එක්සත් ජනපදය වියට්නාම යුද්ධයෙන් පරාජයවීමට හේතු 7ක්

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, එක්සත් ජනපදය ලොව ප්‍රමුඛතම ආර්ථික බලවතා ය යන්න අවිවාදිත විය. එනිසා සිය හමුදා බලය ද ඒ හා සමානව 'සර්වබලධාරී' බව එය විශ්වාස කළේ ය.

එනමුත්, යුද්ධයට මුදල් හා මිනිස් බලය අතින් විශාල සම්පත් ප්‍රමාණයක් යොදවමින්, අවම වශයෙන් අට වසරක් සටන් කිරීමෙන් පසුව ද, උතුරු වියට්නාමයේ හමුදාවන් හා ඔවුන්ගේ සගයින් වූ වියෙට් කොං ගරිල්ලාවරුන් හමුවේ එක්සත් ජනපදය අන්ත පරාජයක් අත්කර ගත්තේ ය.

එක්සත් ජනපදය අවසන් වරට සිය භට පිරිස් වියට්නාමයෙන් ඉවත්කර ගැනීමේ 50 වැනි සංවත්සරයේ දී (1973 මාර්තු 29), එක්සත් ජනපදය වියට්නාම් යුද්ධයේ දී පරාජය පත්වූයේ කෙසේදැ යි අපි විශේෂඥයින් සහ විද්වතුන් දෙදෙනෙකුගෙන් විමසීමු.

එය සීතල යුද්ධයේ උච්චතම සමය වූ අතර, කොමියුනිස්ට්වාදී හා ධනවාදී ලෝක බලවත්තු එකිනෙකාට එරෙහි සටනක නියැලී උන්හ.

දෙවැනි ලෝක යුද්ධය නිසාවෙන් බංකොලොත්ව සිටි ප්‍රංශය එහි ඉන්දුචීන යටත්විජිතයේ (වියට්නාමය, ලාඕසය සහ කාම්බෝජය) බලය රැක ගැනීමට උත්සාහකර අසාර්ථක විය. එසේම, ඒ වන විට සාම සමුළුවක් මඟින් (වත්මන්) වියට්නාමය කොමියුනිස්ට්වාදී උතුරක් හා එක්සත් ජනපද-ගැති දකුණක් වශයෙන් බෙදා වෙන්කර තිබුණි.

නමුත් ප්‍රංශයේ පරාජය වියට්නාමයේ ගැටුම අවසන් නොකළ අතර, වියට්නාමය මුළුමනින්ම කොමියුනිස්ට් රාජ්‍යයක්බවට පත්වුවහොත් අවට රටවල් ද කොමියුනිස්ට්වාදී වනු ඇතැ යි බියවූ එක්සත් ජනපදය, මිලියන ගණනකගේ ජීවිත අහිමි කරමින් දශකයක කාලයක් පවතිනු ඇති යුද්ධයකට ඇදී ගියේ ය.

ඉතින්, ලොව ප්‍රමුඛතම හමුදා බලවතා දරිද්‍ර අග්නිදිග ආසියාතික රටක අලුතින් පිහිටුවන ලද රාජ්‍යයක් හා කැරැල්ලක් ඉදිරියේ යුද්ධයෙන් පරාජයවූයේ කෙසේ ද? ඒ සම්බන්ධ සාමාන්‍ය පැහැදිලි කිරීම් කිහිපයක් ගැන විශේෂඥයින් දෙදෙනෙකු පැවසූ දෙය යි මේ.

යුද කටයුත්ත පමණට වඩා දැවැන්තවිය

ලෝකයේ අනෙක්පස පිහිටි රටකට ගොස් යුද වැදීම සැබැවින්ම බරපතල කටයුත්තක් විය.

යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී එක්සත් ජනපදයට වියට්නාමය තුළ භටයින් මිලියන භාගයක් පමණ සිටියේ ය.

මෙහි වියදම ද අති දැවැන්ත විය - 2008 වසරේ දී එක්සත් ජනපදයේ කොංග්‍රස වාර්තාවකින් ඇස්තමේන්තු කළේ එකල මෙහි මුළු වියදම ඩොලර් බිලියන 686ක්ව තිබී ඇතිබව ය (වත්මන් මුදලින් ඩොලර් බිලියන 950කට වැඩි ය).

