ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
9/11 ප්‍රහාරයේ සැබෑ මහමොළකරු කවුද?
- Author, ගෝර්ඩන් කොරේරා සහ ස්ටීව් ස්වාන්
- Role, බීබීසී පුවත් සේවය
පැහැරගන්නා ලද මගී ගුවන් යානා එක්සත් ජනපදයේ සුවිශේෂී ගොඩනැගිලි තුළට පියාසර කරවීමේ සාහසික සැලැස්මේ මහ මොළකරු බවට චෝදනා ලබා සිටින පුද්ගලයා තවමත් අත්අඩංගුවේ පසු වෙයි. ඔහුට එරෙහිව නඩු විභාගයක් තවමත් නිම වී නැත. ප්‍රහාරය සිදු වූයේ මීට විසි වසරකට පෙර ය.
කෙසේ නමුත් වසර ගණනාවකට පෙර මොහුව නතර කිරීමට හැකියාවක් නොතිබුණේ ද?
"ඒ මගේ මිනිහ.."
නිව්යෝර්ක් නුවර ද්විත්ව කුලුන නම් වූ ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයේ රුපවාහිනී දසුන් ෆ්‍රෑන්ක් පෙලෙග්රිනෝ දුටුවේ මැලේසියාවේ හෝටල් කාමරයක් තුළ සිටියදී ය.
එය දුටු සැනින් ඔහුගේ හිතට ආ සිතුවිල්ල වුයේ, "දෙයියනේ... මේක කළේ ඛලිඩ් ෂෙයික් මොහමඩ් වෙන්න ඕනා" යන්නය.
එම ප්‍රහාරයේ ඉලක්කය සහ අභිලාශයන් එකට පෑහුණු බැවින් ෆ්‍රෑන්ක් ට එවැනි නිගමනයකට පැමිණිය හැකි මට්ටමක් විය.
ෆ්‍රෑන්ක් පෙලෙග්රිනෝ හිටපු FBI විශේෂ ඒජන්තවරයෙකි. ඔහු දශක තුනක් තිස්සේ ඛලිඩ් පසුපස ලුහුබඳිමින් සිටියේය. නමුත් සැප්තැම්බර් 11 ප්‍රහාරයේ මහමොළකරු බවට චෝදනා ලබා සිටින ඛලිඩ් පිළිබඳව යුක්තිය පසිඳලන්නට තවමත් නොහැකි වී තිබේ.
ඛලීඩ් මොහමඩ් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙකු බීබීසීයට කියා සිටියේ එම නඩුවේ අවසන් විනිශ්චය ලබා දීම සඳහා තවත් වසර 20ක් ගතවීමට ඉඩ ඇති බවය.
9/11 ප්‍රහාරය සම්බන්ධයෙන් සමීපතම වගකිවයුත්තා වූයේ අල් ඛයීඩා සංවිධානයේ එවකට නායකයා වූ බින් ලාඩන් ය. නමුත් යතාර්ථය නම්, මෙම ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදුකළ කොමිෂන් සභාව විසින් ප්‍රහාරයේ 'ප්‍රධාන නිර්මාණ ශිල්පියා' ලෙස ඛලීඩ් ෂෙයික් මොහමඩ් (KSM) හඳුනාගනු ලැබීම ය. මෙවැනි ප්‍රහාරයක් පිළිබඳව අදහසක් අල් ඛයීඩා වෙත රැගෙන ගිය පුද්ගලයා ඔහුය.
KSM ලෙසින් පසුව හැඳින්වුණු ඛලීඩ් උපන්නේ කුවේට් රජ්‍යයේය. අධ්‍යාපනය ලැබුවේ ඇමරිකාවේ ය. 80 දශකයේ දී ඇෆ්ගනිස්ථානයට ගොස් ඔවුන්ගේ සටනට එක් විය. 9/11 ප්‍රහාරය සිදු වන්නට වසර කීපයකට පෙර පටන් ෆ්‍රෑන්ක් පෙලෙග්‍රිනෝ, ජිහාඩ් සටන්කරුවන් සොයා යමින් සිටියේය.
