කෙනඩි ඝාතනය හා සබැඳි සංස්කරණය නොකළ රජයේ ලිපිගොනු දහස් ගණනක් නිකුත්වෙයි

අමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි (JFK) ඝාතනය සම්බන්ධ ලිපිගොනු දහස් ගණනක් සම්පූර්ණයෙන් නිකුත් කරන ලෙස ධවල මන්දිරය ප්‍රථම වරට නියෝගකර තිබේ.

ලිපිගොනු 13 173ක් පමණ අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කිරීම සමගින් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබෙන්නේ එම එකතුවේ ඇති වාර්තාවලින් 97%කට වඩා ප්‍රසිද්ධකර ඇතිබව යි.

එම ලියවිලිවලින් විශාල හෙළිදරව් කිරීම් බලාපොරොත්තු නොවන නමුත්, ඝාතකයායැ යි කියනු ලබන පුද්ගලයා පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට ඉතිහාසඥයෝ බලාපොරොත්තු වෙති.

1963 දී, එක්සත් ජනපදයේ ටෙක්සස් ප්‍රාන්තයේ ඩලස් ප්‍රදේශයේ සංචාරයක් අතරතුර දී කෙනඩි ස්නයිපර් වෙඩි ප්‍රහාරයකට ලක්විය.

1992 නීතියකට අනුව 2017 ඔක්තෝබර් වන විට ඝාතනය පිළිබඳ සියලු ලිපිගොනු රජය විසින් නිකුත්කළ යුතුව තිබුණි.

බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 15) , ජනාධිපති ජෝ බයිඩන් මෙම නවතම හෙළිදරව්ව සිදුකිරීමට බලය ලබා දෙමින් විධායක නියෝගයක් නිකුත්කළේ ය.

නමුත් "හඳුනාගත හැකි හානි" වියහැකියාව නිසා ආරක්ෂා පිණිස, ඇතැම් ලිපිගොනු 2023 ජුනි මාසය දක්වා වසන් කරන බව ඔහු පවසා ඇත.

එක්සත් ජනපද ජාතික ලේඛනාගාරය පවසන්නේ ලේඛන 515ක් සම්පූර්ණයෙන් වසන්කර ඇතිබවත්, තවත් ලේඛන 2 545ක් අර්ධ වශයෙන් වසන්කර ඇතිබවත් ය.

කෙනඩි ඝාතනය කළේ, මීට පෙර සෝවියට් සමූහාණ්ඩුවේ ජීවත්වූ එක්සත් ජනපද පුරවැසියෙකු වූ ලී හාවි ඔස්වල්ඩ් විසින් බවත්, ඔහු තනිවම ක්‍රියාකළ බවත් 1964 දී වොරන් කොමිසම නම් එක්සත් ජනපද පරීක්ෂණයකින් සොයාගැනිණි. ඔහු අත්අඩංගුවට ගෙන දින දෙකකට පසු ඩලස් පොලිස් මූලස්ථානයේ පහළම මහල තුළ දී ඝාතනය කර තිබුණි.

ජෝන් එෆ්. කෙනඩිගේ මරණය හේතුවෙන්, දශක ගණනාවක් පවතින කුමන්ත්‍රණ සිද්ධාන්ත මතුවුව ද, බ්‍රහස්පතින්දා CIA ප්‍රකාශකළේ එක්සත් ජනපද ඔත්තු සේවා ඒජන්සිය කිසි විටෙකත් ඔස්වල්ඩ් සමග "සම්බන්ධ නොවූ" බවත්, ඔහු පිළිබඳ තොරතුරු එක්සත් ජනපද පරීක්ෂණයෙන් වසන් නොකළ බවත් ය.

ඔස්වල්ඩ් 1963 ඔක්තෝම්බර් මාසයේ මෙක්සිකෝ සිටි නගරයේ දී සෝවියට් KGB නිලධාරියෙකු හමුවීම පිළිබඳ වැඩි විස්තර නවතම නිකුතුව මඟින් හෙළිකරනු ඇතැ යි දිගුකාලීන JFK විද්වතුන් සහ න්‍යායවාදීන් බලාපොරොත්තු වේ.

