අද සිට 'තදින් ම' ක්‍රියාත්මක වන රථවාහන නීති ඔබට බලපාන්නේ කොහොම ද?

A police officer stands on a road divider as he directs traffic in Colombo
    • Author, බීබීසී සිංහල

මෑතකදී රට පුරා සිදුවූ බිහිසුණු රිය අනතුරු කිහිපයකින් පසුව රථවාහන සම්බන්ධ නීති කිහිපයක් 'තදින් ම' ක්‍රියාත්මක කිරීමට රජයේ අවදානය යොමුව තිබේ.

ඒ පිළිබඳව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, සැප්තැම්බර් 08 වන දා සිට දිවයින පුරා පොලිස් නිලධාරින් රථවාහන පරීක්ෂා කරමින් නීතිය තදින් ම ක්‍රියාත්මක කරන බව ය.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

තදින් ම ක්‍රියාත්මක වන නීති මොනවා ද?

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇති පරිදි පහත දැක්වෙන කරුණු සම්බන්ධයෙන් නීතිය තදින් ම ක්‍රියාත්මක වනු ඇත.

  • ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබියදී ධාවනය.

[2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46න් සංශොධිත ප්‍රධාන ප්‍රඥප්තියෙ 146 වන වගන්තිය]

  • වර්ණය වෙනස් කිරීම.

[2013 රජයේ අතිවිශේෂ ගැසට් පත්‍ර 1795/35]

  • නිවි නිවී දැල්වෙන විවිධ වර්ණ සහිත අමතර පහන් සවි කර ධාවනය.

[මෝටර් වාහන පනතෙ 153(2) වගන්තිය. 2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 146 වන වගන්තිය]

  • වාහනවල නළා භාවිතය.

[2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 146 වන වගන්තිය.

2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනතේ වගන්ති 46න් සංශෝධිත ප්‍රධාන ප්‍රඥප්තියේ 155 වන වගන්තිය]

  • මෝටර් වාහනවල ඉදිරිපස, පිටුපස සහ බඳෙහි පැතිවල චිත්‍ර මෝස්තර සහ වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම.

[1996.05.16 දිනැති රජයෙ අතිවිශේෂ ගැසට් පත්‍ර 923/12]

  • නීතිවිරෝධී සවිකිරීම් නිර්මාණ වෙනස් කිරීම.

[2009 අංක 08 දරන මෝටර් පනත (සංශෝධිත) පනතෙහි 5 වන වගන්තියේ සංශෝධිත 2 වන වගන්තිය

9 වන වගන්තියේ සංශෝධිත 10 (2) වන වගන්තිය]

Clean Sri Lanka සමග ආරම්භ වූ රථවාහන මෙහෙයුම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

2025 ජනවාරි 01 වන දා ආරම්භ වූ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක් සිදු කරන ලෙස එවක වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ වත්මන් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය වගකිවයුතු ආයතනවලට ජනවාරි 02 වන දා දැනුම් දී තිබිණි.

එම මෙහෙයුමේදී විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන සහ විවධ වර්ණවලින් යුතු අමතර පහන් සවි කර ධාවනය වන වාහන, ඝෝෂාකාරී නළා, අධික ශබ්දයෙන් යුතු සයිලන්සර් පිළිබඳව සොයා බලන ලෙස වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී තිබිණි.

ජනවාරි 02 වන දා සිට ආරම්භ කළ එම මෙහෙයුම සෑම පොලිස් බල ප්‍රදේශයක ම දිනකට පැය 03 බැගින් මෙහෙයුම් දෙකක් සිදු කරන ලෙස ද උපදෙස් ලබා දී තිබිණි.

එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී 2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනත, 2013.01.31 දිනැති රජයේ ඇතිවිශේෂ ගැසට් පත්‍ර අංක 1795/35, 1996.05.16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 923/12 නීති ප්‍රතිපාදන සලකා බලන ලෙස දැනුම් දෙන ලදී.

ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබියදී ධාවනය කිරීම, වර්ණය වෙනස් කිරීම, නිවි නිවී දැල්වෙන සවි කරන ලද වූ විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය, බස් රථවල නළා භාවිතය, මෝටර් වාහනවල චිත්‍ර, මෝස්‌තර හා වෙළෙඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම, නීතිවිරෝධී සවිකිරීම්, නිර්මාණය වෙනස් කිරීම් වැනි කරුණු කෙරෙහි එහිදී පරීක්ෂාවට ලක් කළේ ය.

