ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුක්රේන යුද්ධය: අතිශය රහසිගත ඇමෙරිකානු ලේඛන කාන්දු කළේ කවුද? ඒ ඇයි?
- Author, පෝල් ඇඩම්ස්
- Role, බීබීසී රාජ්‍යතාන්ත්‍රික වාර්තාකරු
මේ වන විට අන්තර්ජාලය තුළ සංසරණය වන ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රහසිගත ලේඛන - සිතියම්, ප්‍රස්ථාර සහ ඡායාරූප - රැස පිළිබඳව අප දැනගත යුත්තේ කුමක්ද?
අවබෝධකර ගත නොහැකි අන්දමේ හමුදාමය කෙටි යෙදුම් වලින සහ කාලරේඛාවන්ගෙන් පරිපූර්ණ මෙම ලියකියවිලිවලින් ඇතැමෙක් "අතිශය රහසිගත යි" යනුවෙන් සලකුණුකොට ඇති අතර, යුක්රේනයේ යුද්ධය පිළිබඳ සවිස්තරාත්මක පින්තූරයක් චිත්‍රණය කරයි.
ඒවා, දෙපාර්ශවයේම සිදුවූ මරණ සංඛ්‍යාවන් සහ දෙපාර්ශවයේම හමුදාමය දුබලතා අපට පවසන අතර, බොහෝදෙනා විසින් අපේක්ෂිත යුක්රේනය වසන්තයේදී දියත් කිරීමට නියමිත ප්‍රහාරය එරට විසින් තීරණය කෙරෙනු ඇති විට දෙපාර්ශවයේම සාපේක්ෂ බලය කොතෙක් වනු ඇත්දැ යි යන වඩා තීරණාත්මක කරුණ ද අපට පෙන්වා දෙයි.
බොහෝවිට කාගේ හෝ කෑම මේසයක් මත දිගහැර තබා ඡායාරූපගත කරන්නට ඇති මේ මුද්‍රිත පිටු කෙතරම් සත්‍ය විය හැකි ද? ඒවායින්, අප දැනටමත් නොදැන සිටි යමක් අපට හෝ රුසියානු රජයට හෙළි කරන්නේ ද?
පළමු කරුණ මුලින්ම: මාස 14කට පෙර රුසියාව විසින් ඇරඹි මහා පරිමාණ ආක්‍රමණයෙන් අනතුරුව යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සිදුවූ විශාලතම ඇමෙරිකානු රහසිගත දත්ත කාන්දුව මෙය යි. මින් ඇතැම් ලියවිලි සති හයක් පමණක් පැරණි වුව ද, ඒවායින් අඟවන දේ දැවැන්ත ය.
පෙන්ටගනයේ නිලධාරීන් මෙම ලේඛන සත්‍යයැ යි පැවසූබව ද උපුටා දක්වා තිබේ.
මෙම ලේඛනවලින් අවම වශයෙන් එක් ලියැවිල්ලක වන තොරතුරු, එහි පසු අනුවාදයක දී රළු ලෙස වෙනස්කර තිබෙතැ යි පෙනෙන්නට ඇතත්, ලේඛන 100ක් පමණ වන තොගය සම්බන්ධයෙන් ගත්විට එය සාපේක්ෂව කුඩා කරුණක් ලෙස පෙනෙයි.
බීබීසී පුවත් විසින් මින් ලේඛන 20ක් සමාලෝචනයකර තිබේ. සති කීපයක් තුළ ආරම්භවිය හැකි ප්‍රහාරයක් සඳහා යුක්රේනය නව සේනාංකයන් පුහුණු කරමින් සිටින අතරතුරේ එරටට සපයනු ලබන පුහුණුව සහ උපකරණ සම්බන්ධ සවිස්තරාත්මක වාර්තා මීට ඇතුළත් ය.
ඉන්, නව සේනාංකයන් [ප්‍රහාරයට] සූදානම් වනු ඇත්තේ කවදා ද යන්න සහ යුක්රේනයේ බටහිර සගයින් විසින් ඔවුනට සපයන සියලුම යුධ ටැංකි, සන්නද්ධ රථ සහ ආයුධවල ලැයිස්තුවක් අප වෙත ගෙනහැර පායි.
නමුත්, "උපකරණ සපයන කාලය පුහුණු කටයුතු සහ සූදානම කෙරෙහි බලපානු ඇතැ"යි ද එහි සඳහන් වේ.
එක සිතියමක "මඩ මිදුණු පොළොව [හා බැඳි] කාලරේඛාවක්" ඇතුළත් ය. ඉන්, වසන්තය ගෙවෙද්දී නැගෙනහිර යුක්රේනයේ භූමියේ තත්ත්වය තක්සේරු කරයි.
