ඇල්ල බස් අනතුර: 'අපි පල්ලෙහාට ගිහින් බලද්දී ගොඩක් ම තුවාල වුණු කට්ටිය වගේ ම මැරුණු අය හිටියා'

Ella Bus Accident

ඡායාරූප මූලාශ්‍රය, BBC | Facebook

    • Author, බීබීසී සිංහල

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් විපතට පත්වූ පුද්ගලයින් මුදා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට සහන කණ්ඩායම්වලට සිදුවිය.

බීබීසී සිංහල සේවයේ ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙම අනතුර සිදුවූ වහා ම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් ආශ්‍රිතව ක්‍රියාත්මක කඳු නැගීමේ කණ්ඩායම්වල සේවකයින් පවා මෙම මුදා ගැනීමේ මෙහෙයුමට එක්ව සිටි බව ය.

අනතුරට පත් වූ බස් රථය "අඩි 1,000ක් පමණ ප්‍රපාතයකට" පෙරළී තිබූ බැවින් රාත්‍රිය පුරා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ගම්වාසීන්ට, යුද්ධ හමුදාවට, පොලිසියට සහ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් බලධාරීන්ට විශාල කැපකිරීමක් කිරීමට සිදුව තිබිණි.

උදව් ඉල්ලා තැබූ සමාජ මාධ්‍ය සටහන්

ඊයේ (සැප්තැම්බර් 4) රාත්‍රී 9.20ට පමණ තංගල්ල මහ නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැගෙන විනෝද චාරිකාවක් පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේදී එහි රියැදුරු සමග පුද්ගලයින් 30 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බව ය.

මෙම බස් රථ අනතුර සිදුවී ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වීමත් සමග ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ උපකාර ඉල්ලා ඇතැම් පුද්ගලයින් සටහන් පළ කර තිබිණි.

"ඇල්ල වැල්ලවාය පාරේ බස් එකක් පෙරළිලා. තුවාලකරුවන් ගොඩගන්න දැවැන්ත මෙහෙයුමක්. ළඟපාත ඉන්න අය උදව් කරන්න," යනුවෙන් උපකාර ඉල්ලා පළ කර තිබූ එක් සමාජ මාධ්‍ය සටහනක සඳහන් කර තිබිණි.

මීට අමතරව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා කඹ, විදුලි පන්දම් සහ වතුර බෝතල් පවා අවශ්‍ය බවට පළව තිබූ සමාජ මාධ්‍ය සටහන්වලට ප්‍රදේශවාසී ජනතාව ප්‍රතිචාර දක්වා තිබිණි.

Ella Accident Site

ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූවන්ගේ අත්දැකීම්

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම අනතුරට පත්වූ බස් රථයේ සිටි පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම සඳහා ඇල්ල ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ට කඳු තරණය කිරීම සඳහා සේවාවන් පවත්වාගෙන යන කණ්ඩායම්වල නොමද සහයෝගයක් හිමිව තිබිණි.

බීබීසී සිංහල ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ, කඳු බෑවුමේ පිහිටි ගල් ප්‍රපාතය ඔස්සේ තුවාලකරුවන් කඹ ආධාරයෙන් සීරුවෙන් ඉහළට රැගෙන ආ අයුරු දැක ගත හැකි වූ බව ය.

මේ අතර, මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා දායකත්වය දැක්වූ පිරිස සිය අත්දැකීම් මෙලෙස විස්තර කළහ.

"ඒක ගැන විස්තර කරනවා නම් අපිට මැසේජ් එක ආවා. අපි ෆස්ට් රෙස්පොන්ඩර්ස්ලා විදිහට ට්‍රේන් වෙලා ඉන්නේ. අපි Flying Ravana කියන කණ්ඩායම නියෝජනය කරන අය.

"දැනුම් දීම අනුව ගොඩක් අය ඇවිල්ලා හිටියා. අපි පල්ලෙහාට ගිහින් බලද්දී ගොඩක් ම තුවාල වුණු කට්ටිය වගේ ම මැරුණු අය හිටියා."

"බෑවුමේ කාන්තාවන් හතර දෙනෙක් හිටියා. එක්කෙනෙක් මිය ගිහින්. අනිත් 3 දෙනාට තුවාල වෙලා හිටියේ. ඒ තුන් දෙනාව ගමේ අය වගේ ම හමුදාවේ සහය එක්ක ගලෙන් පල්ලෙහාට ගත්තා.

"මේ බෑවුමේ අඩි 80 - 100ක් විතර ගලක් එක්ක ප්‍රපාතයක් තියෙනවා. බස් එක එතැනින් පල්ලෙහාට ගිහින් තිබ්බේ.

"මුලින් ම මුදා ගැනීමේ මෙහෙයුම පටන් ගන්නකොට කිසි ම උපකරණයක් තිබ්බේ නැහැ. පස්සේ තමයි කඹ වගේ ම අනිත් බඩු ටික අරන් ටීම් එක ආවේ.

"ඉක්මනට බඩු ටික ඇරේන්ජ් කරන් බැස්සා. හරි ම දුකයි.. ඇත්තට ම මාරම අවුල් අපිටත් මේ සිද්ධිය ගැන. අපෙන් කෙරන්න තිබ්බ දේ උපරිමයෙන් කළා.

"අපේ ජීවිත ගැනවත් හිතන්නේ නැතිව අපි මේ අනතුරට පත්වුණ අයව මුදා ගන්න උත්සහ කළා. අපි හිතනවා අපි සාර්ථක වුණා කියලා," ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා දායකත්වය දැක්වූ එම කණ්ඩායමේ සාමාජිකයෙක් එලෙස අප හා අදහස් පළ කළේ ය.

මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ පුද්ගලයෙක් තුවාලකරුවෙකු කඹයක් ආධාරයෙන් රැගෙන එන අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, මුදා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ පුද්ගලයෙක් තුවාලකරුවෙකු කඹයක් ආධාරයෙන් රැගෙන එන අයුරු

මේ අතර, මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා 100 දෙනෙකු ගෙන් යුත් හමුදා භට කණ්ඩායමක් යෙදවූ බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ය.

"අනතුරින් තුවාල ලැබූ අය මුදා ගැනීමේ මෙහෙයුමෙන් පස්සේ අපේ හමුදා භට පිරිස් අද උදේ බස් එක පෙරළිලා තිබ්බ තැන තියෙන තැනට ගිහින් එතන නැවත වතාවක් නිරීක්ෂණ මෙහෙයුමක් කළා.

"ඒ එක්ක ම අනතුරට පත්වුණ අයගේ බඩු බාහිර ආදිය එකතු කරලා පොලිසියට භාර දෙන්න ත් කටයුතු කළා," හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අතර, අනතුරට ප්‍රතිචාර දැක්වීම සඳහා දියතලාව ගුවන් හමුදා කඳවුරේ MI-17 හෙලිකොප්ටරයක් ​​සහ වීරවිල ගුවන් හමුදා කඳවුරේ බෙල් 412 හෙලිකොප්ටරයක් ​​යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.

මෙම හෙලිකොප්ටර් යානා, රෝගීන් කොළඹට ගුවනින් රැගෙන යාමට හෝ අවශ්‍ය ඕනෑ ම ගලවා ගැනීමේ මෙහෙයුමකට සහය වීමට සූදානම්ව පවතින බව ගුවන් හමුදාව සඳහන් කළේ ය.

මේ අතර අනතුරට පත් පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම සඳහා සහය දීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.