නමුත් එක්සත් ජනපදය දෙවන ලෝක යුද්ධයට වියදම් කළ මුදල මෙන් හතර ගුණයකට වඩා වියදම් කිරීමට සමත්වූ අතර, ඒ ආසන්න කාලයේ දී කොරියාවේ දිගුදුර යුද්ධයක සටන්කර තිබූ නිසා ආත්ම විශ්වාසයේ අඩුවක් ද නොවීය.

එක්සත් ජනපදයේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිය සම්බන්ධ විද්වතෙකු වන, එක්සත් රාජධානියේ සාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලයයේ ආචාර්ය ලූක් මිඩප් පවසන්නේ, යුද්ධයේ මුල් වසරවල දී සාමාන්‍යයෙන් සුබවාදී හැඟීමක් පැවැතිබව යි.

"මේක මුළු වියට්නාම යුද්ධයම සනිටුහන් කරන ඉතාම අමුතු දෙයක්," ඔහු බීබීසීය වෙත පැවසීය. "එක්සත් ජනපදය බොහෝ ගැටලු ගැන හොඳින්ම දැනගෙන සිටියා - එක්සත් ජනපදයේ හමුදාවට එම පරිසරය තුළ ක්‍රියා කරන්නට හැකි ද යන්න සම්බන්ධයෙන් බොහෝ සැක පැවතුණා. නමුත් 1968 දක්වාම එක්සත් ජනපද රජය විශ්වාසයෙන් හිටියා ඔවුන් අවසානයේ ජයග්‍රහණය කරයි කියලා."

එනමුත් එම විශ්වාසය හීනවී ගිය අතර (විශේෂයෙන්ම, 1968 ජනවාරියේ දී කොමියුනිස්ට්වරුන්ගේ තේත් ප්‍රහාරයෙන් [Tet offensive] එම විශ්වාසයට හානි සිදුවිය), ක්‍රමයෙන් යුද්ධයේ වියදම් සඳහා ගෙවීමට කොංග්‍රසයේ සහාය නැතිවී ගියෙන්, 1973 දී සටන් බලඇණි නැවත සියරටට කැඳවීමට එක්සත් ජනපදයට සිදුවිය.

කෙසේ වෙතත්, ආචාර්ය මිඩප් මෙන්ම අපගේ දෙවැනි විශේෂඥයා වන, එක්සත් ජනපදයේ ඔරිගන් විශ්වවිද්‍යාලයයේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, මහාචාර්ය තුවොං වූ ද ප්‍රශ්න කරන්නේ එක්සත් ජනපදයේ සටන් බලඇණි කිසිසේත්ම වියට්නාමයට යා යුතුව තිබුණේ ද යන්න යි.

එක්සත් ජනපද හමුදාවන් එවැනි සටන් සඳහා නුසුදුසුවිය

තරුණ එක්සත් ජනපද භටයින් වනගත පරිසරයකට හැඩගැසීමට අරගල කරනා අතරේ, වියට් කොං ගරිල්ලන් බලාපොරොත්තු නොවන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා වනාන්තරයේ ඝන යටිවැස්ම හරහා දක්ෂ ලෙස සැරිසරන අයුරු හොලිවුඩ් චිත්‍රපටවල නිතර නිරූපණය කරයි.

"එක්සත් ජනපදයට සටන් කරන්නට සිද්ධවුණු ඇතැම් පරිසර තත්ත්වයන්වල දී සටන් කිරීමේ දී ඕනෑම විශාල හමුදාවකට ගැටලුවලට මුහුණදෙන්න සිද්ධවෙන්න පුළුවන්," ආචාර්ය මිඩප් පිළිගනියි.

"ගිනිකොණදිග ආසියාවේ දී හමුවෙන ඉතාම ඝන අන්දමේ වනාන්තරයක් එහි ඇතැම් ප්‍රදේශවල තිබුණා."