1993දී ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා FBI රහස් ඔත්තු සේවය විසින් ෆ්‍රෑන්ක් යොදවනු ලැබ තිබිණ. ඛලීඩ් හෙවත් KSM පිළිබඳව එක්සත් ජනපද බලධාරීන්ගේ අවධානය පළමු වරට යොමු වූයේ එහිදී ය. එම බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ අයෙකුගේ බැංකු ගිණුමකට KSM විසින් යම්කිසි මුදලක් තැන්පත් කර තිබිණ.
පැසිපික් කලාපය තුළ ගුවන් යානා කීපයක් එකවර පුපුරවා හැරීමේ කුමන්ත්‍රණයකට KSM සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඉහත කී FBI රහස් ඒජන්තවරයා මෙම පුද්ගලයා පිළිබඳව අනතුරු අඟවා තිබිණ.
KSM නොහොත් ඛලීඩ් පසුපස ලුහුබඳිමින් සිටි ෆ්‍රෑන්ක් 90 දශකයේ මැද භාගය වනවිට ඔහු සිටි ඉසව්වට බොහෝ ලංවී සිටියේය. ඒ කටාර් රාජ්‍යය වෙතය.
ෆ්‍රෑන්ක් තවත් කණ්ඩායමක් සමඟ ඕමානයට පැමිණියේය. ඕමානයේ සිට දේශ සීමාව හරහා ගමන්කොට කටාරයට ඇතුළු වී ඛලීඩ් අත්අඩංගුවට ගැනීම ඔවුන්ගේ සැලැස්ම විය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව KSM රැගෙන යාමට ගුවන් යානයක් ද සුදානම්ව තිබුණි.
නමුත් එම භූමි කලාපයේ සිටින එක්සත් ජනපද තානාපතිවරුන්ගෙන් ඊට බාධාවක් පැවතුණි. ෆ්‍රෑන්ක් කටාරයේ තානාපති කාර්යාලයට ගියේය. තානාපතිවරයාට සහ එහි කාර්ය මණ්ඩලයට ඔහු දන්වා සිටියේ ගුවන් යානා පුපුරවා හැරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ඛලීඩ් අත්අඩංගුවට ගැනීම සඳහා තමන් සතුව අධිචෝදනා පත්‍රයක් පවතින බවය.
නමුත් කටාර් රාජ්‍යය තුළ ප්‍රශ්න ඇතිවනු දැකීමට ඔවුන් අකමැති වූ බවක් ඒ මොහොතේ තමන්ට පෙනී ගිය බව ෆ්‍රෑන්ක් පැවසීය.
"ඔවුන් හිතන්න ඇති එමගින් රට නොසන්සුන් වෙයි කියල." ෆ්‍රෑන්ක් පෙලෙග්‍රිනෝ මතකය ආවර්ජනය කළේය.
අවසානයේදී, තානාපතිවරයා ෆ්රෑන්ක් ට දැනුම් දී ඇත්තේ KSM ආගිය අතක් සොයා ගැනීමට නොහැකි බව කටාර බලධාරීන් පවසන බවකි.
"ඒ වෙලාවේ විශාල කලකිරීමක් වගේම දැඩි කෝපයක් සහ බලාපොරොත්තු කඩ වීමක් ඇති වුනා. අපි දැනගෙන හිටියා මේක, අපට ලැබුණු අවස්ථාව අහිමි කර ගැනීමක් කියල." ෆ්‍රෑන්ක් පැවසීය.
කෙසේ නමුත් 90 දශකයේ මැද භාගය වන එම කාලවකවානුවේ දී ඛලීඩ් යනු ඉහළ ප්‍රමුඛත්වයක් සහිත ඉලක්කයක් නොවුණු බව ෆ්‍රෑන්ක් පිළිගත්තේය.
ඇමරිකාවට අවශ්‍යව සිටින පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින දස දෙනා අතරටවත් ඛලීඩ් ගේ නම ඇතුළත් කර ගැනීමට එවකට ෆ්‍රෑන්ක් අසමත් විය.
"කටාරයේ ඕන තරම් ත්‍රස්තවාදීන් සිටින බව තමයි මට කියල තිබුනේ." ෆ්‍රෑන්ක් ප්‍රකාශ කළේය.
එක්සත් ජනපදය තමන් ගැන සොයන බව ඛලීඩ් ට දැනගන්නට ලැබිල ඔහු කටාරයෙන් පලා යන්න ඇති. පසුව ඇෆ්ගනිස්ථානයට එන්න ඇති."
