ICC කාන්තා ලෝක කුසලානය : ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට හේතුව කුමක් ද?

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය වර්ෂාව හේතුවෙන් (ඔක්තෝම්බර් 14 වැනිදා) අතහැර දැමීමට සිදු විය. කෙසේ නමුත් එම ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට සැනසිලිදායක එකක් වූයේ දෙපිලටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වීම හේතුවෙන් ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 5

2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා - නවසීලන්ත තරගය වර්ෂාව හේතුවෙන් (ඔක්තෝම්බර් 14 වැනිදා) අතහැර දැමීමට සිදු විය. කෙසේ නමුත් එම ප්‍රතිඵලය ශ්‍රී ලංකාවට සැනසිලිදායක එකක් වූයේ දෙපිලටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වීම හේතුවෙන් ය.

ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ පසු වන්නේ ලකුණු 02ක් ලබා ගනිමිනි.

තරගාවලියේ සහභාගී වූ තරග හතරෙන් තරග 02ක් ශ්‍රී ලංකාව පරාජයට පත් වූ අතර, අනෙක් තරගවලට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඉහත ප්‍රසාද ලකුණු දෙක හිමිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමට හේතුව කුමක් ද?

තරගාවලිය පුරා මෙලෙස පසු බෑමට ලක් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිකරණය, කඩුලු අතර සාර්ථක සබඳතා ගොඩනැගීමට අපොහොසත්වීම, දුර්වල පන්දු යැවීම මෙන්ම දුර්වල පන්දු රැකීමද හේතු වී ඇති බව පෙනී යයි.

තරගාවලියේ පළමු තරගයේ සිට ශ්‍රී ලංකා පිතිකරණ බලඇණිය මෙම සටනට මැනවින් සූදානම් වී නොමැති බව පෙනෙන්ට තිබිණි. ලෝක කුසලාන තරගාවලියට පෙර කොළඹ සී.සී.සී ක්‍රීඩාංගනයේ පැවැති පුහුණු තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.

තරගාවලියේ මේ දක්වා ප්‍රදර්ශනය කර ඇති දක්ෂතා අනුව තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩිකාවන් අතර පළමු දස දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාවේ එක් ක්‍රීඩිකාවක් හෝ සමත්ව නොමැති වීම කණගාටුවට කරුණකි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තරග 03 කදී ලකුණු 111ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩිකාවන් අතර පෙරමුණේ පසු වේ.

පන්දු යැවීමේ දක්ෂතා අතර සුපිරි දස දෙනා අතර පස්වැනි තැන ගැනීමට ප්‍රවීණ ක්‍රීඩිකා ඉනෝකා රණවීර සමත්ව සිටියි. ඒ තරග 3කදී ලකුණු 79කට කඩුලු 7ක් දවා ගනිමිනි. ඉන් කඩුලු 4ක්ම ඇය දවා ගත්තේ ඉන්දියාව සමග පැවැති පළමු තරගයේදීය.

මෙම තරගාවලියේ පන්දු යැවීමේ දක්ෂතා සලකා බලන විට සුපිරි ක්‍රීඩිකාවන් 20 දෙනා අතරට හෝ පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් කිසිදු ක්‍රීඩිකාවක් සමත්ව නැත.

විශ්මි ගුණරත්න නවසීලන්ත කණ්ඩායම සමග පැවති තරගයේදී දැවී ගිය අයුරු.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේදී ඇති අභියෝගය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තරගාවලියට ආරම්භයේ සිට සහ ඉන් අනතුරුව පැවැති මාධ්‍ය හමු කිහිපයකදී ශ්‍රී ලංකා නායිකාව, ප්‍රධාන පුහුණුකරුවන් මෙන්ම අනෙකුත් ක්‍රීඩිකාවන්ද ප්‍රකාශ කළේ තම කණ්ඩායම ඉදිරි තරගවලදී ප්‍රතිවාදීන් වෙනුවෙන් වෙනම ම සැලසුම් සකස්කර ඇති බවය.

නමුත්, එවැනි සැලසුම් යම්තාත් දුරකට හෝ ක්‍රියාත්මක වූ බවක් දක්නට ලැබුනේ ඊයේ දිනයේදී නවසීලන්තය සමග පැවැති තරගයේදීය. අවාසනාවකට එම තරගයෙන් හෝ ජයග්‍රහණයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ද ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ ඊයේ (ඔක්තෝම්බර් 14) නවසීලන්තය සමග පැවැති තරගයේදීය.

මෙම ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග තුනක් ශ්‍රී ලංකාවට ඉතිරි වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම පිළිවෙලින් දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය සහ පකිස්ථානයට එරෙහිව තරග කිරිමට නියමිතව තිබේ.

ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මීළඟට සහභාගී වන තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙදී ලබන 17 වැනිදා දකුණු අප්‍රිකවට එරෙහිව පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය ලබන 20 වනදා ඉන්දියාවේ නවී මුම්බායිහිදීත්, ශ්‍රී ලංකා කණ්ඩායම සිය මූලික වටයේ අවසන් තරගය ලෙස පකිස්ථානයට එරෙහිව ලබන 24 වැනිදා කොළඹදීත් තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත කණ්ඩායම් අතර වූ තරග දෙකට වර්ෂාවෙන් බාධා එල්ල විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව කණ්ඩායම - ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත කණ්ඩායම් සමග පවත්වන ලද තරග දෙකට වර්ෂාවෙන් බාධා එල්ල විය

ශ්‍රී ලංකාවට වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදය

ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයටද මෙලෙසම වර්ෂාවෙන් බාධා එල්ල වීමත් සමග එහි ආශිර්වාදය වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට හිමි වූයේ එක් ප්‍රසාද ලකුණක් එම අතහැර දැමූ තරගයෙන් හිමි වීම හේතුවෙනි.

මේ වන විට සහභාගී වූ තරග හතරෙන් 03 ක්ම ජයගෙන, ශ්‍රී ලංකාව සමග පැවැති තරගය අතහැර දැමීම නිසා එක් ප්‍රසාද ලකුණක් පමණක් එයින් හිමිකර ගත් ඔස්ට්‍රේලියාව තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ පසු වේ.

ඒ අනුව තරගාවලියේ දෙපිලම මේ දක්වා ප්‍රදර්ශනය කර ඇති දක්ෂතා නිරීක්ෂණය කිරීමේදී අවබෝධ වන්නේ ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයට වර්ෂාව හරස් වීම එක් අතකට ශ්‍රී ලංකාවට වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයක් බවය.

තමන් ක්‍රීඩා කළ තරග තුනම ජයග්‍රහණය කළ එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 06ක් ලබා ගනිමින් ය.

ඉන්දීය කණ්ඩායම මේ දක්වා තරග 04කට ක්‍රීඩා කර ඉන් තරග දෙකක් පමණක් ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් ක්‍රීඩා කළ අවසන් තරග දෙකම පරාජයට පත්විය. ඒ අනුව ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 04ක් සමග ඉන්දීය කණ්ඩායම සිව්වැනි ස්ථානයේ පසුවේ.

ඒ අනුව ඊයේ (ඔක්තෝම්බර් 14) ශ්‍රී ලංකාව සමග පැවති තරගයට වර්ෂාව හරස්වීම හේතුවෙන් වැඩිම අවාසිසහගත තත්ත්වයට මුහුණ දුන්නේ ලකුණු සටහනේ 05 වැනි ස්ථානයේ පසුවන නවසීලන්තයයි. ඔවුන් මෙම තරගය ජය ගැනීමට සමත් වූයේ නම් ලකුණු සටහනේ 04 වැනි ස්ථානයට පත් වීමේ අවස්ථාවක් තිබිණි.

සහභාගී වූ තරග හතරෙන් තරග 03ක් ජයගෙන දකුණු අප්‍රිකාව මේ වන විට ලකුණු සටහනේ 03 වන ස්ථානයේ රැඳී සිටියි. බංග්ලාදේශය ලකුණු සටහනේ 06 වැනි ස්ථානයේ පසු වන්නේ තරග හතරෙන්, එක් තරගයක් පමණක් ජය ගනිමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම එකඳු තරගයක් හෝ ජයග්‍රහණය නොකර ලකුණු 02ක් සමග ප්‍රසාද ලකුණු සටහනේ සත්වන ස්ථානයේ පසුවේ.

ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන්නේ මෙතෙක් සහභාගී වූ තරග 03 ම පරාජය වූ පකිස්ථාන කණ්ඩායමයි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of X post

දක්ෂතා අතරට පැමිණි යොවුන් ක්‍රීඩිකාවන්

මේ අතර ලෝක කුසලාන තරගාවලියේදී මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පසුබෑමට ලක් වෙද්දී පසුගිය සැප්තැම්බර් මස 20 වැනිදා සිට 30 වැනිදා දක්වා දඹුල්ලේදී පැවැති ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලිය පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත්ය.

විස්සයි 20 තරග 5කින් සහ එක් දින තරගයකින් සමන්විත වූ තරගාවලියේ සියලු තරග ජය ගත්තේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයකි. පැවැති එකම එක් දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වුයේ ලකුණු 180 කිනි.

එම තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ පිතිකරු, පන්දු යැවීම, පන්දු රැකීම මෙන්ම කණ්ඩායම්ශීලී හැඟීමද මැනවින් දක්නට ලැබිණි.

ලෝක කුසලාන සංචිතය තේරීමට පෙර මෙවැනි වටිනා තරගාවලියක් පැවැත්වූයේ නම්, මෙරට යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට බොහෝ දුරට ජාතික කණ්ඩායමේ තම පළමු අත්දැකීම ලෝක කුසලාන තරගාවලියක් වීමේ අවස්ථාව හිමිවන්නට තිබිණි.