එහෙත්, දෙපාර්ශවය අතර තිබූ නිපුණතාවේ වෙනස අතිශයෝක්තියකට නගා තිබෙනවා විය හැකියැ යි ඔහු පවසයි.

"යුද්ධෙ කාලෙ හැදිච්ච මිත්‍යාවක් තිබ්බා එක්සත් ජනපද හමුදාවට ඒ පරිසරයට හැඩගැහෙන්න බැහැ කියලත්, උතුරු වියට්නාම සහ වියට් කොං ගරිල්ලන් [ඒ පරිසරයට] පුරුදුවෙලා හිටියා කියලත් - ඒක කිසිසේත්ම ඇත්තක් නෙවෙයි," ඔහු පවසයි.

"උතුරු වියට්නාම හමුදාවට සහ වියට් කොං ගරිල්ලන්ටත් ඒ පරිසරයේ සටන් කරන එක ඉතාම අපහසු කටයුත්තක් වුණා."

ආචාර්ය මිඩප්ට අනුව, මෙහිදී වඩාත් වැදගත් කාරණාව වන්නේ, සටනක් පැවැත්වෙන වේලාව සහ ස්ථානය නොවරදවාම තෝරාගත්තේ කැරලිකරුවන් වීමය. ලාඕසයේ සහ කාම්බෝජයේ දේශසීමා හරහා ආරක්ෂිත ස්ථානයක් වෙත පසුබැසීමට ඔවුන්ට හැකිවිය. දේශසීමා හරහා ඔවුන් ලුහුබැඳීම එක්සත් ජනපද හමුදාවට සාමාන්‍යයෙන් තහනම්විය.

මහාචාර්ය වූට අනුව නම්, එක්සත් ජනපදයේ පරාජයට හේතුවූයේ ඔවුන් වියට් කොං ගරිල්ලන් සමග සටන් කිරීමට අවධානය යොමුකර තිබීමය.

"දකුණේ කැරැල්ලට සයිගොන් (එකල දකුණු වියට්නාමයේ අගනුවර) පරාජය කරන්න කිසිදා නොහැකිවෙන්න තිබුණා," ඔහු බීබීසීයට පැවසුවේ ය. නමුත් මේ උපායමාර්ගික දෝෂය නිසාවෙන් උතුරු වියට්නාමයේ නිත්‍ය භට ඛණ්ඩයන්ට දකුණු වියට්නාමයට ඇතුළුවීමට ඉඩ සැලසුණු අතර, යුද්ධය ජයග්‍රහණය කළේ එම ආක්‍රමණික බලවේගයන්බව ඔහු ප්‍රකාශ කරයි.

එක්සත් ජනපදය සියරට තුළ දී යුද්ධයෙන් පරාජයට පත්විය

මෙම ගැටුම නිතර "පළමු රූපවාහිනී යුද්ධය" ලෙස හැඳින්වෙන අතර, එයට ලැබුණු මාධ්‍ය ආවරණය පෙර නොවූ විරූ තරම්විය.

1966 වන විට එක්සත් ජනපදයේ පවුල්වලින් 93%කට රූපවාහිනී යන්ත්‍රයක් තිබූබව එක්සත් ජනපදයේ ජාතික ලේඛනාගාරය ඇස්තමේන්තුකර තිබේ. එකල එක්සත් ජනපදවැසියන් නරඹමින් සිටි යුද්ධයේ දර්ශන පෙර ගැටුම්වල දී සිදුවූවාට වඩා අඩු වාරණයන්ට ලක්වූ, අප්‍රමාදව විකාශය කළ දර්ශන විය.

තේත් ප්‍රහාරය අතරතුරේ සයිගොන්හි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාල භූමිය වටා සිදුවූ සටන්හි දර්ශනයන් අතිප්‍රබල වූයේ එබැවිනි. වියට් කොංවරුන් දකුණු වියට්නාම රජයේ හදවත දක්වාම (හා එක්සත් ජනපදයේ පොදු ජනයාගේ විසිත්ත කාමර දක්වා) අර්බුදය ගෙනඒමට සමත්වූබව එක්සත් ජනපදයේ ප්‍රේක්ෂකයෝ තත්‍යකාලීනව දුටුවහ.