මෙක්සිකෝ සිටි වෙත ගිය ඔහුගේ සංචාරයට අදාළව ඒජන්සිය සතුව ඇති සියලුම තොරතුරු මීට පෙර නිකුත් කර ඇති බවත්, "2022 නිකුතුවේ මෙම මාතෘකාව පිළිබඳ නව තොරතුරු කිසිවක් නොමැති" බවත්, ආසන්නතම CIA ප්‍රකාශයේ සඳහන් වෙයි.

නමුත් එම ලිපිගොනු නිදහස් කරන ලෙස ඉල්ලා රජයට එරෙහිව නඩු පැවරූ ලාභ නොලබන ආයතනයක් වන මේරි ෆෙරෙල් පදනමේ පර්යේෂකයන් පවසන්නේ, CIA විසින් ඔස්වල්ඩ් මෙක්සිකෝවේ ගතකළ කාලය පිළිබඳ තොරතුරු වසන් කරන බව යි.

ඇතැම් CIA වාර්තා කිසි විටෙක ලේඛනාගාරයට ඉදිරිපත් නොකළ බැවින්, ඒවා මෙවර නිකුත් කළ ලිපිගොනුවල අඩංගු නොවන බව එම පදනම පැවසීය.

අලුතින් හෙළිදරව් කරන ලද එක් ලේඛනයකින් පෙන්නුම් කරන්නේ, මෙක්සිකෝවේ ජනාධිපතිවරයා විසින් මෙක්සිකෝ රජයේ අනෙකුත් නිලධාරීන්ගේ අනුදැනුමකින් තොරව මෙක්සිකෝවේ සෝවියට් තානාපති කාර්යාලයය තුළ (ඔත්තු බැලීමට යොදාගන්නා) වයර් ටැප් උපකරණයක් සවිකිරීමට එක්සත් ජනපදයට සහාය දුන් බව ය.

ගොනුවේ මින් පෙර නිකුත් කරන ලද අනුවාදයක දී මකා දැමීම හරහා මෙම කුඩා තොරතුරු කොටස සඟවා ඇති බව BBCහි එක්සත් ජනපද සහකරු CBS ප්‍රවෘත්ති වාර්තා කළේ ය.

මෙම ලිපිගොනු නිකුත් කිරීම හරහා ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව ජනතාවට හොඳ අවබෝධයක් ලැබෙනු ඇතැ යි ධවල මන්දිරය පැවසුවේ ය.

ජනාධිපති බයිඩන් ඔහුගේ නියෝගයේ සඳහන් කර ඇත්තේ, "මීට පෙර කොටස් සඟවා නිකුත් කරන ලද වාර්තා 16 000කට ආසන්න ප්‍රමාණයක සම්පූර්ණ කට්ටලය සමාලෝචනය කිරීමට ඒජන්සි පුළුල් උත්සාහයක් ගෙන ඇති අතර, එම වාර්තාවලින් 70%කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට සම්පූර්ණයෙන් නිකුත්කළ හැකි බවට තීරණය කර ඇත," යනුවෙන් ය.

ට්‍රම්ප්ගේ පාලනය විසින් ඔහුගේ ජනාධිපතිධුර කාලය තුළ පිටු දහස් ගණනක් නිකුත් කළ නමුත්, 1992 නීතිය 2017 වන විට සියලු තොරතුරු ප්‍රකාශ කිරීමට බල කර තිබියදීත් ජාතික ආරක්ෂාව පදනම් කරගෙන සමහර තොරතුරු වසන් කර ඇත.

2021 ඔක්තෝම්බර් මාසයේ දී බයිඩන් ලේඛන 1 500ක් පමණ නිකුත් කළ නමුත් අනෙක්වා (ලේඛන) මුද්‍රා තබා ඇති බව පැවසුවේ ය.