යුක්රේනයේ ගුවන් ආරක්ෂක හැකියාව අන්තයටම පරීක්ෂා කෙරුණු සීත සෘතුවකින් පසු, යුක්රේන රජයේ හීනවන ගුවන් ආරක්ෂක හැකියාව සම්බන්ධයෙන් [අප] පියවි සිහියට එළඹවන විශ්ලේෂණයක් ද එහි අඩංගු ය. මේ වන විට යුක්රේන රජය එහි රටවැසියන්, ඉතා වැදගත් යටිතල පහසුකම් සහ එහි ඉදිරිපෙළ භට පිරිස් ආරක්ෂාකර ගැනීම සඳහා එය සතු සීමිත සම්පත් තුලනය කිරීමට උත්සාහ දරමින් සිටියි.
'ලීක් වූ' මෙම ලියකියවිලිවලින් යුක්රේනයේ හමුදාවේ තත්ත්වය ගැන බොහෝ දේ පවසනවා පමණක් නොව, එය ඇමෙරිකානු රජයේ ඇතැම් සගයින් පිළිබඳව ද සාකච්ඡා කරයි. ඊශ්‍රායලයේ සිට දකුණු කොරියාව දක්වා රටවල්, යුක්රේනය හා අනෙකුත් සංවේදී කාරණාවන් ගැන සිදුකරන අභ්‍යන්තර විවාදයන් ද මෙම ලේඛන මඟින් හෙළිදරව් කෙරෙයි.
මින් ඇතැම් ලේඛන "අතිශය රහසිගත" ලෙස සලකුණුකර ඇති අතර, අනෙක්වා ඇමෙරිකාවේ සමීපතම බුද්ධි සගයින් සමග පමණක් බෙදාගත යුතු ඒවා ය.
මින් කොපමණ තොරතුරු ප්‍රමාණයක් අලුත් ඒවා ද?
මේවායේ අඩංගු තොරතුරුවලින් බොහොමයක් අපට හුරුපුරුදු ය. නමුත් මෙහි එවැනි තොරතුරු අඩංගු ලේඛන විශාල ප්‍රමාණයක් ඇති අතර, ඒවා සියල්ල එක් ස්ථානයකින් ලබාගත හැකිව තිබේ.
අපි යුද්ධයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ගනිමු. රුසියානු සොල්දාදුවන් 189 500 සිට 223 000 අතර ප්‍රමාණයක් මියගොස් ඇතැ යි එක්සත් ජනපදය ඇස්තමේන්තු කරනබව උගෙනීම යම් පුදුමයක් දනවයි.
යුක්රේන සොල්දාදුවන්ගේ මරණ සංඛ්‍යාව (124 500 සහ 131 000 අතර) ද, මෑත සතිවල දී මාධ්‍යවේදීන් වෙත ලබාදුන් දළ ඇස්තමේන්තුගතයන්ට සමාන ය.
මේ අවස්ථාවන් ද්විත්වයම සම්බන්ධයෙන් පෙන්ටගනය පවසන පරිදි, තොරතුරුවල ඇති හිස්තැන්, මෙහෙයුම්හි ආරක්ෂාව සහ බොහෝවිට දෙපාර්ශවය විසින්ම හිතාමතා සිදුකරන නොමඟයැවීමේ ප්‍රයත්නයන් නිසාවෙන්, මෙම දත්ත සම්බන්ධයෙන් එයට ඇත්තේ "අඩු විශ්වාසයකි".
සිත්ගන්නාසුළු කරුණ වන්නේ, යුක්රේනය වඩාත් ඉහළ මරණ සංඛාවක් අත්විඳිනබව පෙනෙන පරිදි ලේඛන වෙනස් කිරීමට උත්සාහ දරා තිබෙන එක් ස්ථානය මෙය වීම යි.
රුසියාවට පක්ෂ ටෙලිග්‍රෑම් අඩවියකින් මතුවූ ලේඛන අනුවාදයක, "යුද්ධයේ දී මියගිය" යුක්රේනියානුවන්ගේ සංඛ්‍යාව (16 000 - 17 500) ගෙන රුසියානු පාර්ශවයේ ගිණුමට බැරකොට තිබූ අතර, යුක්රේනියානු පාර්ශවයේ සංඛ්‍යාවන් "61 000 - 71 500" ලෙස පෙනෙන අයුරින් වෙනස්කොට තිබුණි.
මේ සියලු කාරණාවලින් අප වෙත මතුකරන පැනය වන්නේ: ලේඛන කාන්දු කළේ කවුද? ඒ ඇයි?
'ආ මෙන්න, ලීක්වෙච්ච ඩොකියුමන්ට්ස් වගයක්'
මෙම ලේඛන, 'ඩිස්කෝඩ්' නම් පණිවුඩ හුවමාරු ප්ලැට්ෆෝමයේ සිට ෆෝචෑන් වෙබ් අඩවියට සහ ටෙලිග්‍රෑම් වෙත පැමිණි අයුරු, 'බෙලින්කැට්' නම් විමර්ශනාත්මක ඕපන් සෝස් බුද්ධි සමූහයේ ඇරික් ටෝලර් විසින් ප්‍රකාශකොට තිබේ.