1968 සිට, යුද්ධය හා සබැඳි මාධ්‍ය ආවරණය යුද්ධයට බොහෝ දුරට අහිතකර විය - අහිංසක සිවිල් වැසියන් ඝාතනය කෙරෙනු, ආබාධිත කෙරෙනු හා වධයට ලක්කෙරෙනු දැක්වෙන පින්තූර රූපවාහිනී හා පුවත්පත් හරහා ප්‍රසිද්ධ කෙරුණු අතර, ඉන් භීතියට පත් බොහෝ ඇමරිකානුවෝ යුද්ධයට එරෙහි පාර්ශවයට එක්වූහ.

එක්සත් ජනපදය තුළ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පැන නැගුණු අතර රට පුරා දැවැන්ත උද්ඝෝෂණ පැවැත්විණි.

1970 මැයි 4 දා පැවති එවැනි එක් උද්ඝෝෂණයක දී, ඔහායෝහි කෙන්ට් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ සාමකාමී ශිෂ්‍ය විරෝධතාකරුවන් සිව්දෙනෙකු ජාතික ආරක්ෂක භටයින් විසින් වෙඩි තබා ඝාතනය කරන්නට යෙදිණි.

"කෙන්ට් ප්‍රාන්ත සමූහඝාතනය" මඟින් සිදුවූයේ තවත් රටවැසියන් පිරිසක් යුද්ධයට එරෙහිවීමට යොමුකිරීම පමණි.

මහජනයාගේ අප්‍රියතාව මැද තරුණයින් බලහත්කාරයෙන් හමුදාවට බඳවාගැනීම ('අනිවාර්ය යුද සේවය' ලෙස හැඳින්විය) මෙන්ම, වියට්නාමයේ සිට ගෙන ආ එක්සත් ජනපද භටයින්ගේ මිනී පෙට්ටිවල පින්තූර මහජන චිත්ත ධෛර්යය කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කළේ ය - මෙම යුද්ධයේ දී එක්සත් ජනපද භටයින් 58 000ක් පමණ එක්කෝ මියගියේ ය; නැතිනම් අතුරුදහන්විය.

මහාචාර්ය වූට අනුව මෙය උතුරු වියට්නාමයට විශාල වාසියක් විණි: ඔවුන්ගේ හමුදාවන්ට සිදුවූ හානිය සාපේක්ෂව අති විශාලවුව ද, මාධ්‍ය මත පූර්ණ පාලනයක් සහ තොරතුරු පිළිබඳ ඒකාධිකාරයක් ඔවුන්ගේ ඒකාධිපති රාජ්‍යය සතුවිය.

"කොමියුනිස්ට්වාදීන් සිදුකළ තරමට, මහජන මතය හැඩගස්වන්නට හැකියාවක් හෝ උවමනාවක් එක්සත් ජනපදයට හෝ දකුණු වියට්නාමයට තිබුණෙ නැහැ," ඔහු කියයි. "[කොමියුනිස්ට්වාදීන්ට] දැවැන්ත දේශපාලන ප්‍රචාරක ක්‍රමයක් තිබුණා. ඔවුන් දේශසීමා වහලා, විසම්මුතීන් යටපත් කළා. යුද්ධයට විරුද්ධ වූ ඕනෑම කෙනෙක්ව හිරේට යැව්වා."

දකුණු වියට්නාමයේ හදවත් සහ මනස දිනාගැනීම සඳහාවූ සටනෙන් එක්සත් ජනපදය පරාජයවිය

වියට්නාම යුද්ධය අතිශය ම්ලේච්ඡ ගැටුමක්වූ අතර, එක්සත් ජනපදය දැවැන්ත පරාසයක බිහිසුණු ආයුධ භාවිතා කළේ ය.