එවක් පටන් ගෙවී ගිය වසර කීපය තුළ ලොව පුරා අත්අඩංගුවට පත් ත්‍රස්තවාදීන් සතුව පැවැති දුරකථන අංක ලැයිස්තු තුළ ඛලීඩ් ගේ අංකය ද බොහෝවිට දක්නට ලැබුණි. ඔහු ත්‍රස්තවාදී ජාලයට හොඳින් සම්බන්ධ බව ඉන් තවතවත් තහවුරු විය.
එක්සත් ජනපදය තුළ උස් ගොඩනැගිලි තුළට ගුවන් යානා පියාසර කරවීම සඳහා ගුවන් නියමුවන් පුහුණු කළයුතුය යන අදහස බින් ලාඩන් වෙත KSM රැගෙන ගියේ මේ කාලයේදී ය.
අනතුරුව, සැප්තැම්බර් 11 ප්‍රහාරය හෙවත් 9/11 ප්‍රහාරය දියත් විය. අත්අඩංගුවට පත්වී සිටි, අල් ඛයීඩා සංවිධානයේ ප්‍රධාන සාමාජිකයෙකු විසින් KSM හඳුනා ගනු ලැබීමත් සමඟ 9/11 ප්‍රහාරයට ඔහු සම්බන්ධ බවට පැවතුනු ෆ්‍රෑන්ක් ගේ සැකය අන් සියලු දෙනාට ද තහවුරු වන්නට ඇත.
"හැම දෙනාම තේරුම් ගත්ත ඒ වැඩේ කළේ 'ෆ්‍රෑන්ක් ගේ මිනිහ' තමයි කියල."
"මෙයා තමයි මිනිහ කියල අපි තහවුරු කරගත්ත මොහොතේ මම තරම් දුකට පත්වුණු වෙනත් කිසිවෙක් හිටියේ නැහැ." ෆ්‍රෑන්ක් අතීතය සිහිපත් කළේය.
කෙසේ හෝ 2003 දී ඛලිඩ් ෂෙයික් මොහමඩ් පකිස්ථානයේ සිටියදී අත්අඩංගුවට පත්විය.
ෆ්‍රෑන්ක් සතුව පවතින අධිචෝදනා පත්‍රය මත KSM ට එරෙහිව නඩු විභාගයක් පවත්වනු ඇති බවට ෆ්‍රෑන්ක් බලාපොරොත්තු විය. නමුත් සිදු වුයේ වෙනත් දෙයකි.
KSM අතුරුදහන් විය; CIA රහස් ඔත්තු සේවය ඔහු 'අන්ධකාර අඩවියකට' ගෙන ගියේය. කෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා 'වැඩි දියුණු කළ ශිල්ප ක්‍රම' එහි පැවතුනි.
CIA බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඒ අවස්ථාවේ ප්‍රකාශ කර තිබුණේ, "මට දැනගන්න ඕන ඔහු දන්නේ මොනවද කියල. මට ඒවා ඉක්මනින්ම දැනගන්න ඕන," යනුවෙනි.
අඩු තරමින් 183 වතාවක්වත් ඛලීඩ් ට ජලයේ ගිල්ලවීමේ වදබන්ධනය (waterboarded) ලබා දී ඇත. ගුදීය සජලනයට (rectal rehydration) ලක්කර ඇත. දැඩි ආතතික තත්වයන්, නින්ද අහිමි කිරීම, නිරුවත් කර තැබීම, තම දරුවන් මරා දමන බවට තර්ජනය කිරීම වැනි නානාවිධ වද බන්දනයන්ට ඔහු ලක්කෙරුණි.
එම කාලය ඇතුළත ඔහු කුමන්ත්‍රණ බොහොමයක් පාපොච්චාරණය කළා විය හැක. නමුත් සෙනෙට් වාර්තාවකින් පසුව සොයා ගනු ලැබුණේ බුද්ධි අංශ නිලධාරීන්ට දැනගන්නට ලැබී ඇති බොහෝ දේ ඛලීඩ් විසින් ගොතන ලද ඒවා විය හැකි බවය.
CIA රැඳවුම්භාරය පිළිබඳව අනාවරණය වීමෙන් අනතුරුව ඛලීඩ් වැනි 'ඉහළ වටිනාකමක් සහිත අල් ඛයීඩා රැඳවියන්' 2006 දී ග්වන්තනමෝ සිර කඳවුරට ගෙන යන ලදී. එබැවින් FBI රහස් ඔත්තු සේවයට නැවතත් අවස්ථාව උදා විය.