කාන්දුවේ ආරම්භක මූලාශ්‍රය කුමක්දැ යි හෙළිකර ගැනීමට බෙලින්කැට් තවමත් අපොහොසත් නමුත්, මාර්තුව මුල දී, පරිගණක හා අන්තර්ජාල ක්‍රීඩාවන්හි නියැලෙන්නන් අතර ජනප්‍රිය පණිවුඩ හුවමාරු ප්ලැට්ෆෝමයකින් ඒවා මතුවූ අයුරු නිරීක්ෂණයකර තිබූබව ටෝලර් පවසයි.
මාර්තු හතර වැනි දා, මයින්ක්‍රාෆ්ට් නම් පරිගණක ක්‍රීඩාවෙහි නියැලෙන්නන් නිතර එක්රැස් වන ඩිස්කෝඩ් සර්වරයක දී යුක්රේන යුද්ධය පිළිබඳව සිදුවූ විවාදයකින් පසු, "ආ මෙන්න, ලීක්වෙච්ච ඩොකියුමන්ට්ස් වගයක්" කිව් එක් පරිශීලකයෙකු ඉන් 10ක් පමණ එහි පළකර තිබුණි.
එය අසාමාන්‍ය ක්‍රියාවක් වන නමුත්, කිසිසේත්ම ලේඛන කාන්දු කිරීමේ නව හෝ විශේෂ උපක්‍රමයක් නොවේ.
2019 දී, එක්සත් රාජධානියේ මහ මැතිවරණයට ප්‍රථමව, එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය අතර වෙළඳ සබඳතා හා සබැඳි ලිපි ලේඛන රැසක් රෙඩිට්, ෆෝචෑන් සහ තවත් වෙබ් අඩවි කීපයකින් මතුවිය.
එසමයේ දී, රෙඩිට් විසින් පවසනු ලැබුවේ එම අසංශෝධිත ලේඛන රුසියානු මූලාශ්‍රයකින් පැමිණිබවකි.
පසුගිය වසරේ සිදුවූ තවත් සිද්ධියක දී, 'වෝ තන්ඩර්' නම් අන්තර්ජාල ක්‍රීඩාවෙහි ක්‍රීඩකයන් ඔවුනොවුන් අතර ඇතිවූ විවාදයකින් ජය ගැනීමේ ප්‍රයත්නයක් වශයෙන් සංවේදී හමුදාමය ලේඛන දිගින් දිගටම ප්‍රසිද්ධියේ පළකරනු ලැබුණි.
නමුත් මෙම නවතම කාන්දුවට වඩාත් සංවේදී තොරතුරු අඩංගු අතර, හානිකර බලපෑම් ද ඇතිවීමට හැකිය.
යුක්රේනය ඔවුන්ගේ "මෙහෙයුම් ආරක්ෂාව" දැඩි උනන්දුවකින් යුතුව ආරක්ෂාකර ඇති අතර, මෙවැනි තීරණාත්මක අවස්ථාවක දී මෙතරම් සංවේදී අන්තර්ගතයන් පිටතට කාන්දුවීම පිළිබඳව ප්‍රීතියෙන් පසුවනවා විය නොහැකි ය.
යුධබිමේ ගතිකත්වය වෙනස් කිරීමෙහි හා පසුව සාම සාකච්ඡා පැවැත්වීමෙහි ලා, යුක්රේනයේ වසන්ත සෘතුවේ එල්ල වෙන ප්‍රහාරය සෙලෙන්ස්කිගේ රජය සඳහා 'මියෙම්වා රැකෙම්වා' පන්නයේ අවස්ථාවක් නියෝජනය කරයි.
කියෙව්හි දී, නිලධාරීන් රුසියාව විසින් සිදුකරනවා විය හැකි දුස්තොරතුරු ව්‍යාපාරයක් පිළිබඳව ද සාකච්ඡාකොට තිබේ.
හමුදා කටයුතු සම්බන්ධයෙන් ලියන අනෙකුත් බ්ලොග්කරුවන් යෝජනා කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ යමකි: ඒ, මේ සියල්ල රුසියානු අණදෙන නිලධාරීන් නොමඟ යැවීම සඳහා බටහිරින් සිදුකරන කුමන්ත්‍රණයක්බව යි.
නමුත් තීරණාත්මක ලෙස, යුක්රේන ප්‍රතිප්‍රහාරයක් දෙසට අවධානය යොමුකරන කිසිවක් මෙතෙක් කාන්දුවූ ලේඛනවල නැත.
රුසියානු රජයේ බුද්ධි අංශයන්හි අසාර්ථකත්වය පෙන්නන සාක්ෂි යුද්ධය පුරා මතුවුව ද, යුක්රේනයේ පෙර-සූදානමේ පරිමාණය පිළිබඳ හොඳ අදහසක් දැනටමත් රුසියානු රජය සතුව තිබිය යුතු ය. නමුත්, යුක්රේනයට සිය සාර්ථකත්වයේ අවස්ථාවන් උපරිමකර ගැනීමට අවශ්‍ය නම්, සතුරාට තම ඉදිරි පියවර අනුමාන කිරීමට සිදුවන තැනට පත්කිරීමට සිදුවේ.
අතිරේක වාර්තාකරණය බෙනඩික්ට් ගාමන් සහ ඔල්ගා රොබින්සන් විසිනි.