නේපාම් (ගෑවෙන ඕනෑම දෙයකට ඇලෙන, සෙල්සියස් අංශක 2700ක උෂ්ණත්වයකින් ඇවිලෙන ඛණිජ-රසායනික ගිනි අවුලවනසුළු ද්‍රව්‍යයක්) සහ ඒජන්ට් ඔරේන්ජ් (සතුරාගේ වන ආවරණය විනාශ කිරීමට යොදාගත් නමුත්, වගාබෝග ද විනාශකර සාගතය ඇතිකළ රසායනික ද්‍රව්‍යයක්) යන රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම, ග්‍රාමීය ජනතාව අතර එක්සත් ජනපදය කෙරෙහිවූ හැඟීමට සෘණාත්මක බලපෑම් ඇතිකරන්නට සමත්විය.

"සොයා විනාශකර දමනු" පන්නයේ මෙහෙයුම් විසින් නොගැණිය හැකි තරම් අහිංසක සිවිල් වැසියන් සංඛ්‍යාවක් මරා දැමීය. 1968 දී සිදුකළ 'මී ලායි සමූහඝාතනය' එවැන්නකි. එක්සත් ජනපදයේ භටයින් වියට්නාම සිවිල් වැසියන් සියගණනක් ඝාතනය කළ, වියට්නාම් යුද්ධයේ අති කුප්‍රකට සිදුවීම යි ඒ.

මේ සිවිල් මරණ සංඛ්‍යාව විසින්, වියට් කොංවරුන්ට සහාය දැක්වීමට විශේෂ නැඹුරුවක් නොපෙන්වූ ප්‍රාදේශීය ජනගහණය දුරස් කළේ ය.

"දකුණු වියට්නාමෙ මිනිස්සුන්ගෙන් බහුතරයක්, ඇත්තෙන්ම කොමියුනිස්ට්වාදයට කැපවුණු අය නෙවේනේ - ගොඩක් මිනිස්සුන්ට ඕනෑ වුණේ සාමාන්‍ය විදියට තමන්ගෙ ජීවිතේ ගෙවන්න යි, පුළුවන් තරමින් යුද්ධයෙන් ඈත්වෙලා ඉන්න යි," ආචාර්ය මිඩප් ප්‍රකාශ කරයි.

එක්සත් ජනපදයට හදවත් හා මනස් දිනාගැනීම දුෂ්කරවූබවට මහාචාර්ය වූ එකඟ වෙයි.

"විදේශීය හමුදාවකට මිනිස්සු සතුටු කරන එක හරිම අමාරු යි - ඔබ හැමවිමට අපේක්ෂා කරන්නේ [විදේශීය හමුදාවකට] ලොකු ආදරයක් දිනාගන්න බැහැ කියන එක යි," ඔහු පවසයි.

කොමියුනිස්ට්වාදීන්ට වඩාත් හොඳ චිත්ත ධෛර්යයක් තිබීය

ආචාර්ය මිඩප් විශ්වාස කරන්නේ, පොදුවේ, දකුණු වියට්නාම පාර්ශවයෙන් අනිවාර්ය යුද සේවයට බඳවාගත් පුද්ගලයින්ට වඩා, කොමියුනිස්ට් පාර්ශවය සඳහා සටන් කිරීමට එක්වූ පුද්ගලයින් ජයග්‍රහණ සඳහා වැඩි වශයෙන් කැපවී සිටිබව යි.

"යුද්ධය අතරතුරේ එක්සත් ජනපදය සිදුකළ අධ්‍යයනයන් තියෙනවා, බොහෝ වරක් කොමියුනිස්ට් සිරකරුවන්ගෙන් ප්‍රශ්න කළබව තහවුරු කරන විදියේ," ඔහු පවසයි.

"උතුරු වියට්නාම වැසියන් සහ වියට් කොං ගරිල්ලන් සටන් කළේ ඇයි ද කියලා සොයාබලන අභිප්‍රේරණය සහ චිත්ත ධෛර්යය පිළිබඳ අධ්‍යයනයන් එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් වගේම රෑන්ඩ් සමායතනයෙන් (එක්සත් ජනපද හමුදාව හා බැඳි බුද්ධි මණ්ඩලයක්) සිදුකරලා තියෙනවා. ඔවුන් දෙපිරිසම ඒකමතිකව පැමිණි නිගමනය තමයි, [උතුරු වියට්නාම වැසියන් සහ වියට් කොං ගරිල්ලන්] සටනට පෙළඹුණේ තමන් කරන කාරිය දේශප්‍රේමී කටයුත්තක් විදියට දුටු නිසා කියලා. ඒ කිව්වේ, තනි රජයක් යටතේ තමන්ගේ රට එක්සත් කිරීමේ අරමුණක් තිබුණු නිසා."