තමන් වසර ගණනක් තිස්සේ ලුහුබඳිමින් සිටි මිනිසා ඉදිරියේ මුහුණට මුහුණ ලා වාඩිලන්නට 2007 දී ෆ්‍රෑන්ක් පෙලිග්‍රිනෝ ට හැකිවිය.
මේසයක් දෙපස මුහුණට මුහුණලා දෙදෙනා හිඳ ගත්හ.
"මට අවශ්‍ය වුනා ඔහුට කියන්නට, 90 දශකයේදී ඔහුට අධිචෝදනා ඉදිරිපත් කරන්නට මමත් හවුල් වූ බව." ෆ්‍රෑන්ක් ගේ අවශ්‍යතාව වූයේ, 9/11 ප්‍රහාරය පිළිබඳව තොරතුරු ලබාගැනීමට අවැසි සංවාදයක් ඒ හරහා විවෘත කර ගැනීමය.
ඛලීඩ් ප්‍රකාශ කළේ මොනවාදැයි මෙම CIA රහස් ඒජන්තවරයා හෙළිදරව් නොකළේය. නමුත් "ඔබ විශ්වාස කරන එකක් නැහැ, ඔහු බොහොම සිනා මුසුව හොඳින් කතාබහ කරන තැනැත්තෙක්," යනුවෙන් නම් ෆ්‍රෑන්ක් හෙළි කළේය.
ග්වන්තනමෝ නඩු විභාග සිදුවෙද්දී KSM නිතරම පාහේ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. ලෝකයේ කුප්‍රකට ම ත්‍රස්ත සැකකරුවා වන මොහු "කර්ඩාශියන්" මෙන් අවධානය ලබා ගැනීම සඳහා ගිජු බවක් දක්වන නමුත් ඔහු හිතේ කිසිදු අනුකම්පාවක් හෝ පසුතැවිල්ලක් පවතින බවක් නොපෙන්වන පුග්ගලයෙකු ලෙස ෆ්‍රෑන්ක් හඳුන්වයි.
ඔහු පාපොච්චාරණයක් කරාවි ද? නැතහොත් ඔහුට නඩු විභාගයක් අවශ්‍ය ද? "මම නියත වශයෙන්ම හිතනවා ඔහු කළ දේ ගැන ඔහු සතුටු වෙනවා. නමුත් ඔහු මේ සංදර්ශනයට කැමතියි." ෆ්‍රෑන්ක් පවසයි.
ඛලීඩ් සමඟ දින හයක් කතාබස් කිරීමෙන් අනතුරුව ඔහුට ඒ කාරිය එපා විය. "එක එතනින් හමාර වුනා." ෆ්‍රෑන්ක් පැවසීය.
9/11 ප්‍රහාරය පිළිබඳව යුක්තිය පසිඳලීමට වරින් වර ගත උත්සාහයන් ඉතා දුෂ්කර විය. නිව්යෝර්ක් නුවරදී නඩු විභාගයක් පැවැත්වීමට කළ සැලැස්ම ඇනහිටියේ දේශපාලන සහ ජනතා විරෝධය මතු වූ බැවිනි.
"හැමෝම කෑගහන්න පටන් ගත්ත මේ මනුස්සයා අපේ පිළිකන්නේ ඉන්නව දකින්න අපිට අවශ්‍ය නැහැ කියල; ග්වන්තනමෝ කඳවුරේම තියන්න කියල." ෆ්‍රෑන්ක් පැවසීය. ඔහු ද නිව්යෝර්ක් වැසියෙකි.
ග්වන්තනමෝ රැඳවුම් කඳවුරේ මීළඟට ක්‍රියාත්මක වුණේ හමුදා විනිශ්චය සභාවකි. නමුත්, කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් ග්වන්තනමෝ කඳවුර වසා දැමීමට සිදු වූ බැවින් එම ක්‍රියාදාමය ද පමා වෙමින් පවතී. මෙම සතිය ඇතුළත ද එම නඩු විභාගයට අදාළ කැඳවීම් කීපයක් පවතින නමුත් මෙහි නිමාව දැකීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බවක් පෙනෙන්නට තිබේ.
