ලෝක දියවැඩියා දිනය: දියවැඩියාව යනු කුමක් ද? ඊට ගොදුරු නොවී සිටින්නේ කෙසේ ද?

ගෝලීය වශයෙන් පුද්ගලයින් මිලියන 422ක් දියවැඩියාව සමග ජීවත් වන බව ඇස්තමේන්තු කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

දියවැඩියාව යනු සෑම වසරක ම පුද්ගලයින් මිලියනයකට අධික සංඛ්‍යාවකට මරු කැඳවන ජීවිත කාලය පුරා පවතින බරපතළ රෝගී තත්ත්වයක් වන අතර එය ඕනෑ ම අයෙකුට වැළඳිය හැකිය.

එය සිදුවන්නේ, රුධිර ප්‍රවාහයේ ඇති සියලු ම සීනි (ග්ලූකෝස්) කළමනාකරණය කිරීමට ශරීරය අපොහොසත් වූ විටය. එහි සංකූලතා හෘදයාබාධ, ආඝාතය, අන්ධභාවය, වකුගඩු අකර්මණ්‍යවීම් සහ අත් පා කපා දැමීම් ආදියට හේතු විය හැකිය.

එය වර්ධනය වෙමින් පවතින ගැටලුවක් වන අතර, ගෝලීය වශයෙන් පුද්ගලයින් මිලියන 422ක් දියවැඩියාව සමග ජීවත් වන බව ඇස්තමේන්තු කර තිබේ. - ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි එය, අවුරුදු 40කට පෙර පැවති දත්තවලට සාපේක්ෂව සිව් ගුණයක ඉහළ යාමකි.

එවන් අවදානමක් පවතිද්දීත්, දියවැඩියාව වැළඳී ඇති පුද්ගලයින්ගෙන් අඩක් එය වැළඳී ඇති බව නොදනිති.

කෙසේ වෙතත්, ජීවන රටාවේ වෙනස් කිරීම් මගින් එය බොහෝ විට වළක්වා ගත හැකිය. එය කරන්නේ කොහොමද?

දියවැඩියාවට හේතු වන සාධක මොනවා ද?

අප ආහාර ගන්නා විට, අපගේ ශරීරය කාබෝහයිඩ්‍රේට්, ග්ලූකෝස් හෙවත් සීනි බවට හරවයි.

අග්න්‍යාශයේ නිපදවෙන ඉන්සියුලින් නමැති හෝර්මෝනය, ඉන්පසු ශක්තිය සඳහා එම සීනි අවශෝෂණය කර ගැනීමට අපගේ ශරීර සෛලවලට උපදෙස් සපයයි.

දියවැඩියාව ඇති වන්නේ, ඉන්සියුලින් නිපදවීම සිදු නොවන විට හෝ ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන විටය. එය අපගේ රුධිරය තුළ සීනි රැස් කිරීමට හේතු වෙයි.

පිරිපහදු කළ සීනි ඔබේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පිරිපහදු කළ සීනි ඔබේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි කරයි

දියවැඩියා ප්‍රභේද මොනවා ද?

දියවැඩියා රෝගයේ ප්‍රභේද කිහිපයක් තිබේ.

දියවැඩියා 1වන ප්‍රභේදය (type 1 diabetes) අනුව, අග්න්‍යාශය ඉන්සියුලින් නිපදවීම නතර කරන අතර, ඒ හේතුවෙන් රුධිර ප්‍රවාහය තුළ ග්ලූකෝස් එක්රැස් වේ.

විද්‍යාඥයින් ඊට බලපාන නිශ්චිත හේතුවන් නොදන්නා නමුත්, ඔවුන් විශ්වාස කරන්නේ, එය ජානමය බලපෑමක් හෝ අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛලවලට හානි කරන වෛරස් ආසාදනවල ප්‍රතිඵලයක් විය හැකි බවටය. දියවැඩියා රෝගීන්ගෙන් 10%ක පමණ ප්‍රතිශතයක් පළමු වන ප්‍රභේදය වැළඳුණු අය වෙති.

දියවැඩියා 2 වන ප්‍රභේදයේදී (type 2 diabetes), අග්න්‍යාශය ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් නිපද නොවීම හෝ හෝර්මෝන ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවීම සිදු වෙයි.

ඉන්සියුලින් යනු අග්න්‍යාශයේ නිපදවන හෝමෝනය වන අතර එය අපගේ ශරීරයට ග්ලූකෝස් අවශෝෂණය කර ගැනීමට ඉඩ සලසයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉන්සියුලින් යනු අග්න්‍යාශයේ නිපදවන හෝමෝනය වන අතර එය අපගේ ශරීරයට ග්ලූකෝස් අවශෝෂණය කර ගැනීමට ඉඩ සලසයි

මැදිවියේ සහ වැඩිහිටි පුද්ගලයින්ට පමණක් නොව, අධිබරැති සහ වැඩි කාලයක් වාඩි වී සිටින තරුණයින් සහ දකුණු ආසියානුවන් වැනි ඇතැම් සුවිශේෂී ජන කොටස්වලට අයත් පුද්ගලයින්ට ද එය සාමාන්‍යයෙන් වැළඳෙයි.