අතිවිශාල ජීවිත හානි මධ්‍යයේවුව ද ඉදිරියට යෑම සඳහා කොමියුනිස්ට් බලවේග සතුව තිබූ හැකියාව ද, ඇතැම්විට ඔවුන්ගේ චිත්ත ධෛර්යයේ බලවත්කම පිළිබඳ සාක්ෂි සපයනවා විය හැකි ය.

එක්සත් ජනපද නායකත්වය මරණ සංඛ්‍යාව පිළිබඳ අදහසින් උමතුවී සිටියේ ය. සතුරාට සිය භට පිරිස් ප්‍රතිස්ථාපනය කිරීමට හැකිවාට වඩා වේගයෙන් සතුරා මරාදැමීමට තමන්ට හැකි නම්, සටන් කිරීමට ඇති කැමැත්ත කොමියුනිස්ට්වාදීන්ගෙන් ගිලිහී යනු ඇතැ යි ඔවුහු විශ්වාස කළහ.

යුද්ධය අතරේ උතුරු වියට්නාම හා වියට් කොං සටන්කාමීන් 1 100 000ක් (ලක්ෂ 11ක්) ඝාතනයවුව ද, යුද්ධය අවසන්වන තුරුම අහිමිවූ භට පිරිස් ප්‍රතිස්ථාපනය කිරීමට කොමියුනිස්ට්වාදීන්ට හැකිවිය.

උතුරු වියට්නාම සටන්කාමීට වඩාත් හොඳ චිත්ත ධෛර්යයක් තිබියේදැ යි මහාචාර්ය වූට විශ්වාස නැතත්, උතුරේ හමුදාවන් ලද ඉගැන්වීම ඔවුන් "දැඩි සටන්කාමීන්බවට" පත්කළබව ඔහු පිළිගනියි.

"තමන්ගේ අභිප්‍රාය සම්බන්ධයෙන් ජනතා විශ්වාසයක් ඇතිකරන්න ඔවුන්ට හැකිවුණා. දේශපාලන ප්‍රචාරණ සහ අධ්‍යාපන ක්‍රමයන්ට ස්තුතිවෙන්න, මිනිස්සුන්ව උණ්ඩවලට හරවන්න ඔවුන්ට පුළුවන් වුණා."

දකුණු වියට්නාම රජය කුප්‍රකට හා දූෂිතවිය

දකුණ මුහුණදුන් තීරණාත්මක ගැටලුව ලෙස ආචාර්ය මිඩප් දකින්නේ, විශ්වසනීයත්වයේ ඌණබව සහ පැරණි යටත්විජිත බලයක් සමග පැවැති සම්බන්ධය යි.

"උතුරු හා දකුණු වියට්නාමය අතරෙ තිබ්බ බෙදීම හැමවිටම කෘත්‍රිමව යි තිබුණෙ. ඒ බෙදීම ගෙනාවෙ සීතල යුද්ධයෙන්," වග ඔහු පවසන්නේ, "වියට්නාමය රටවල් දෙකකට බෙදන්න කිසිම සංස්කෘතික, වාර්ගික හෝ භාෂාමය හේතුවක් තිබුණේ නැහැ,"යි ද පවසමිනි.

දකුණ ආධිපත්‍යය, ආගමික සුළුතරයක් වූ කතෝලිකයන් අතට පත්වූබව ඔහු විශ්වාස කරයි.