ඛලීඩ් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයාගේ විශ්වාසය නම්, 9/11 ප්‍රහාරයේ විසි වැනි අනුස්මරණය පැමිණෙන අතර ඊට අදාලව යමක් සිදුවෙමින් පවතින බව මාධ්‍යවලට පෙන්වීම සඳහා පමණක් මෙම නඩු වාර කැඳවා ඇති බවය.
ඛලීඩ් පිළිබඳව නඩු විභාගයක් ආරම්භ කිරීමේ ක්‍රියාවලියට 2008 දී අතගැසූ දා පටන් නීතිවේදී ඩේවිඩ් නේවින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු දක්නට ලැබිණ. මුලික සැලැස්ම වූයේ වහාම නඩු විභාගය පැවැත්වීම ය. නමුත් එහි ආරම්භයටවත් තවම ලඟා වී නොමැති බව ඔහු පවසයි. මේ වන විට පත් කර ඇති විනිසුරුවරයා, "මෙම නඩුව වෙනුවෙන් පත් කළ 8වැනි හෝ 9 වැනි විනිසුරුවරයා" බව ඩේවිඩ් සඳහන් කළේය.
මේ සඳහා පත්වන විනිසුරුවරයා මුලින්ම කල යුත්තේ මෙම නඩු විභාගය වෙනුවෙන් සුදානම් වීමය. එම සුදානම ඇතිකර ගැනීමට ඔහු පිටු 35,000කින් පමණ සමන්විත ලිපි ලේඛන පිටපත් කියවිය යුතුය. ඒ මීට පෙර පැවති නඩුවාර පිළිබඳව සවිස්තරාත්මක කෙටුම්පත් ය. ඊට අමතරව මේ පිළිබඳව ඉදිරිපත් කර ඇති මෝසම් දහස් ගණනක් කියවා බැලිය යුතුව තිබේ.
ඩේවිඩ් නේවින් මෙය හඳුන්වන්නේ "ඇමරිකානු ඉතිහාසයේ විශාලතම අපරාධ නඩු විභාගය" ලෙසිනි.
එපමණක් නොව, වඩාත්ම මතභේදාමක නඩු විභාගය වන්නේ ද මෙයම ය.
මීට මූලික හේතුව වී ඇත්තේ මෙම නඩුවේ විත්තිකරුවන් පස්දෙනෙකුම CIA බලධාරීන් විසින් රහසිගත ස්ථානයක රඳවා තබා ගැනීම සහ ඔවුන් "ප්‍රශ්න කිරීම සඳහා වැඩි දියුණු කළ ශිල්ප ක්‍රමවලට" භාජනය කිරීමත් ය.
"අඳුරු අඩවි" ලෙසින් හැඳින්වෙන මෙවැනි ස්ථාන තුලදී ලබා ගන්නා සාක්ෂි සටහන් කෙතරම් දුරට පිළිගත හැකිද යන්න පිළිබඳව මතභේද මතුවී තිබේ.
එක්සත් ජනපදය "මෙම මිනිසුන් වදබන්ධනයන්ට ලක් කිරීම සඳහා නිශ්චිත සහ සංවිධානාත්මක වැඩසටහනක් ක්‍රියාවට නැංවූ" බව නීතිවේදී ඩේවිඩ් නේවින් පවසයි.
මෙවැනි ක්‍රමවේද හේතුවෙන්, නඩු විභාග වසර ගණනකින් දීර්ඝ වන අතර ඕනෑම විනිශ්චයකට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමේ ඉඩකඩ සැලසෙනු ඇත.
ලොව සිටින කුප්‍රකට ම විත්තිකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීම කොයි ආකාරයේ තත්වයක් දැයි ඩේවිඩ් පැහැදිලි කළේ නැත. කෙසේ නමුත්, ඇමරිකානු නීතිවේදියෙකු විසින් තමන් නියෝජනය කරනු ලැබීම පිළිබඳව සිය සේවාදායකයා මුලදී "තදින්ම සැකකළ" බවත් එබැවින් දෙදෙනා අතර විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා දියත් වූ ක්‍රියාදාමයට දීර්ඝ කාලයක් ගතවූ බවත් ඔහු හෙළිදරව් කළේය.
