

ඔහු පවසන්නේ, ඔහු න්‍යෂ්ටික කඳවුරේ සිටින ඔහුගේ මිතුරන් සමග කතා කිරීම නැවැත්වූයේ ඔවුන්ව අනතුරට පත් කළ නොහැකි නිසා බව ය: “ඔවුන් සාවද්‍ය ප්‍රකාශ සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් අනාවරණ පරීක්ෂණවලට ලක්විය යුතු අතර මා සමග ඇති ඕනෑ ම සම්බන්ධයක් අපරාධ නඩුවකට තුඩු දිය හැකි‍ යි.”

නමුත් අනෙක් සොල්දාදුවන්ට පලා යාමට උදව් කිරීමේදී තමාට මුහුණ පෑමට සිදුවිය ඇති අවදානම ගැන ඔහුට සැකයක් නැත.

"මම එය වැඩි වැඩියෙන් කරන තරමට, ඔවුන්ට මාව මරා දැමීමට උත්සහ කිරීමට ඇති ඉඩකඩ වැඩි බව මට වැටහෙනවා."