මේ ආගමික කණ්ඩායම එකල ජනගහණයෙන් 10% - 15% අතර පිරිසක් පමණක් නියෝජනය කළ ද (වියට්නාමය බහුලවම බෞද්ධ රාජ්‍යයකි), උතුරේ බොහෝදෙනෙකු හිංසාවන්ට බියෙන් දකුණට පළාගොස් තිබූ අතර, එය, ආචාර්ය මිඩප් විසින් දකුණේ දේශපාලනයේ "විවේචනාත්මක ජනකායක්" ලෙස හඳුන්වන දෙය නිර්මාණය කළේ ය. දකුණේ පළමු ජනාධිපති වූ ඞො ඩින් ඩීන් සේම දකුණේ දේශපාලනඥයන්ට ද, ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි වැනි එක්සත් ජනපදයේ බලවත් කතෝලික මිතුරන් සිටියේ ය.

ආගමික සුළුතරයක ආධිපත්‍යය "අති බහුතරයක් වූ බෞද්ධ ජනගහණය අතර දකුණු වියට්නාම රාජ්‍යය ගැන අප්‍රසාදයක් ඇතිකළා," ආචාර්ය මිඩප් කියයි.

මෙය නීත්‍යානුකූලභාවයේ අර්බුදයකට තුඩුදුන්බව ද, බහුතරයක් වියට්නාම ජාතිකයින් විසින් එම රජය විදේශීය ආනයනයක් හා ප්‍රංශ යටත්විජිතවාදයේ උරුමයක් (බොහෝ කතෝලිකයන් ප්‍රංශ ජාතිකයන්ගේ පාර්ශවය සඳහා සටන්කර තිබුණි) ලෙස සැලකුණුබව ද ඔහු විශ්වාස කරයි.

"ඇමෙරිකන් භටයින් මිලියන භාගයක් ඇවිත් හිටපු එකම, ඒ ආණ්ඩුව හිතන්න පුළුවන් හැම ආකාරයෙන්ම විදේශිකයන් මත විශ්වාසය තබා තිබූබව ඉස්මතුකර පෙන්නුවා," ආචාර්ය මිඩප් වැඩිදුරටත් පවසයි. "දකුණු වියට්නාමය කියන්නේ, [ඒ වෙනුවෙන්] සටන්කරලා මැරෙන එක වටිනවා කියලා විශාල පිරිසකට ඒත්තු ගන්වන්න පුළුවන්වුණු දේශපාලන ව්‍යාපෘතියක් නෙවෙයි."

දූෂණයෙන් පිරුණු තැනැක් ලෙස ඔහු විසින් විස්තර කෙරෙන රාජ්‍යයකට මුක්කු ගැසීම සඳහා, එක්සත් ජනපද හමුදාවන් කිසිසේත්ම එවිය යුතුව තිබුණේ ද යන ප්‍රශ්නය මින් මතු කරනබව ඔහු පවසයි.

"එහි ආරම්භයේ පටන් විනාශය දක්වාම [වියට්නාම ජනරජය] අදහන්න බැරි තරම් දූෂිත රාජ්‍යයක් වෙලා තිබුණා. 1960 - 1975 අතරෙදි විශාල වශයෙන් ලැබුණු එක්සත් ජනපද ආධාරවලින් ඒකෙ තත්ත්වෙ වඩාත් නරක අතට හැරුනා - ඒ මුදල් දකුණු වියට්නාම ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඇදකරලා දැම්මා," ඔහු පවසයි.

"ඒකෙන් මූලිකවම අදහස්වෙන්නේ, අල්ලස් නොගෙවා හමුදාවේ හෝ සිවිල් හෝ කිසිම තනතුරක් ගන්න කිසිම කෙනෙකුට බැරිවුණා කියන එක." මෙය සන්නද්ධ හමුදාවන්ට බරපතල ප්‍රතිවිපාක ඇති කළබව ඔහු විශ්වාස කරයි.

"මේකෙ තේරුම වුණේ, එක්සත් ජනපදයට කවදාවත් විශ්වසනීය, දක්ෂ දකුණු වියට්නාම හමුදාවක් හදන්න බැරිවුණ එක," ඔහු කියයි.

"ඉතින් හැමවිටම නොවැළැක්විය හැකි දෙයක් වුණේ - එක්සත් ජනපද ජනාධිපති රිචර්ඩ් නික්සනුත් මේක නොවැළැක්විය හැකි දෙයක් විදියට පිළිගත්තා - එක්සත් ජනපද හමුදාවන් අනාගතේ කවදාහෝ දවසක පිටවෙලා ගියාට පස්සෙ, දකුණු වියට්නාම රාජ්‍යය කඩා වැටෙනවා කියන එක."

