වයස අභියෝගයක් කර නොගත් උදේශිකා, ඉනෝකා සහ චමරි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සමග ගුවාතිහි පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 59කින් පරාජයට පත් විය.
තරගයෙන් පරාජය වුව ද, මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් තිදෙනෙක් කැපී පෙනෙන දස්කම් දැක්වූහ.
ඉනෝකා රණවීර සහ උදේශිකා ප්‍රබෝධනී පන්දු යවන්නන් ලෙස ඉහළ දක්ෂතා දැක්වූ අතර, නායිකා චමරි අතපත්තු මෙම තරගයේ ශ්‍රී ලංකා පිතිකාරියන් අතර පෙරමුණ ගැනීමට සමත් වූවා ය.
උදේශිකා ප්‍රබෝධනී (වයස අවුරුදු 40)
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගත්තේ වමතින් මද වේග පන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රබෝධනී ය.
ඒ, ස්ම්‍රිති මන්දනාගේ කඩුල්ල යි.
උදේශිකා මෙම තරගයේදී කඩුලු 2ක් දවා ගැනීමට සමත් වූවා ය.
ඇගේ වයස (සැප්තැම්බර් 30 වන දා) වන විට අවුරුදු 40යි දින 10ක් විය.
ඒ අනුව, උදේශිකා ඊයේ දිනයේදී වාර්තා අතරට එක් වූයේ ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගයකදී කඩුල්ලක් දවා ගත් වයස්ගත ම ක්‍රීඩිකාව ලෙස ය.
1985 සැප්තැම්බර් 20 වන දා දර්ගා නගරයේදී උපත ලද උදේශිකා පදිංචි ප්‍රදේශය වන්නේ කරන්දෙණිය යි.
කරන්දෙණිය, ගංඉම විද්‍යාලයෙන් සහ ඇල්පිටිය ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඇය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේ, ඇය පාසල් කාලයේ සේවය කළ ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරියාගේ මග පෙන්වීම යටතේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වේග පන්දුවෙන් ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන් ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක් බවට පත් වීමට ඇය සමත් වූවා ය.
උදේශිකා එක්දින ජාත්‍යන්තර වරම් ලබා ගත්තේ, 2009 වසරේ පෙබරවාරි 7 වන දා පකිස්ථානයට එරෙහිව ය.
ඇය එම වසරේ ජූනි මාසයේදී පකිස්ථානයට එරෙහිව ම පන්දු වාර 20/20 ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වූවා ය.
එක්දින ජාත්‍යන්තර තරග 71කදී කඩුලු 38ක් සහ පන්දු වාර 20/20 ජාත්‍යන්තර තරග 106කදී කඩුලු 84ක් ද දවා ගැනීමට උදේශිකා සමත්ව සිටින්නී ය.
දේශීය ක්‍රිකට් තරග අංශයෙන් ද ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කරන ඇය සී.සී.සී, කෝල්ට්ස්, නාවික හමුදා යන කණ්ඩායම් නියෝජනය කර තිබේ.
2018 පන්දු වාර 20/20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය, 2020 පන්දුවාර 20/20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය, 2021 ලෝක කුසලාන කාන්තා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලිය, 2022 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල, 2024 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර තරගාවලි රැසකදී උදේශිකා ප්‍රබෝධනී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දක්ෂතා ප්‍රදර්ශනය කර තිබේ.
ඉනෝකා රණවීර (වයස අවුරුදු 39)
ඊයේ දිනයේදී ඉන්දීය කණ්ඩායමට පීඩනයක් එල්ල කළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතර පෙරමුණ ගත්තේ, 39 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩිකා ඉනෝකා රණවීර ය.
ඇය ලකුණු 46කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවා ය.
ඉනෝකා වාර්තා අතරට එක් වූයේ, ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගයක ඉනිමකදී කඩුලු 4ක් දවා ගත් ලොව වයස්ගත ම ක්‍රීඩිකාව ලෙස ය.
එක්දින ජාත්‍යන්තර තරගයක ඉනිමකදී එලෙස කඩුලු 4ක් දවා ගත් ලොව වයස්ගත ම ක්‍රීඩිකාවන් අතර ඇය දෙවන ස්ථානයේ පසු වන්නී ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1986 වසරේ පෙබරවාරි 18 වන දා බලපිටියේදී උපත ලද ඉනෝකා රණවීර, ගාල්ල ප්‍රජාපතී ගෝතමී මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා ය.
එක්දින ජාත්‍යන්තර තරග 81කට සහභාගී වූ ඇය කඩුලු 84ක් දවාගෙන ඇත.
පන්දුවාර 20/20 තරග 84කදී ඇය දවා ගත් කඩුලු සංඛ්‍යාව 92කි.
ඉනෝකා 2015 වසරේදී වාර්තා අතරට එක් වූයේ, එක්දින තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවා ගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ලෙසිනි.
ඒ, නවසීලන්තයට එරෙහිව ය.
ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙස ද කටයුතු කර තිබේ.
ඉනෝකා සහභාගී වන තුන් වැනි ලෝක කුසලාන තරගාවලිය මෙය වේ.
චමරි අතපත්තු (වයස අවුරුදු 35)
ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පිතිකාරිය බවට පත් වූයේ, ශ්‍රී ලංකා නායිකා 35 හැවිරිදි චමරි අතපත්තු ය.
නායකත්වයේ බර කරට ගත් ඇය පන්දු 47කදී ලකුණු 43ක් රැස් කළා ය.
ඊට 4 පහර 4ක් සහ 6 පහර 3ක් ඇතුළත් විය.
1990 වසරේදී ගොකරැල්ලේදී උපත ලද චමරි, ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා ය.
ඇය ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ, 19 හැවිරිදි වියේදී ය.
ශෂිකලා සිරිවර්ධනගෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ චමරි, තුන් ඉරියව් ක්‍රීඩිකාවක ලෙස ජාත්‍යන්තර තරගවලදී මෙන් ම, දේශීය ක්‍රිකට් තරගාවලි, විදේශීය ක්‍රීඩා සමාජ තරග රැසකදී ද ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇය 2011 වසරේදී අයර්ලන්තයට එරෙහිව ශතකයක් රැස් කළේ, එක් දින තරගයකදී ශතයක් රැස් කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට පත් වෙමිනි.
ඒ ඇතුළු වාර්තා රැසක් ඇය සතුව පවතී.