ඇතැම් ගර්භණී කාන්තාවන්ට තමන් සහ සිය දරුවා වෙනුවෙන් ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් නිපදවීමට නොහැකි වූ විට, ඔවුන්ට ගර්භණී දියවැඩියාව වැළඳී ඇතැයි හඳුනාගැනේ.

විවිධ නිර්ණායක භාවිත කරමින් සිදු කළ අධ්‍යයන මගින් ඇස්තමේන්තු කර ඇත්තේ, ගර්භණී කාන්තාවන්ගෙන් සියයට 6 සිට 16 දක්වා ඕනෑ ම ප්‍රතිශතයක් තුළ ගර්භණී දියවැඩියාව වර්ධනය වන බවය.

එම තත්ත්වය 2 වන ප්‍රභේදය දක්වා වර්ධනය වීම වැළැක්වීමට ආහාර පාලනය, ශාරීරික ව්‍යායාම් සහ/හෝ ඉන්සියුලින් ලබා දීම් මගින් ඔවුන්ගේ සීනි මට්ටම පාලනය කළ යුතුය.

රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම සහ දියවැඩියාව ඇති වීමට හේතු විය හැකි පූර්ව දියවැඩියා තත්ත්වය ද හඳුනාගත හැකිය.

දියවැඩියාව රෝග ලක්ෂණ මොනවා ද?

වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ :

• අධික පිපාසය

• විශේෂයෙන් රාත්‍රී කාලයේදී, සාමාන්‍ය මට්ටමට වඩා මුත්‍රා කිරීමේ අවශ්‍යතාව

• අධික වෙහෙස

• නිරායාසයෙන් ශරීරයේ බර අඩු වීම

• මුඛය ආශ්‍රිතව වරින් වර ඇති වන දිලීර ආසාදන

• දෘශ්‍යාබාධ

• සුව නොවන කැපුම් හා තුවාල

බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව පවසන පරිදි, පළමු ප්‍රභේදයේ දියවැඩියා රෝග ලක්ෂණ ළමා වියේදී හෝ නව යොවුන් වියේදී පෙන්නුම් කරන අතර එය වඩාත් දරුණු විය හැකිය.

දියවැඩියා දෙවන ප්‍රභේදය සහිත පුද්ගලයින් අතරින් වඩාත් අවදානම් තත්ත්වයක පසුවන්නේ, වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයින් (දකුණු ආසියාවේ නම් අවුරුදු 25ට වැඩි); දියවැඩියාව වැළඳුණු මව්පියන්ගෙන් කෙනෙකු හෝ ඥාතියෙකු ඇති පුද්ගලයින්; අධිබර හෝ ස්ථූලතාවයෙන් පෙළෙන්නන් සහ දකුණු ආසියානු, චීන, අප්‍රිකානු - කැරිබියානු හෝ කළු අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයින් යන කාණ්ඩ වේ.

මට දියවැඩියාවට ගොදුරු නොවී සිටිය හැකි ද?

දියවැඩියාව ජානමය සහ පාරිසරික සාධක මත රඳා පවතින නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ක්‍රියාශීලී ජීවන රටාවක් ඇති කර ගැනීමෙන් ඔබේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ඔබට සහයක් ලබා දිය හැකිය.

සීනි සහිත සැකසූ ආහාර පාන ගැනීමෙන් වැළකීමෙන්, සහ සුදු පැහැති පාන් හා පැස්ටා වෙනුවට පූර්ණ සමබල ආහාර වේලක් ලබා ගැනීම හොඳ පළමු පියවරකි.

පිරිපහදු කරන ලද සීනි සහ ධාන්‍යවල තන්තුමය ස්වභාවයත් විටමින් බහුල කොටසුත් ඉවත් වී තිබීම හේතුවෙන් පෝෂණ ගුණයෙන් ඌණ වේ. සීනි එකතු කරන ලද සුදු පිටි, සුදු පාන්, සුදු හාල්, සුදු පැස්ටා, පේස්ට්‍රි, ගෑස් සහිත/සීනි අධික බීම, පැණිරස කෑම සහ සීනී එකතු කරන ලද උදෑසන ධාන්‍යමය ආහාර උදාහරණ වේ.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග ඇතුළත් වේ. සෞඛ්‍ය සම්පන්න තෙල් වර්ග, ඇට වර්ග සහ සාර්ඩින්, සැමන්, මැකරල් වැනි ඔමෙගා-3 බහුල මාළු ද ඊට ඇතුළත්ය.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග ඇතුළත් වේ. සෞඛ්‍ය සම්පන්න තෙල් වර්ග, ඇට වර්ග සහ සාර්ඩින්, සැමන්, මැකරල් වැනි ඔමෙගා-3 බහුල මාළු ද ඊට ඇතුළත්ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට එළවළු, පලතුරු, ධාන්‍ය වර්ග ඇතුළත් වේ. සෞඛ්‍ය සම්පන්න තෙල් වර්ග, ඇට වර්ග සහ සාර්ඩින්, සැමන්, මැකරල් වැනි ඔමෙගා-3 බහුල මාළු ද ඊට ඇතුළත්ය.