උතුර මුහුණනොදුන් සීමාවන්ට එක්සත් ජනපදය සහ දකුණු වියට්නාමය මුහුණදුනි

නමුත් දකුණේ පරාජය නොවැළැක්විය හැකි එකක්බවට මහාචාර්ය වූ එකඟ නොවන අතර, වියට්නාමය පිළිබඳ එක්සත් ජනපද පාණ්ඩිත්‍යය සාමාන්‍ය පරිදිම නිදහසට කරුණු සොයනබව ඔහුට හැඟෙයි.

"ඔවුන්ට ඕනේ පරාජය සම්බන්ධයෙන් කාට හෝ වරද පටවන්න. වරද පටවන්න ලේසිම දකුණු වියට්නාම වැසියන්ට," ඔහු පවසන්නේ, එක්සත් ජනපද වාර්තාවන් මඟින් දූෂණය සහ කතෝලිකයන්ට අනුග්‍රහ දැක්වීම පිළිබඳ විවේචන අතිශයෝක්තියට නංවා ඇතිබැව් ද සඳහන් කරමිනි.

"සෑහෙන තරමෙ දූෂණයක් [දකුණු වියට්නාමයේ] තිබුණා, නමුත් යුද්ධයක් පැරදෙන්න තරම් ඒක බලවත් වුණේ නැහැ. ඒ නිසාවෙන් බොහෝ අකාර්යක්ෂමතාවන්, අකාර්යක්ෂම හමුදා ඒකක නිර්මාණය වුණාට, සමස්තයක් වශයෙන් දකුණු වියට්නාම හමුදාව ඉතා හොඳින් සටන් කළා," ඔහු තර්ක කරයි.

යුද්ධයේ දී දකුණු වියට්නාමයට 200 000ත් 250 000ත් අතර භට පිරිසක් අහිමිවිය. මහාචාර්ය වූ විශ්වාස කරන්නේ, එක්සත් ජනපදයේ ආයුධ සහ අරමුදල්වලින් වුව තමා විසින්ම සියලු සටන් සිදුකිරීම දකුණට වඩාත් යහපත්වන්නට තිබූබව යි.

මහාචාර්ය වූට අනුව, අවසානයේ දී තීරණාත්මක සාධකයවූයේ, ඉතා දිගු කාලයක් පරිපූර්ණ යුධමය පදනමක සිටීමට උතුර සතුවූ හැකියාව යි - එය, වඩාත් ලිබරල්වාදී දකුණට සිදුකරන්නට නොහැකිවූ උත්සාහයන්හි සංකේන්ද්‍රණයකි.

දේශපාලන ක්‍රමයේ ස්වභාවය නිසාවෙන්, මහජනයා යුද්ධය ගැන විශ්වාසය තැබූ අතර මරණ ගැන දැන සිටියේ අඩුවෙනි.

"කොමියුනිස්ට්වාදියො කරපු විදියට මහජන මතය හැඩගස්වන්න එක්සත් ජනපදයට හෝ දකුණු වියට්නාමයට පුළුවන්වුණේ නැහැ," මහාචාර්ය වූ පවසයි.

"මිනිස් බලය මහා පරිමාණයෙන් අහිමිවෙලා හිටපු විටත් බලමුළු ගැන්වීමේ හැකියාව ඔවුන්ට තිබුණා,"යි ඔහු සඳහන් කරන්නේ, එනිසා මරාගෙන මැරෙන 'මිනිස් ප්‍රවාහය' වැනි හමුදාමය උපක්‍රම උතුර සතුවුවත්, දකුණට එවැන්නක් නොතිබූබව ද පවසමිනි.

එක්සත් ජනපදය දකුණට දුන් සහයෝගය මෙන් නොව, සෝවියට් සමූහාණ්ඩුව සහ චීනය උතුරට ලබාදුන් මූල්‍යමය හා හමුදාමය සහාය ද තීරණාත්මක අයුරින් නොසැලී පැවැතිබව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.