මාස 3ක සහන කාලයක්

කෙසේ ‍වෙතත්, මෙම මෙහෙයුම ක්‍රියාත්මක වී දින කිහිපයකින් පෞද්ගලික බස් රථ සංගම්, ත්‍රිරෝද රථ සංගම් ඇතුළු විවිධ පාර්ශව වෙතින් එල්ල වූ විරෝධය හමුවේ එම අමතර උපාංග ඉවත් කර ගැනීමට මාස 3ක සහන කාලයක් ලබා දීමට පොලිසිය එකඟ විය.

පොලිසිය ලබා දී තිබූ සහන කාලයෙන් පසුව යළි එම මෙහෙයුම ක්‍රියාත්මක වූ බවක් දැනගන්නට නැත.

එවන් පසුබිමක දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ මාරක අනතුරු කිහිපයකට පසුව රථවාහන සම්බන්ධ නීති කිහිපයක් තදින් ම ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සැප්තැම්බර් 07 වන දා ෆේස්බුක් සටහනකින් නිවේදනය කළේ ය.

සහන කාලය අවසන්: නීතිය අකුරට ම

රථවාහන නීති කිහිපයක් තදින් ම ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වීම පිළිබඳව බීබීසි සිංහල සේවය නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේ ය.

"තිබෙන නීති රාමුව අනුව වාහනවල මගීන්ට අපහසුතාවක් ඇති වෙන විදියට වාහන නවීකරණය කරලා තියෙනවා නම්, අවශ්‍ය ප්‍රමිතීන් නැත්නම්, ඒ පිළිබඳව නීතිමය කටයුතු කරන්න අවස්ථාව තියෙනවා," ඔහු පැවසීය.

"ඒ නීතිය මෙච්චර කාලයක් ලොකුවට තදබල විදියට අපි බැලුවේ නෑ. හැබැයි අපි මාස තුනක් තිස්සේ සහන කාලයක් දීලා තිබුණා මේවා නිවැරදි කර ගන්න, දැනුවත් කිරීමේ වැඩසටහනක් තමයි ගියේ. හැබැයි මීට පස්සේ දැනුවත් කිරීම නෙමෙයි අදාළ නීතිය අකුරට ම ක්‍රියාත්මක කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ," අමාත්‍යවරයා පවසයි.

"ඒ වෙනුවෙන් පොලිස්පතිතුමාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය, අදාළ පොලිස් ස්ථානවලට යොමු කරලා තියෙනවා මේ වෙනකොට. හෙට දිනයේ ඉඳලා නැවත දැනුම් දෙන තුරු නිරීක්ෂණ කටයුතු දිගට ම සිද්ධ වෙනවා," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

'කලින් එකට අපේ අමාත්‍යංශය සම්බන්ධයක් තිබුණේ නැහැ'

මීට ඉහතදී මේ වසරේ ජනවාරි මාසයේ සිට රථවාහන පරීක්ෂා කර අමතර උපාංග ඉවත් කිරීමේ ක්‍රියාවලියට තම අමාත්‍යංශයේ මැදිහත් වීමක් නොතිබූ බව ද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන බීබීසි සිංහල සේවය වෙත කියා සිටියේ ය.

"කලින් පටන් ගත්ත එක ම කියන්න බෑ මොක ද ඒක හරියට ඕර්ගනයිස් වෙලා පටන් ගත්ත එකක් නෙමෙයි. අපේ අමාත්‍යංශය සම්බන්ධයක් තිබුණේ නැහැ කලින් එකට. මේක අපේ අමාත්‍යංශයත් එක්කත් සම්බන්ධ වෙලා, ඒ පිළිබඳ සාකච්ඡා වට ගණනාවක් ගිහිල්ලා මාස තුනකට කලින් අපි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. අපි, ඒකෙදි අපි දින වකවානු දුන්නා එකින් එකට. ඒ අනුව තමයි මේ ක්‍රියාමාර්ගය ගන්න තීරණය වුණේ," ඔහු පැවසුවේ ය.

මින් ඉදිරියට කිසිදු සහන කාලයක් නොමැතිව නීතිය අකුරට ම ක්‍රියාත්මක වන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා, "මාස තුනක සහන කාලයක් දීලා තිබුණා. ඒක අවසන් වෙනවා," යැයි අවධාරණය කළේ ය.

'වාහනයේ තත්ත්වය ගැනත් පරීක්ෂාවට ලක් වෙනවා'

අධිවේගී මාර්ගවල ධාවනය වන වාහන සඳහා ක්‍රියාත්මක වන ආසන පටි පැළදීමේ ක්‍රියාවලිය සමාන්‍ය මාර්ගවල ද ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ මොහොතේ එය ක්‍රියාත්මක කිරීමට ඇති බාධා ගැන ද බීබීසි සිංහල සේවයට පැවසීය.