ග්වන්තනමෝ කඳවුරේ අතිශය රහසිගත ස්ථානයක ඛලීඩ් රඳවා තිබියදී ඔහු වෙනුවෙන් පෙනීසිටින නීතිඥයන් එම ස්ථානයට ගෙනයාම සඳහා භාවිතා කර ඇත්තේ අවට පරිසරය නොපෙනෙන පරිදි සකස් කළ වෑන් රථයකි. ගමන් මාර්ගය හෝ දිශානතිය පිළිබඳව නිසි වැටහීමක් ලබා ගැනීමට නොහැකි වන ආකාරයට මෙම රථය විනාඩි 45ක් පමණ එහාමෙහා ගමන් කොට අදාළ ස්ථානයට පැමිණ නතර කරන බව ඩේවිඩ් පැවසීය.
නමුත් මේ වනවිට ඔහුගේ සේවා දායකයා රඳවා ඇත්තේ රහස්‍ය භාවය මදක් අඩු වූ 'Camp 5' නමැති ස්ථානයේ ය.
මෙම නඩු වාර සඳහා සහභාගිවීමට 9/11 ප්‍රහාරයේ ඇතැම් වින්දිතයන්ගේ පවුලේ සාමාජිකයන් ද පැමිණ සිටි අතර ඔවුන්ගේ සංවේදීතාවය පිළිබඳව මෙම නීතිවේදීන් දැනුවත් ය. මෙවැනි විත්තිකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව ඔවුන්ගෙන් ඇතැමුන් ඩේවිඩ් වැනි නීතීඥයන්ට අභියෝග කරන නමුත් අනෙක් පිරිස මෙම ක්‍රියාදාමය ඉදිරියට යන ආකාරය පිළිබඳව එම නීතිවෙදීන්ගෙන් පවා විමසා බැලීමට පෙළඹෙති.
"ඔවුන් පසුගිය වසර ගණනාව තුළ විඳි වේදනාව හමුවේ කුපිත කිරීමක් නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා අපි ඉතා දුෂ්කර කාර්යයක නිරත වෙනවා." ඩේවිඩ් පැවසීය.
මෙය මරණ දණ්ඩනය ලබා දීමේ නඩු විභාගයක් වීම හේතුවෙන් ද එය නිමා කිරීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බව ඩේවිඩ් ගේ විශ්වාසයයි.
"මේ විත්තිකරයන්ට මරණ දඬුවම ලබා දීමට ආණ්ඩුව උත්සාහ නොකළේ නම්, මේ නඩුව මීට කාලෙකට ඉස්සර ඉවර වෙන්න තිබුන." ඩේවිඩ් ප්‍රකාශ කළේය.
ග්වන්තනමෝ කඳවුරේ ආරම්භ වූ හමුදා විනිශ්චය සභාව විසින් ආරම්භ කරනු ලැබූ නඩු විභාගය ඉක්මනින් නිමා වේයැයි සිතූ ෆ්‍රෑන්ක් පෙලිග්‍රිනෝ, FBI බුද්ධි අංශයෙන් විශ්‍රාම ගැනීම වසර තුනකින් පමා කළේය.
"මම නිල පදක්කම පැළඳ සිටින අවදියේම මේක ඉවරවෙනවා දකින්න පුලුවන් වුනානම් හොඳයි."
නමුත් එය සිදු නොවුනි. ඔහු පසුගිය දා විශ්‍රාම දිවියට පාතැබුවේය. FBI බුද්ධි අංශයට ආයුබෝවන් කීවේය.
ඛලීඩ් ෂෙයික් මොහමඩ් පසුපස ලුහුබඳිමින් ලොව පුරා දේශසීමා තරණය කරමින් සිටියදී 90 දශකයේ මැද භාගය වන විට ඔහු අල්ලා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී නොගියේනම් 9/11 ප්‍රහාරය වලක්වා ගැනීමට තිබුනා නොවේදැයි යන සන්තාපය ඔස්සේ ඔහුට දැනෙන්නේ අසමත්භාවය පිළිබඳ දැඩි හැඟීමකි.
"එය එතරම් ප්‍රසන්න සිතිවිල්ලක් නොවුනත්, හැමදාම ඔහුගේ නම මට මතක් වෙනවා" ෆ්‍රෑන්ක් පැවසීය.
"බොහෝ දේ සුව වෙන්නට කාලය උදව් වෙනවා. මොනවා කරන්නද, ඒක එහෙම වුනා."