නිශ්චිත කාල පරාසයන් තුළ ආහාර ගැනීම වැදගත් වන අතර, ප්‍රමාණවත් ලෙස ආහාර ගැනීමෙන් පසු තවදුරටත් ආහාර ගැනීම නතර කළ යුතුය.

ඔබේ රුධිරයේ සීනි මට්ටම අඩු කර ගැනීම සඳහා ශාරීරික ව්‍යායාම් ද උපකාරී වේ.

සතියකට පැය දෙක හමාරක් වේගයෙන් ඇවිදීම සහ පියගැට පෙළ නැගීම ඇතුළු ඇරෝබික් ක්‍රියාකාරකම්වල නිරත වීම බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවාව අනුමත කරයි.

සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වාගෙන යාම ඔබේ රුධිර සීනි මට්ටම අඩු කිරීමට පහසු කරයි. ඔබට ඔබේ සිරුරේ බර අඩු කර ගැනීමට අවශ්‍ය නම්, එය මන්දගාමීව කරන්න, එනම්, සතියකට ග්‍රෑම් 500 සිට කිලෝග්‍රෑමයක් දක්වා අඩු වන පරිදිය.

දුම්පානය නොකිරීම සහ හෘදයාබාධ අවදානම් අවම කර ගැනීම සඳහා කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කිරීම ද වැදගත් වේ.

දියවැඩියා රෝගයේ සංකූලතා මොනවා ද?

රුධිරයේ සීනි මට්ටම ඉහළ මට්ටමක පැවතීමෙන් රුධිර නාලවලට බරපතළ ලෙස හානි විය හැකිය.

රුධිරයට ඔබේ ශරීරය තුළ හොඳින් ගලා යාමට නොහැකි වුවහොත්, අවශ්‍ය කොටස් වෙත රුධිරය ළඟා නොවීමෙන්, ස්නායු හානි (සංවේදනය සහ වේදනාව දැනීම අඩුවීම), පෙනීම අඩුවීම සහ පාදයේ අසාත්මිකතා ඇති වීමේ අවදානම ඉහළ යයි.

අන්ධභාවය, වකුගඩු අකර්මණ්‍ය වීම්, හෘදයාබාධ, ආඝාතය සහ අත් පා කැපීමට සිදුවීම ආදියට දියවැඩියාව ප්‍රධාන හේතුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

2016 වසරේදී, මරණ මිලියන 1.6කට දියවැඩියාව ඍජුව හේතු වී ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි, 1980 වසරේ මිලියන 108ක්ව පැවති දියවැඩියා රෝගීන් සංඛ්‍යාව 2014 වසර වන විට මිලියන 422ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය ඇස්තමේන්තු කරන්නේ, මෙම තත්ත්වය යටතේ ජීවත් වන වැඩිහිටියන්ගෙන් 80% කට ආසන්න ප්‍රතිශතයක් ආහාර පුරුදු වේගයෙන් වෙනස් වෙමින් පවතින මධ්‍යම හා අඩු ආදායම්ලාභී රටවල වාසය කරන්නන් බවය.

කොපමණ පිරිසකට දියවැඩියාව තිබේ ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි, 1980 වසරේ මිලියන 108ක්ව පැවති දියවැඩියා රෝගීන් සංඛ්‍යාව 2014 වසර වන විට මිලියන 422ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

1980 වසරේදී, ලොව පුරා වයස අවුරුදු 18 ඉක්මවූ වැඩිහිටියන්ගෙන් 5%කට අඩු ප්‍රතිශතයක් දියවැඩියා රෝගීන් වූ අතර 2014 වසරේදී එම ප්‍රතිශතය 8.5%ක් විය.

ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනය ඇස්තමේන්තු කරන්නේ, මෙම තත්ත්වය යටතේ ජීවත් වන වැඩිහිටියන්ගෙන් 80% කට ආසන්න ප්‍රතිශතයක් ආහාර පුරුදු වේගයෙන් වෙනස් වෙමින් පවතින මධ්‍යම හා අඩු ආදායම්ලාභී රටවල වාසය කරන්නන් බවය.

සංවර්ධිත රටවල, එම තත්ත්වය දරිද්‍රතාව හා මිල අඩු, සැකසූ ආහාර පරිභෝජනය කිරීමට සමගාමීව පවතී.