"සීට් බෙල්ට්වල ෂෝටේජ් එකක් තියෙනවා මේ දවස්වල. ඒ වගේ ම බ්ලැක් මාකට් එකක් හදලා තියෙනවා ඉල්ලුම වැඩි නිසා. අපි ඒක නිරාකරණය කරන්න මේ දවස්වල මැදිහත් වෙලා ඉන්නවා. ඒකත් එක්ක අනිවාර්යෙන් ඒක ක්‍රියාත්මක කරනවා," අමාත්‍යවරයා පැහැදිලි කළේ ය.

පොලිසියේ පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනට කිසිදු දේශපාලන අත පෙවීමක් සිදු නොකර ඉදිරියට ගෙන යන බවත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ ය.

වාහනවල සිදුකර ඇති අලංකරණ කටයුතු, අන්තරාදායක උපාංග සවි කිරීම පිළිබඳව මෙන් ම වාහනයේ තත්ත්වය, මගීන්ට අපහසුවක් නොවන ලෙස ධාවනය කළ හැකි ද යන සියලු කරුණු මෙම වැඩසටහනේදී පරීක්ෂාවට ලක් කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

බස් ගැමුණුගෙන් පෞද්ගලික බස් හිමියන්ට හා රජයට ඉල්ලීමක්

අමතර විදුලි පහන් සහ මාරාන්තික අංග උපාංග ඇති නම් වහා ම ඉවත් කරන ලෙස පෞද්ගලික බස් රථ හිමිකරුවන්ගෙන් සහ සේවකයන්ගෙන් ඉල්ලා සිටින සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න, කාර් ජීප් රථවල සවි කර තිබෙන විදුලි පහන් සම්බන්ධව අවධානය යොමු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේ ය.

ඒ, කොළඹදී පසුගිය දිනක පැවති මාධ්‍ය හමුවකදී ය.

"බර වාහනවලින් සිදුවන අනතුරු අවම කරන්න අපි යම් කිසි වැඩපිළිවෙළක් කරන්න ඕනේ. ඒකට තමයි අපි පොලිස්පතිවරයා හම්බ වෙන්න සැලසුම් කරන්නේ. ඉක්මනට අපි එතුමා එක්ක සාකච්ඡා කරලා මේක විසඳ ගන්න කටයුතු කරනවා. පෞද්ගලික බස් රථ හිමිකරුවොනුත් විශේෂයෙන් මම ඉල්ලීමක් කරනවා සේවක මහතුනුත් අපි ඉදිරියේදී කරන්න යන ව්‍යාපෘතියට දෝෂාරෝපණය කරන්න එපා. අමතර විදුලි පහන් තියෙනවා නම් ඒවා ඉවත් කරන්න කටයුතු කරන්න. ඒ වගේ ම මාරාන්තික දේවල් තියෙනවා නම්, අංග උපාංග තියෙනවා නම් වහා ම ඉවත් කරන්න. මොක ද මේක නීතියේ තියෙනවා නීතියට පටහැනිව අපිට ක්‍රියාත්මක වෙන්න බැහැ," ඔහු පැවසුවේ ය.

"බස් රථ පමණක් නෙමෙයි අලුත් කාර්, ජීප්වලත් දාලා තියෙනවා මේ අලුත් ලෙඩ් ලයිට් හයි කරලා තියෙනවා. මිනිස්සුන්ගේ ඇස් කණ වෙනවා, අනිත් රියැදුරාගේ ඇස් කණ වෙනවා. ලාම්පු අපේ සමාන්‍ය තියෙන්නේ කහ පාට ලාම්පු. මේක රිදී පාට ලාම්පුවක් එක්ක ඇස් කණ වීම බරපතළ අනතුරුවලට ගොදුරු වීමක්. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව අවදානය යොමු කරන්න ඕනේ," යැයි ගැමුණු විජේරත්න කියා සිටියේ ය.

වැලි ටිපර්වලට වැටුණ තහංචිය

මේ අතර, පාසල් පැවැත්වෙන දිනවල වැලි ඇතුළු ඛනිජ ප්‍රවාහනය සීමා කිරීමට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පියවර ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තාවලට අනුව මෙලෙස පියවර ගෙන ඇත්තේ, පසුගිය දිනක කුලියාපිටියේදී පාසල් වෑන් රථයක්, වැලි ප්‍රවාහන ටිපර් රථයක ගැටී සිදුවූ අනතුර සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව, උදෑසන 6.30 සිට 7.45 කාලය දක්වා සහ පාසල් අවසන් වන පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා කාලය තුළ ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය සීමා කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් පවසා තිබේ.

එම වේලාවන්වලදී වැලි අතුළු ඛනිජ ප්‍රවාහන රථ, මාර්ගයේ ඉඩ ඇති ස්ථානවල නවතා තැබිය යුතු බව අධක්ෂ ජනරාල්වරිය සඳහන් කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.